චිත්‍ර කලාවත් ඡ්‍යොති‍ෂවේදයත් අතැඹුලක් වූ පුවත්පත් කලාවේදියා ටී. හෙන්රි බෙම්මුල්ල

ඔක්තෝබර් 27, 2023

හෙන්රි බේම්මුල්ල යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්‍රශිල්පියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු, මාධ්‍යවේදියකු යනා දී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් කරා සිය භූමිකාව පැතිරවූවකු ලෙස එතුමන් කා අතරත් ප්‍රසිද්ධියට පත්වෙයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රෙයහි නිපුණයකු වූ ඔහු අද දක්වාම තම ඡ්‍යොතිෂ දැනුම ජනතාවට බෙදා හදා දෙන්නේ නොමසුරුවය. එතුමා ගැන කතා කිරීමට අපට බොහෝ දේ තිබේ. මේ ලියවෙන්නේ ඔහු නියැළුණු ක්ෂේත්‍ර අතරින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් කළ සහ කරමින් සිටින සේවය පිළිබඳවයි.

 

උපත

ගම්පහ දිස්ත්‍රික්කයේ සශ්‍රීක ගම්මානයක් වූ බෙම්මුල්ල ගම්මානයේ දිවි ගෙවූ පබිලිස් මහතා වෘත්තියෙන් දක්ෂ ගොවියෙකි. පබිලිස් මහත්මා සහ සෝමාවතී දම්පතීන් යුවළට උතුම් මව්පිය පදවිය ලබා දෙමින් 1934. 10.15 වැනි දින කුඩා පුත් රුවනක් මෙලොව එළිය දුටුවේය. එ් දරුවා උපත ලබන අවස්ථාවේ නැගෙනහිර ක්ෂිතිජයේ උදාව පැවැතියේ තුලා රාශියයි.

කුඩා පුත් රුවනගේ ජන්ම පත්‍රය අනුව සියලු ග්‍රහ පිහිටීම් සුබදායකය. කෙදිනක හෝ රටේ නම ප්‍රසිද්ධ වන කුසලතාවයන්ගෙන් යුතු වූවකු වන බව එම ග්‍රහ පිහිටීම් අනුව කියැවිණි. අද ඒ බව පසක් වී ඇත්තේය. ඒ ග්‍රහ පිහිටීම් හි සුබතාවය කෙතෙක් ද යන්න ටී. හෙන්රි බෙම්මුල්ල යන චරිතයෙන් මනාව පසක් වේ. තම කුඩා අවධිය පිළිබඳ හෙන්රි මහතාට ඇත්තේ මෙවන් මතකයකි.

‘පවුලේ එකම දරුවා වුණේ මමයි. එනිසා මව් පියන්ගෙන් විශාල ආදරයක් වගේම රැකවරණයක් මට ලැබුණා. තාත්තා ඉගෙනීමෙන් මා ඉහළට යන හැටි බලන්නට නිතරම උනන්දු වුවා. මම කුඩා කාලයේ ඉගෙනීම ලැබුවේ වෑවල විදුහලේ. ඉන්පසුව ගම්පහ බණ්ඩාරවත්ත විදුහලේත් ගම්පහ බෞද්ධ මහා විදුහලෙත්් ඉගෙනුම ලැබුවා. අධ්‍යාපනයෙන් දක්ෂතා දැක්වූ දරුවෙක් ලෙස පාසලේ ප්‍රසිද්ධියට පත් වූවා. අදටත් මම ඉගෙනුම ලද පාසල් ගැන මට විශාල භක්තියක් දැනෙනවා.

 

අධ්‍යාපනය

උසස් පාඨශාලා විභාගය දක්වා ඉගෙනුම ලැබූ මගේ මූලිකම ආශාව වූයේ දේශීය වෛද්‍යවරයකු වීමයි. එය මගේ පියාගේ ද සිතේ පැවැති බලාපොරොත්තුවක් වූවා. ඒ අනුව ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විදුහලට ඇතුළත් වීමට ඉඩකඩ ලැබුණත් හිටි හැටියේම මගේ පියා අංශභාග රෝගයට ගොදුරු වුණා. තාත්තා රෝගාතුර වීමත් සමඟ මගේ වැඩි දුර අධ්‍යාපන කටයුතු නවතා රැකියාවක් දෙසට යොමු වන්නට මට සිදු වුණා. එනිසා දේශීය වෛද්‍යවරයකු වීමට මා දුටු සිහිනය සැබෑ කර ගැනුමට මට අවස්ථාව නැති වුණා. වසර දහයක් පමණ රෝගාතුර වී සිට මගේ පියා අභාවයට පත් වුණා. මගේ මවත් වසර එකසිය පහකට ආසන්න කාලයක් ජීවත් වුණා. අද ඇයත් අප අතර නැහැ.

 

චිත්‍ර කලාවට හා ඡ්‍යොතිෂයට යොමු වීම

එවකට හෙළයේ සිටි මහා චිත්‍ර හා මූර්ති ශිල්ප කලාවේදියකු වූ ඇම්. සාර්ලිස් මාස්ටර් බෙම්මුල්ලේ ශ්‍රී වර්ධන මහා විහාරයෙහි චිත්‍ර අඳීන අයුරු නිතර මගේ ඇස ගැටෙන දර්ශනයක් වුණා. ඉතාම අලංකාරයකට සංයමයෙන් යුතුව වගේම විනෝදයකින් ඔහු අඳින සිතුවම් දෙස මම භාවනාවක් වගේ බලා සිටියා. ඔහු සුරතෙන් අඳීන චිත්‍ර නිතර දැකීමෙන් මා තුළ සැඟවී තිබුණ චිත්‍ර ඇඳීම් ආශාව දලු ලා වැඩෙන්නට වුණා. සැඟවිලා තිබුණු ඒ රුචිය වැඩි වුණා. චිත්‍ර කලාවට අත්පොත් තබන්නට සුදුසුම කාලයේ මම ඔහු වෙත ගොස් චිත්‍ර කලාව පිළිබඳ ඉගෙන ගන්නට අදහස් කළා. පසු කලෙක එතුමාගේ නිවෙසේ රැඳී සිට චිත්‍ර කලාව හැදෑරුවා. එයට වාසනාව මට තිබුණා. ඒ ලද ඇසුරත් සමඟ එවකට මෙරටේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් සමඟ කටයුතු කරන්නට මට අවස්ථාව හිමි වුණා. ඒ අය ළඟින්ම ඇසුරු කරන්නට මට හැකි වුණා. ජී. එස්. ප්‍රනාන්දු, ජී.එල්. ගෞතමදාස, ලංකාතිලක, සෝමබන්ධු විද්‍යාපති, ඇස්. චාල්ස් අමරසේකර, ඩැනී විමලසිරි, කේ. ජිනදාස අභයසිංහ, මහගම සේකර, සුනිල් ශාන්ත වැනි විද්වතුන් ඒ අතරින් විශේෂයි. ඔවුන් සමඟ ගත කළ කාලය, ඇසුරු කළ අයුරු අදටත් මගේ මතකය සතුටින් පුරවනවා. මොවුන් ගැන මා ලද අත්දැකීම්, රසවත් කතා, මතකයන්, ඔවුන්ගේ ප්‍රතිභාව පිළිබඳ අදටත් මගේ සුරතින් සුබසෙත වැනි පුවත්පත්වලට ලියැවෙනවා. එය මට විශාල සතුටක්.

 

ඡ්‍යොතිෂයට යොමුවීම

ළමා කාලයේ සිටම චිත්‍ර ශිල්පය මෙන්ම ඡ්‍යොතිෂ අංශයටත් මම වැඩි ඇල්මක් දැක්වූවා. මම හිතන විදිහට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මට උරුම විය යුතුව තිබූ දෙයක්. ඡ්‍යොතිෂය කියන මහා සාගරයේ තරමක් දුරට හෝ පිහිනා බැලීමට මට හැකිවීම මා පෙර ලද භාග්‍යයක්. ඡ්‍යොතිෂය කෙරෙහි මම යොමු වූයේ මට හමු වූ දක්ෂ ගුරුවරු නිසා. ඒ අතුරින් රත්නපාල ගුරුතුමා සුවිශේෂී චරිතකයක්. එතුමා දක්ෂ ඡ්‍යොතිෂ ඇදුරුතුමෙක්. එතුමා සමඟ මිත්‍ර වීම ඔස්සේ ඡ්‍යොතිෂය හදාරන්නට ඒ ගැන දැනගන්නට ගවේෂණයට වැඩි ආශාවක් ඇති වුණා. පැරැණි ඡ්‍යොතිෂ ග්‍රන්ථ කියෙව්වා. ඒ ශාස්ත්‍රයට වඩ වඩාත් නැඹුරු වන්නට වන්නට මම ඡ්‍යොතිෂ කෙරෙහි වඩාත් ළං වූවා. ඒ අනුව ඡ්‍යොතිෂයේ නියැළෙමින් කරුණු හදාරමින් ඡ්‍යොතිෂවේදියකු ලෙස ඉදිරියට යන්නට හැකි වුණා.

මෙලෙස තමා උගත් ඡ්‍යොතිෂ විෂය ක්ෂේත්‍රයේ නියැළෙන අතරතුර තමා ඉගෙනගත් දේට නුහුරු රැකියාවකට යොමු වන්නට හෙන්රි බෙම්මුල්ලයන්ට සිදු වන්නේය. ඔහු ඒ පිළිබඳ පවසන්නේ මෙලෙසිනි. ‘මම ඉගෙනගත් විෂය පථයට වෙනස්ම ආකාරයේ රැකියාවකයි මම නියැළුණේ. මගේ හිතවතෙක් වූ ඇම්. ඇස්. බක්මීවැව මහත්මා නිසා තමයි මට නුහුරු රැකියාවකට යොමු වුණේ. එයත් මම සතුටින් සිදු කළ රැකියාවක්. ඒ ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සැපයුම් නිලධාරියකු ලෙස සේවයට එක්වීමයි. එතුමා එහි සංස්ථාමය අධ්‍යක්ෂවරයෙක්ව සිටි අවදියේ. මම එහි කෙටි කලක් සේවය කර භීෂණ සමයේ රැකියාවෙන් සමු ගත්තා.

 

ලේක්හවුස් ආයතනය

ලේක්හවුස් ආයතනයේ සේවය කළ සමය මගේ පුවත්පත් කලා දිවියේ රසවත්ම අවදියක්. අදටත් මට ඒ අතීතයේ මිහිර සිහිවන වාර අනන්තයි. ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වන්නට ප්‍රථම මම තවත් පුවත්පත් කිහිපයකටම සම්බන්ධ වී කටයුතු කළා. ආතර් යූ. අමරසේන, කැමිලස් පෙරේරා මහතුන් නිකුත් කළ සිත්තර පත්තරේ චිත්‍ර ශිල්පියකු ලෙසත් සත්දින හා අද පත්‍රයේත් කල්පනා සඟරාවේත් මම වැඩ කළා. පසුව මධුර චිත්‍ර කතා පත්‍රයේ කර්තෘ තලංගම ජයසිංහ මහත්මාගේ ඉල්ලීම පරිදි මධුර චිත්‍රකතා පත්‍රයේ පූර්ණකාලීන චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළා. ලේක්හවුස් ප්‍රකාශනවලට චිත්‍ර හා විශේෂාංග ලිපි සැපයුවා. සුබසෙත පත්‍රයේ ජයතිලක අඹුවන්ගල ශූරීන් සමඟ පත්‍රයේ චිත්‍ර හා ලිපි වර්ණවත් කළා. මම එතුමා ගෙන් ඉගෙනගත් දේ අපමණයි. මුල්ම ඡ්‍යොතිෂ පත්‍රය වූ ඉරණම පත්‍රයේ සිට මෙතෙක් පළ වූ සෑම ඡ්‍යොතිෂ පත්‍රයකට ලිපි ලිවීමේ වාසනාව මට හිමි වී තිබෙනවා.

පසුව මගේ හිතවතකු වූ සුජිත් කෝණාර සමඟ එළිදක්වන ලද රිවිමිණි පත්තරේ සහකාර කතුවරයකු ලෙස ක්‍රියාකරන්නට මට අවස්ථාව හිමි වුණා. එහෙත් නොසිතූ ලෙස පැමිණි කොරෝනා වසංගතයත් සමඟ ඇති වූ කඩදාසි හිඟතාවයට අපට මුහුණ දෙන්නට වුණා. කඩදාසි ප්‍රශ්නය නිසා ඒ පත්‍රය මුද්‍රණය කිරීම නැවැතුණා.

චිත්‍ර කලාව සහ ජ්‍යෝතිෂ ඇසුරින් විවිධ නිර්මාණ කටයුතු සිදු කිරීමට හැකි වීම බෙම්මුල්ල මහතා ලද තවත් භාග්‍යයකි. ඡ්‍යොතිෂ ලිපියක් ලියන සෑම වේලාවකදීම ඒ අරබයා සිතුවමක් ඇඳීමට හැකිවීම ඔහුගේ කුසලතාවයේ පින මොනවට පැහැදිලි කෙරෙන්නකි. ඒ පිළිබඳ ඔහු මෙලෙස පවසයි.

ප්‍රකට කතුවරයකු වන ධර්මසිරි විජේරත්න මහතා ලියූ ‘ඉතිහාසගත චරිත‘ කෘතිය වෙනුවෙන් මා චිත්‍ර නිර්මාණය කළා. ඒ කෘතිය පසුගිය දිනක එළිදැක්වූවා. එය සම්මාන ලැබූ කෘතියක්. එලෙසින්ම අදටත් ඡ්‍යොතිෂය පිළිබඳ ලිපියක් ලියන හැමවිටම එයට අදාළ සිතුවමක් ඇඳීමට මම හුරු වෙලා තියෙනවා. එදා සිට අද දක්වා ම මම ලියන ලිපියකට චිත්‍ර සහ රූ රටාවක් ඇඳීමට ලැබීම මට මහා සතුටක්.

 

විවාහ දිවිය

මගේ බිරිඳ ඉන්ද්‍රානි බෙම්මුල්ල. මගේ චිත්‍ර හා ඡ්‍යොතිෂමය වැඩකටයුතුවලදී හෙවණැල්ලක් සේ ළඟින්ම ඉඳීමින් අමිල සහායක් ඇය මට ලබා දෙනවා. අපිට දරුවන් තිදෙනයි. ලොකු දුව චින්තා පුෂ්පකාන්ති, දෙවැනි දුව සචිත්‍රා ප්‍රියදර්ශනී, එකම පුතා පුෂ්පානන්ද උදයසිරි. ඔහු මා ආ මඟ යමින් අද පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කරනවා. ලේලිය බැංකු කළමනාකාරිණියක්. මගේ බෑනාවරුන් වන සරත් පුෂ්ප කුමාර වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වගේම දිලිප් චන්දිම වරාය අධිකාරියේ නිලධාරීවරයෙක්. ආදරණීය මිණිබිරියන් අට දෙනෙක් ම ඉන්නවා. මෙරටේ ඡ්‍යොතිෂවේදියකු ලෙස සේවය කිරීමට හැකිවීම පිළිබඳව බෙම්මුල්ල මහතා මෙසේ පවසයි.

ඡ්‍යොතිෂවේදියකු හැටියට මට කියන්න තියෙන්නෙ එදාට වඩා අද මාධ්‍ය ඔස්සේ ඡ්‍යොතිෂ දැනුමක් හැමෝටම ලැබිලා තිබෙනවා. අපේ රටේ වුණත් අත්දැකීම් බහුල ඡ්‍යොතිෂවේදීන් වේදිනියන් විශාල පිරිසක් බිහි වී සිටිනවා. බිහිවෙමින් පවතිනවා. එය රටේ වාසනාවක්. මම යෝජනා කරනවා මේ ඡ්‍යොතිෂ විද්‍යාව පාසලේ ඉගැන්විය යුතු විෂයයක් කිරීමට. එය හරිම වැදගත්. ඒ වගේම කාලෝචිතයි කියා. තවද මා ඡ්‍යොතිෂවේදියෙක් වශයෙන් සියලුම ඡ්‍යොතිෂවේදීන්ට සුබ පතනවා ඔවුන් ජනතාවට කරන සේවය පිළිබඳව. විශේෂයෙන්ම කිව යුතු දෙයක් වන්නේ අපි සොබාදහමට එරෙහිව යන මේ ගමනේ අවසානය කුමක් වේද? මානව භක්තියෙන් තොරව මුදල් පසුපස හඹා යෑමට අකමැත්තෙන් වුවද පිම්මේ දිවීමට අද සිදුවීම නිසා අපේක්ෂා සුන් වූ මිරිඟුවක් කරා දුවන්නට සිදු වී ඇති බැව් වඩාත් පැහැදිලියි. කිව යුත්තේ ග්‍රහයින් එයට පළි නැති බවයි.

දිවි ගමනේ අනූ වැනි වියට එළැඹ සිටින මේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියාට, ඡ්‍යොතිෂවේදියාණන්ට දීර්ඝායු පතමු.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.