උපන් මාසය අනුව 2024 වසර ඔබට කොහොමද?

ජනවාරි 5, 2024

2024 නව වසරේ ආරම්භය පිළිගැනීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන සුදානමින් සිටින ඔබ ගෙවී ගිය 2023 වසර තුළ ජිවිතයේ මුහුණ දුන් අභියෝග හමුවේ ලබාගත් අත්දැකිම් එම බලාපොරොත්තු ඉටුකර ගැනිමට ආශිර්වාදයක් කර ගැනීමට අදිටන් කරගැනීම සුදුසුය.

2024 වසර අංක විද්‍යාත්මකව විග්‍රහයේදි වර්ෂයේ අංකය වන්නේ අංක 8 ය. එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එම නිසා ශනි ග්‍රහයාගේ බලය වර්ෂය පුරාම ක්‍රියාත්මක වනු ඇත. එහෙත් පෞද්ගලික අංකය කුමක් වුවත් ඔබ උපන් මාසය අනුව 2024 වසරේදී ඔබට පහත සදහන් ආකාරයේ ප්‍රතිඵලවලට මුහුණ දිමට සිදු වනු ඇත. උපන් මාසය ලෙස අංක විද්‍යානුකූලව හඳුන්වන්නේ සූර්යයාගේ ගමන අනුව ගැනෙන දින බැවින් යම් මාසයක අග උපන් අය ඊළඟ මාසයට අයිති විය හැකි බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

 

ජනවාරි මාසය

හැකියාවන් ප්‍රබලව කැපී පෙනේ

 

අංක විද්‍යාත්මකව කරුණු විග්‍රහයේදි රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ජනවාරි මාසය ලෙස යෙදෙන්නේ දෙසැම්බර් 27 සිට ජනවාරි 26 දක්වාය. මේ කාල සිමාව රවි ග්‍රහයා මකර රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

ජනවාරි මාසයේ උපන් ඔබ නව නිර්මාණාත්මක හැකියාවකින් යුක්ත බැවින් එයින් ඵල ප්‍රයෝජන ලැබිය හැකි මෙන්ම තමන්ගේ එම හැකියාවන් ප්‍රබලව කැපී පෙනෙන වසරක් වනු ඇත. ඔබෙ විදේශ ගතවීමේ හෝ පදිංචිය වෙනස් කිරිමේ බලාපොරොත්තු ඉටු වන අතර ලොතරැයි ජයග්‍රහණයක් සඳහා වාසනාව උදාකරන වසරක් වේ. නමුත් කාන්තා පාර්ශ්වයේ මෙන්ම ඔබෙන් උදව් ගන්නා අයගේද රැවටිලිවලින් ප්‍රවේශම් විය යුතුව ඇත. පරිස්සමෙන් වචන භාවිතය සිදු නොකිරිම නොසිතු කරදර වලට හේතුවිය හැකිය.

ආර්ථිකය

ආර්ථික වශයෙන් යහපත් වසරක් නොවන බැවින් ඔබ ව්‍යවසාකත්වයේ කෙතරම් දක්ෂයෙක් වුවත් තැන්පතු ධනය ප්‍රවේශමෙන් පරිහරණය කිරිමෙන් මුල්‍ය පාඩු වළක්වා ගත හැකිය.

සෞඛ්‍යය

ශරීර ශක්තිය අඩු වීමට හා දත් හා උගුර ආශ්‍රිත රෝග තත්වයන් ඇති විය හැකි වසරක් වන අතර ඔබ සමඟින් නිවසේ එක්ව වාසය කරන කාන්තා පාර්ශවයේ අයටද යම් රෝගාබාධ තත්ත්වයන් ඇති වීමේ පැහැදිලි ඉඩකඩක් පවති.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයට බාධා පැමිණේ. එය වටහාගෙන සිත එකඟකර ගෙන කටයුතු කිරීමෙන් එම තත්ත්වය මඟහැරගත හැකිය.

 

පෙබරවාරි මාසය

සැඟවුණු වාසි හිමිවේ

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව පෙබරවාරි මාසය ලෙස යෙදෙන්නේ ජනවාරි 27 සිට පෙබරවාරි 26 දක්වා කාලයයි. මේ කාල සිමාව රවි ග්‍රහයා කුම්භ රාශිගතව ගමන් කරයි.

ගෘහජිවිතය

පෙබරවාරි මාසයේ උපන් ඔබට මේ වසර මිශ්‍ර ඵලදායක වසරකි. ඉලක්ක සහගත සැලසුම් ඇති කරගත් විට පමණක් වඩා සාර්ථකත්වයක් අත්පත් කර ගත හැකි වනු ඇත. ඇතැම් විට සැඟවුණු වාසි හිමි වන කාලයකි. එසේ වුවද සියල්ල විටෙකදී එපා කරවන ස්වභාවයක් ද හදිසියේ පැන නැඟිය හැකිය. ඔබ විසින් සිත් තුළ වර්ධනය කර ගන්නා නොසන්සුන්බව විටෙක පාලනය කර ගත නොහැකි වනු ඇත. තැන තැන නිකරුනේ ඇවිදීමට ද හිත්දෙනු ඇත. මේ අවස්ථාවට දිව ඔසුවක් සේ ඔබේ පිහිටට එන්නේ ආගමික පරිසරයයි.

ආර්ථිකය

මේ මාසයේ උපන් ඔබට ආර්ථිකමය කටයුතු වලදි යම් දුෂ්කරතා ඇති වුවද උනන්දුව කැපවීම මත ආර්ථිකය සවිමත් කර ගත හැකි වනු ඇත.

සෞඛ්‍යය

උගුර, නාසය හා කන ආශ්‍රිත අපහසුතා ඇති විය හැකිය. එහෙත් සමස්තයක් වශයෙන් සෞඛ්‍ය අතින් යහපත් වසරකි.

අධ්‍යාපනය

නිතර ඇතිවන අලස හා නිදිබර ස්වභාවය නිසා අධ්‍යාපනයට උනන්දුව අඩුවීමක් බලාපොරොත්තු විය හැකිය. එම නිසා ක්‍රියාශීලිව කටයුතු කිරිමට වගබලාගත යුතුය.

 

මාර්තු මාසය

පවුලේ දියුණුව සැලසේ

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව මාර්තු මාසය ලෙස යෙදෙන්නේ පෙබරවාරි 25 සිට මාර්තු 26 දක්වාය. මේ කාල සීමාව රවි ග්‍රහයා මීන රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

සමාජසේවා මෙන්ම පුණ්‍ය කටයුතු සඳහා උනන්දුවෙන් කැප වන වසරක් වන අතර පවුලේ දියුණුව සැලසේ. සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමිවේ. නිතර ප්‍රීති උත්සව යෙදෙනු ඇත. අඹු සැමි සබඳතා වර්ධනය වනු ඇත. දුර සිටින ඥාතීන් සමඟ පවා සහයෝගය වැඩිවේ. නමුත් සුළු දෙයටත් අනවශ්‍ය ලෙස කලබල වන බවක් දැකිය හැකිය. නිතරම කාර්යබහුල බවක්ද පවතී.

ආර්ථිකය

ගෘහ අශ්‍රිත වගා කටයුතුවල නිරත අයට සුබයි. ආදායම් වැඩි වනු ඇත. එසේම වැටුප් ආදිය ඉහළ නැගීමට කටයුතු යෙදෙනු ඇත. නමුත් රැකියාවේ ස්ථානමාරුවක් සිදුවීමට නියමිතය. එසේ වුවද විදේශ ගමනකට මේ කාලය ඉතා සුදුසු වනු ඇත. වසර මුලදී අධික වියදම් ඇති විය හැකිය.

සෞඛ්‍යය

පාද ආශ්‍රිත තුවාල හෝ යම් අපහසුතාවයක් ඇතිවිය හැකිය. සෙම, වාතාබාධ හා සුළු අනතුරුද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සඳහා සුබදායක වසරකි. විභාග කටයුතුවලින්ද ඉහළ සාමාර්ථයන් ලබා ගැනීමට වාසනාව උදාවේ.

 

අප්‍රේල් මාසය

හදිසි ධන ලාභ

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව අප්‍රේල් මාසය ලෙස යෙදෙන්නේ මාර්තු 27 සිට අප්‍රේල් 26 දක්වාය. මේ කාල සිමාව රවි ග්‍රහයා මේෂ රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

ස්වාධීන, නිදහස් අදහස් ඇති ඔබට 2024 වසර දී බාධක දුරුවෙන අලුත් ගමනක ආරම්භයක් සිදුවේවි. උපන් ප්‍රදේශයෙන්, උපන් රටින් බැහැරව පවා තම අරමුණු හඹා යන්න මාර්ගය සැලසෙන අතර කෙසේ වෙතත් අනපේක්‍ෂිත අලාභ හානිත් ඔබ තරමක් බලාපොරොත්තු විය යුතුය. රැකියා හා පදිංචිය වෙනස්වීම් පෙන්වයි. ඔබෙන් උදව්ගත් අයම ඔබට ද්‍රෝහීවනු ඇත.

එමනිසා නිතරම සැකයකින් ජීවත් වීමට සිදුවන බැවින් වඩාත් කල්පනාකාරී වීමෙන් තත්ත්වය මඟ හරවා ගැනීමට හැකිවනු ඇත.

ආර්ථිකය

රැකි රක්‍ෂා හා ආදායම් කටයුතුවල සුවිශේෂී දියුණුවක් ඇතිවේ. කාර්මික හා තාක්ෂණික අංශයන්හි නියුතු අයට වසර සුබදායක වන අතර, හදිසි ධන ලාභ ලැබිම සඳහා වසනාව ඔබට හිමිය.

සෞඛ්‍යය

කලට වෙලාවට ආහාර නොගැනීම නිසා සෞඛ්‍ය ගැටළු ඇති කරගනු ඇත. සීනි හා මේදය පාලනය කර ගැනීමටද සිදු වේ. ප්‍රමාණවත්

නින්දක් ලබා ගැනීමට මතක තබා ගත යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනයට ඉතාමත් යහපත් වසරකි. ඇතැමෙක්ට විදෙස් අධ්‍යාපන අවස්ථා පහසුවෙන් හිමිවනු ඇත. ගුප්ත විද්‍යා වැනි විශේෂ විෂයන් ඉගෙනීමට ද විටෙක පෙළඹීක් ඇති කරවනු ලබයි. ඉගෙනීම් කටයුතු සැළසුම් සහගතව සිදුකර ගත්තොත් වඩාත් ප්‍රතිපලදායී වේවි.

 

මැයි මාසය

තමන්ගේ වචනයට වැඩි බලයක්

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව මැයි මාසය ලෙස යෙදෙන්නේ අප්‍රේල් 27 සිට මැයි 26 දින දක්වාය. මේ කාල සිමාව රවි ග්‍රහයා වෘෂභ රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

මෙම මස උපන් අයට නව වසර යහපත් මෙන්ම තමන්ගේ වචනයට හා ක්‍රියාවට වැඩි බලයක් හිමි වන වසරක් වන අතර ස්වාධීන තීන්දු තීරණ ඉතා පහසුවෙන් ක්‍රියාවට නංවන්න හැකියාව ලැබේ. උසස් තැනැත්තන් වෙතින් රහසිගත උදවු ඔබට ලැබෙනු ඇත. ප්‍රීති උත්සව ආදියට සහභාගී වීම, මිතුරන් සමඟ වැඩි වශයෙන් කෙළිදෙලෙන් ගත කිරිීමද වසර පුරා හැකියාව ලැබේ.

මියගිය පිරිමි පාර්ශ්වයේ අයෙකුගේ පිහිට ආරක්‍ෂාව හිමියි. කෙසේ වෙතත් යහපත්ව ජීවත්වීම නෛතික ගැටලුවලින් නිදහස් වීමට මඟක් වනු ඇත.

ආර්ථිකය

නව රැකියා හා ආදායම් මාර්ග විවර වන අතර මූල්‍ය කළමනාකරණය ගැන වඩාත් සැලකිලිමත් වීමෙන් ඉහළ ධනවත් භාවයකට හිමිකම් කිව හැකිය. හදිසි ධනලාභ ද ලැබිය හැකි වසරකි.

සෞඛ්‍යය

අත් පා වේදනා ඇස් රෝග ඇතිවිය හැකි අතර දරුවන්ගේ අසනීප වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනයට ඇති ළැදියාව මෙන්ම ධාරණ ශක්තිය ඉහළ නැගීම නිබඳව මෙම වසර තුළ බලාපොරොත්තු විය හැකිය.

 

ජූනි මාසය

ආගමික නැඹුරුව වැඩි වේ

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ජුනි මාසය ලෙස යෙදෙන්නේ මැයි 27 සිට ජුනි 26 දක්වාය. මේ කාල සිමාව රවි ග්‍රහයා මිථුන රාශිගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

ආගමික නැඹුරුව වැඩිවේ. එහෙත් නව සැලසුම් ක්‍රියාත්මක කිරිමට හැකි වසරක් වන අතර නිවස තුළ ඇතිවන යම් බාධාකාරි තත්ත්වයන් තම අධ්‍යාත්මික ගුණ වගාව තුළින් මඟහැර ගත හැකි වනු ඇත. පාප මිත්‍රයන් ආශ්‍රයෙන් ඉවත්වීම නුවණට හුරුය. ආදර සම්බන්ධතා සදහා මඟ විවර වෙන නමුත් ඒවා ඔබට යහපත් නොවන බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න.

ආර්ථිකය

රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි ඔබට එයට අවස්ථාව හිමි වසරක් වන නමුත් තැන්පත් ධනය ඉතා ප්‍රවේශමෙන් පාලනය කිරිම ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාමට මගක් වනු ඇත.

සෞඛ්‍යය

අජීර්ණය, උෂ්ණ රෝග, සෙම් රෝග, සමේ රෝග හා ලේ විෂවීම් වැනි රෝගාබාධයන් ඇති වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය

අධ්‍යාපනය

විභාගවලින් ජය ලැබිමට යම් බාධාකාරී තත්ත් වයක් ඇතිවිය හැකි බැවින් උත්සාහයෙන් කටයුතු සිදුකිරිම වැදගත්වේ. විවිධ භාෂාවන් ශාස්ත්‍ර හැදෑරීම ප්‍රිය අය සඳහා අවස්ථාව සැලසෙනු ඇත. අධ්‍යාපන කටයුතු සඳහා පදිංචි ස්ථානයෙන් බැහැරව සිටීමටද සිදුවිය හැක.

 

ජූලි මාසය

තරගකරුවන් අබ්බවා යයි

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ජුලි මාසය ලෙස යෙදෙන්නේ ජුනි 27 සිට ජුලි 28 දක්වා දිනයන්ය. මේ කාල සිමාව රවි ග්‍රහයා කටක රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයට සාර්ථක විවාහ යෝජනා ඉදිරිපත් වන වසරකි. සහකරුගේ ඥාතීන්ගෙන් උදවු ලැබීමේ හිමිකමක් පවති. සමීප වැඩිහිටියකුට තරමක් අහිතකර කාලයකි. ධාර්මික ජීවිතයක් ගත කිරීමත් වෙනදාටත් වඩා සැලසුම් සහගතව කටයුතු කිරීමත් යහපත් අනාගතයකට සුබ දායක වනු ඇත.

ආර්ථිකය

විදෙස් වෙළෙඳාම්වල නියුතු අයට වාසිදායක කාලයකි. තරගකරුවන් අභිබවා යාමේ ශක්තිය හා රාජ්‍ය නීති සහයත් මේ කාලයේ ඔබට නොඅඩුව හිමි වනු ඇත. වසර මැදදී ආර්ථිකමය තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම යහපත් වේ. ආයෝජන තැන්පත් ධනය සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

සෞඛ්‍යය

පපුව ආශ්‍රිත රෝගාබාධවලින් අවදානම වැඩිය. සෙම, වාතරෝග, සීනි හා කොලෙස්ටරෝල් ආදී ආහාර භාවිතයෙන් යම් අහිතකර තත්ත්වයන් ඇති කරනු ඇත. මානසික ආතතියෙන් පෙළීමේ අවකාශයන් වැඩිවන නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය

දරුවන් ඇත්නම් ඔවුන්ටත් විභාග ජය අත්වනු ඇත. නව ශිල්ප ශාස්ත්‍ර, ආගම දහම ආදිය ඉගෙනීමට ගුරුවරු හමුවීමද මේ කාලයේදී සිදුවේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට පදිංචි ස්ථානයෙන් දුරස්ව යාමට ඉඩ සැලසේ.

 

 

අගෝස්තු මාසය

ධර්ම ශාස්ත්‍ර හැදැරීමට යොමුවේ

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව අගොස්තු මාසය ලෙස යෙදෙන්නේ ජුලි 27 සිට අගොස්තු 26 දක්වාය. මේ කාල සිමාව රවි ග්‍රහයා සිංහ රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

ඔබ සතු ඉවසීම හා දරාගැනීමේ ශක්තිය උරගා බැලීමට සුදුසුම වසරක් වේ. එසේම අලුතින් ආදායම් රැස් කර ගන්නවාට වඩා තියෙන දෙයක් රැක ගැනීමට වැඩියෙන් උත්සාහවන්ත විය යුතු කාලයකි. එසේ නොවුණහොත් හොර සතුරු පීඩා නිරතුරු ඇතිවිය හැකිය. තමා තුළ ඇති ධාර්මික ගතිගුණ යටපත් වි අධාර්මික ගතිගුණ මතුවිය හැකි බැවින් හැකි පමණ ආගම දහමට නැඹුරුව කටයුතු කිරිම වැදගත් වේ.

ආර්ථිකය

ආර්ථිකමය වශයෙන් වැය පාර්ශ්වය වැඩිවන අතර අය පාර්ශ්වය අඩුවේ. එම නිසා ආර්ථිකමය තත්වයන් කළමනාකරණය කරගත යුතුය. ස්ව උත්සහයෙන් යමක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා කාලය වශයෙන් මේ වසර යහපත් වේ.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සදහා පිටස්තර අයකුගෙන් නොසිතූª උදව් උපකාර ලැබෙන වසරකි. විශේෂයෙන් ධර්ම ශාස්ත්‍ර හැදැරීමට යොමුවේ. එසේම විවිධ භාෂාවන් ප්‍රගුණ කිරිමට යහපත් වසරකි.

සෞඛ්‍යය

විශේෂයෙන් කලාත්‍රයාගේ අසනීප තත්වයන් උත්සන්න විය හැකිය. ඇස්රෝග සහ දත් සම්බන්ධ රෝග ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වීම වැදගත්ය.

 

සැප්තැම්බර් මාසය

සිතට සැනසිලිදායක වසරකි

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව සැප්තැම්බර් මාසය ලෙස යෙදෙන්නේ අගොස්තු 27 සිට සැප්තැම්බර් 26 දක්වාය. මේ කාල සිමාව රවි ග්‍රහයා කන්‍යා රාශිගතව ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

මේ වසර ඔබට සහ ඔබගේ කලත්‍රයාට මෙන්ම සේවකයන් හට පවා යහපත් වනු ඇත. පිටස්තරයන්ගේ උදවු උපකාර ලැබීම් නිසා හිතට අමුතු අභිමානයක්ද ඇතිවේ. ආදර සම්බන්ධතා ඇතිවේ. පිට පළාත්වලදී තමා හිතනවාටත් වඩා ගරු සැලකිලි හා සාර්ථකත්වයක් උදාවනු ඇත. සහෝදර පාර්ශ්වයටද සුබ කලකි. ශීත පරිසරවල නිතර ගත කිරීමට සිදුවේ. කෘමි සතුන්ගෙන් යම් හානිදායක බවක් ඇතිවිය හැකිය. සතුරන් දුරස් වනු ඇත. පිනට දහමට වැඩි වශයෙන් ළැදිවේ. සිතට සැනසිලිදායක කාලයකි. දේශපාලනයේ නිරත අය හටත් ඉතා පලදායි කාලසීමාවකි. ලාභදායි විදෙස් සංචාරයක් හෝ වන්දනා ගමනකට යොමුවේ.

 

ආර්ථිකය

විවිධ මාර්ගවලින් ආදායම් හිමිවනු ඇත. ණය බරින් යම් සහනයක් හිමිවන කාලයකි. නව ව්‍යාපාර අවස්ථාද හිමිවනු ඇත. නොලැබී තිබූ ණයක් හෝ හිමිකමක් නිරවුල් වන්නේය. නව නිෂ්පාදනයක් කිරීම කෙරෙහිද සිත යොමුවේ.

සෞඛ්‍යය

හෘදය හා වකුගඩු සම්බන්ධ වැඩි අවධානයක් යොමු කිරීමට කරුණු සැලසිය හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරත අය හට වඩා සුබදායී වසරකි. වසර මැදදී ඉගෙනීමේ කටයුත්තකට පහසුවෙන් විදෙස්ගත විය හැකි වනු ඇත.

 

 

ඔක්තෝබර් මාසය

පහසුවෙන් ධනය ඉපයිය හැකි කාලයක්

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ඔක්තෝම්බර් මාසය ලෙස යෙදෙන්නේ සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 26 දක්වාය. මේ කාල සිමාව රවි ග්‍රහයා තුලා රාශි ගතව ගමන් කරයි.

 

ගෘහ ජිවිතය

අඹුසැමියන් අතර පවා සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත. ශරීර ශක්තිය වැඩි වර්ධනය වේ. සතුරන් මර්දනය වනු ඇත. උසස් සමාජය සමඟ නිතර ඇසුරු කිරීමට ඉඩ සැලසේ. සමාජ සේවා හෝ විනෝද කටයුතුවලට නිතර යොමුවනු ඇත. සමීපතම හිතවතෙකු අභාවයක් ද සිදුවිය හැකිය. හදිසි අනතුරු පිළිබඳවද වෙනදාට වඩා සැලිකිලිමත් විය යුතුය.

 

ආර්ථිකය

ව්‍යාපාරවලින් යහපත් අදායමක් ලැබේ. ණය ගණුදෙනු වලින් ද ලාභ සැලසේ. පහසුවෙන් ධනය ඉපයිය හැකි කාලයක් උදා වේ. තම සුදුසුකම් මත රැකියා උසස්වීම් ද ලබා ගත හැකි වනු ඇත.

සෞඛ්‍යය

බෝවන වසංගත රෝග අවදානම සහිත වසරකි. අර්ශස් අමාරු වැඩිවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට සුබයි. විභාග ජය හිමියි.

 

 

නොවැම්බර් මාසය

නිවාස කලඑළි වනු ඇත

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව නොවැම්බර් මාසය ලෙස යෙදෙන්නේ ඔක්තොම්බර් 27 සිට නොවැම්බර් 26 දින දක්වාය. මේ කාල සිමාවේ රවි ග්‍රහයා වෘශ්චික රාශිගතව ගමන් කරයි.

ගෘහජීිවිතය

පිංකම් සමාජ සේවා කටයුතු සඳහා වැඩි වශයෙන් යොමුවනු ඇත. එසේම දේව ආකර්ෂණය ද නොඅඩුව හිමිකර ගනු ලබයි. මියගිය ඥාතීන් වෙතින් පිහිට ආරක්ෂාව සැලසෙනු ඇති අතර යහපත් මිතුරු ඇසුරක් හිමිවනු ඇත. නෑදෑයන් පවා වඩා සුහදශීලී වනු ඇත. වැඩිහිටි පාර්ශ්වයෙන් උදව් උපකාර නොඅඩුව හිමිවේ. නිවාස කලඑළි වනු ඇත. යහපත් දරුපලද හිමිය.

ආර්ථිකය

ආදායම් තත්ත්වය යහපත්ය. නව ව්‍යාපාර හා ආයෝජන විවර වනු ඇත. නිරතුරුවම දියුණුවට කටයුතු සැලසෙනු ඇත. කෙසේ හෝ වියදම් පාලනය කර ගත යුතු බවට රතු එළියක් දැල්වේ.තම තත්ත්වය ආරක්ෂා කර ගැනීම, දරුවන්ගේ වියදම් හා සෞඛ්‍ය සඳහාද වියදමක් දැරිමට සිදුවේ. රැවටිලිකාරයන්ගෙන් ආරක්ෂා විය යුතුය.

සෞඛ්‍යය

පිත් කෝප වීම නිසා අපහසුතා ඇති වීමය පැහැදිලි ඉඩකඩක් තිබේ. දත් ආශ්‍රිතව මෙන්ම ගෙල අශ්‍රීතව සුළු රෝගාබාධ ඇතිවිය හැකි නිසා අවධානයෙන් කටයුතු කළ යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනයට සුබයි. තරග විභාග ජය හිමියි. නව පාඨමාලා හැදෑරීමට ඉඩ සැලසේ. ඉගෙනීමට ඉගැන්වීමටද එකලෙස සුබදායි කාලයකි.

 

 

දෙසැම්බර් මාසය

බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන වසරක්.

 

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව දෙසැම්බර් මාසය ලෙස යෙදෙන්නේ නොවැම්බර් 27 සිට දෙසැම්බර් 26 දින දක්වාය. මේ කාල සිමාව රවි ග්‍රහයා ධනු රාශිගතව ගමන් කරයි.

ගෘහ ජීවිතය

නව ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක වන වසරක් වේ. කලක් පැවැති චිත්ත ශක්තිය වර්ධනය වීමත් සමග නවතා දමා ඇති බොහෝ වැඩි කටයුතු නැවත ඇරඹිය හැකි වන අතර. නව අදායම් මාර්ග විවර වෙනු ඇත. දරුවන්ගෙන් මෙන්ම ගුරු උතුමන් වෙතින් පවා යහපත සැලසෙනු කාලයකි. ඔබේ බලාපොරොත්තු නව වසර තුළ සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉටු වනු ඇත. මේ මාසයේ ධනු ලග්නයෙන් උපන් බොහෝ දෙනෙකුට මංගල සීනු හැඬවෙන වසරක් බව කිව යුතුය. සතුරන් පරාජයට පත් වන නිසා සිත තුළ බොහෝ සැනසිලිදායක බවක් රජයනු ඇත. ජීවිතයේ කටයුතු පිළිවෙලකට හැඩගස්වා ගැනීමද ඔබ නිතර උනන්දු වනු ඇත. ප්‍රීති උත්සව ආදියෙන්ද අඩුවක් නොවනු ඇත.

නමුත් රැවටිලි කාරයන්ට හසු වුවහොත් එම ජය පුස්සක් වන බව සිත තුළ ධාරණය කර ගැනීම අගනේය.

ආර්ථිකය

වස්තුව මිළ මුදල් නිරායාසයෙන් යුතුව ඔබ වෙත ඒකරාශී වන්නේය. ලොතරැයි ජයක් වැනි විශාල ලාභයක් එකවර හිමිවිය හැකිය.

 

සෞඛ්‍යය

සුළු සුළු රෝග පීඩා පහව ගොස් ඔබට කායික හා මානසික යන දෙඅකාරයෙන්ම සැනසිල්ල හිමි සුබම සුබ වසරකි මේ උදාවන්නේ.

අධ්‍යාපනය

අන් කවරදාකටත් වඩා ඉගෙනීමේ ළැදියාව කැපී පෙනෙන වසරක් නිසා ඔබ බොහෝ ඇගයීම් පවා අත්පත් කර ගන්නවා ඇත. තරග විභාග පහසුවෙන් ජය ලබන කාලයකි.

 

ඡ්‍යොතිෂවේදී බී.ඒ. ජයවර්ධන

ඡ්‍යොතිෂවේදී සේනානායක නෙරංජන්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.