ජනේරුවේ උපන් 1, 2, 3 අංක හිමියන්ගේ තතු

ඔක්තෝබර් 13, 2023

දෙසැම්බර් 28 සහ ජනවාරි මාසයේ 1, 10, 19, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජනවාරි මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

මේ නිසා ඉතා ස්වාධීන පුද්ගලයකු බිහිවේ. නිර්මාණශීලි වේ. තමා විසින් බාරගන්නා සෑම කටයුත්තක්ම කල්පනාකාරිව නිවැරැදිව ඉටුකිරීමට දැඩි උත්සහයක් ගන්නා පුද්ගලයෝ් ජනවාරියේ මේ දිනවල උත්පත්තිය ලබති. වෙනත් අයගේ අදහස් යෝජනා නිසා තමන්ගේ අරමුණ වෙනස් කර ගන්නේ නැත. නියත වශයෙන්ම දියුණු වීමේ කැමැත්ත ඇත. ජීවිතයේ සාර්ථකත්වය හිමිවන්නේ වයසින් මුහුකුරා ගිය විටය. එනම් ජීවිතයේ දෙවැනි අවධිය දක්වා ඔහුන්ගේ සාර්ථකත්වය ප්‍රමාද වේ. නමුත් එම වයස දක්වා මූලික අරමුණින් ඉවත්වන්නේ නැත. ත්‍යාගීලී හදවතක් මොවුන්ට ඇතිමුත් තම කටයුතුවලදි වෙන යම් අයකු බලපෑම් කරන්නේ නම් වහාම එම ක්‍රියාව නවතා දමන්නේය.

ජනවාරි මාසයේ මේ දිනවල උත්පත්තිය ලද්දකු නම් ආර්ථිකය ප්‍රවේශම්කාරි ලෙස හැසිරවීම සිදුකරයි. ආයෝජනයන් තුළින් ප්‍රයොජනය ගැනීමට දක්ෂතාවයක් ඔවුන් සතුය. ඉහත දිනයන්හි ඉපදුණ පුද්ගලයන් ප්‍රබල ජීව ශක්තියක් ඇති පුද්ගලයන් වේ. එහෙත් මේ තත්ත්වය රැක ගැනීම සඳහා මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට හුරු වීමෙන් වැළකී සිටිය යුතුය. ඊට අමතරව හදිසි උණ ආතරයිටීස් රෝගි තත්වයන් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 1ට යෙදෙන දින එනම් 1,10, 19, 28 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන්,කහ,තඹ සහ රන් දුඹුරු පැහැයේ වර්ණයන් සුබ වර්ණ වේ.

දෙසැම්බර් 29 සහ ජනවාරි මාසයේ 2, 11, 20, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජනවාරි මාසයේ නිසා පුද්ගලයා සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මේ හේතුවෙන් අධිසංවේදී ඉතා ඉක්මනින් සිත් රිදවා ගන්නා පුද්ගලයන් බිහිවේ. නමුත් සෞම්‍ය නිර්මාණශීලි ප්‍රතිභාපූර්ණ මනසක් ඔවුන්ට උරුමය. අධි සංවේදීභාවය මොවුන්ගේ සියලු කාර්යයන්ට නිරතුරුවම බාධාවක් වේ. මොවුනට ගමනක් යාම සඳහා වටා සිටින්නන්ගේ ඔසවා තැබිම් ධෛර්ය දීම් යොමු කිරීම බලාපොරොත්තුවේ. එම නිසා ස්වකීය සහජයෙන් ලද නිර්මාණ ශක්තිය මෙහෙයවා කටයුතු කරන ව්‍යාපාරයක් ආත්ම විස්වාසය ඇති කරගනිමින් සිදුකිරීම ජීවිතයේ සාර්ථකත්වයට මහඟු පිටු වහලක් වේ.

මුදල් සම්බන්ධයෙන් හැඟීමක් මොහුනට නැත. මුදල් අවශ්‍ය වන්නේ අවශ්‍යතාවයට පමණක් බව මොවුන්ගේ විශ්වාසයයි. මුදල් ඕනෑම අවස්ථාවක උපයාගත හැකි බවට මොවුන්ගේ විශ්වාසයක් ඇත. එම නිසාම දුක්ඛිතභාවයට ඇද වැටීමේ අනතුරක් ඔවුන් ඉදිරියේ ඇත. මානසික තෙහෙට්ටුව නිසා මොවුන් අසනීප වේ. මෙම තත්ත්වය වඩාත් ප්‍රබල වුවහොත් මානසික අවපීඩනයක් දක්වා ගමන් කළ හැකිය. එම නිසා විවේකය ලබා ගැනීම මෙම තත්ත්වයන් පාලනයට මහත් රුකුලක් වේ. ආහාර තෝරාගැනීම ඔවුන්ගේ ක්‍රමවේදයක් නිසා බොහෝ රෝගයන්ගෙන් ආරක්ෂා වේ. නමුත් ආත්‍රයිටීස් වැනි අසනීපයන් සඳහා අවදානමක් දැකිය හැකිය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 2 ට යෙදෙන දින එනම් 2,11, 20, 29 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. කොබෙයියාගේ අළු පැහැය ළා පැහැයේ සිට තද පැහැය තෙක් සුබ වර්ණ වේ.

දෙසැම්බර් 30 සහ ජනවාරි මාසයේ 3, 12, 21, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර එය ගුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජනවාරි මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මොවුන් තමාගේ ජීවිතය ඉහළට ගෙන යාම සඳහා දැඩි උත්සහයකින් මෙන්ම අධිෂ්ඨානයකින් ක්‍රියාත්මක වේ. එසේම සියලු වැඩවලදි අනිත් අය පරදවා තම අරමුණ කරා ගමන් කරයි. මේ නිසාම බොහෝ සතුරන් ඇති කරගැනීම සිදුකර ගනී. මේ මස මෙම දිනවල උපන් අයගේ විවාහය සාර්ථක නොවේ. විවාහය සාර්ථක කර ගැනීමට නම් මේ පුද්ගලයන්ගේ ක්‍රියාමාර්ග අගයන සහකරුවෙකු හෝ සහකාරියක සොයාගත යුතුය. ශනි ග්‍රහයාගේ බලපෑමට ද යටත් වන බැවින් තනි පුද්ගලයෙකුට වඩා සමුහයකට උදව් කිරීමට පෙලඹේ. මොවුන්ගේ සැලසුම් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ඔහුනට අවශ්‍යවේ. පෞද්ගලික ලැබීම් බලාපොරොත්තු නොවන කටයුතුවලින් සාර්ථකත්වය ළඟා කර ගත හැකිය. ඉතා හොඳ ශාරීරික නිරෝගිතාවයකට හිමිකම් කියන නමුත් එක දිගට පැමිණෙන මානසික පීඩාවන් නිසා අංශභාගයට හො හෘද අශ්‍රිත රෝගාබාධයන්ට ලක්වීමේ ඉඩකඩක් තිබේ.එම නිසා මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 3 දින එනම් 3 12 21 30 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට් වර්ණයේ ප්‍රභේද සහ වයලට් දම් පැහැය සුබ වර්ණ වේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.