දළදා පෙරහර හා බැඳුණු චාරිත්‍ර

අගෝස්තු 25, 2023

පෙරහර හා සම්බන්ධ සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුබ නැකතින් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයයි. කප සිටුවීම පුරාණ චාරිත්‍රයකි. එම චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කරනුයේ පෙරහරේ නියැළෙනවුන්ගේ ආරක්ෂාව හා කිසියම් උපද්‍රවයක් නොමැතිව පෙරහරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට ආශිර්වාද ලබා ගැනීමයි.

 

කප බෙදාදීම

කප බෙදාදීමේ මුල් කාර්යය මුල් කාලයේ දී පැවරී තිබුණේ අලුත්නුවර උපුල්වන් මහ දේවාලයටයි. මහනුවර විෂ්ණු දේවාලය ගොඩනැඟීමෙන් පසු කප සූදානම් කිරීමේ කාර්ය භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරී ඇත. කප සඳහා තෝරාගනුයේ නැඟෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි සූදානම්කොට තබන පණස වෘක්ෂයේ බොහෝ විට මේ සඳහා තෝරාගනු ලබනුයේ පල නොදරන කොස් පැළයකි. විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගසවටා පිරිසුදුකොට සුවඳ දුම් අල්ලා සුවඳ පැන් ඉස ගස කැප කර ගසවටා පහන් නමයක් දල්වා බුලත් කොළ නමයක මල්වර්ග නමයක් තබා සුදුවතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැඟෙනහිර දෙසට වැටෙන සේ ගස කපා දමා ඉන් මුල්කොටස නාථ දේවාලයටත් දෙවැනි කොටස විෂ්ණු දේවාලයටත් තුන්වැනි කොටස කතරගම දේවාලයටත් සිව්වැනි කොට පත්තිනි දේවාලයටත් වෙන්කර දෙනු ලබයි.

ඉක්බිති සුදු පිරුවටයකින් ඔතා ස්වකීය දේවාලයට පෙරහරකින් ගෙනගොස් සුබ මුහුර්තියෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස්කරන ලද විශේෂ ස්ථානයක වටතිර බඳවා උඩුවියන් බඳවා සරසා කපන ලද ස්ථානයක සුබ මොහොතින් කප තැන් පත් කෙරේ. ඒ අවට මල්වලින් සරසා කප දෙපස පොල්ගෙඩි තුනක් තබා පහන් දල්වා තබයි. කප සිටුවා දෙවිදේවතාවුන්ට පූජෝපහාර දක්වා වැස්ස ප්‍රාර්ථනාකොට වර්ෂාවට අධිපති ඉන්ද්‍රදෙවියා පිදීමත් වැසි ලැබී රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිවන ලෙසට ද ප්‍රාර්ථනා කරයි. දේවාල භාර කපු මහත්වරු කප වටා පංචතූර්ය නාද පවත්වා මහත් භක්තියෙන් පූජා සිදුකොට දේවාභරණ වැඩමවා එහි පෙරහර දින පහක් පුරා පවත්වයි.

 

කුඹල් පෙරහර

දේවාල පෙරහර පහට පසු වීදි සංචාරය කරනුයේ කුඹල් පෙරහරයි. වීදි සංචාරය කෙරෙන සෑම පෙරහර දිනයකදීම සැන්දෑවේ දළදා මාළිගාවේ සිට පෙරහර සූදානම් කෙරෙන ලෙස දන්වමින් පළමු වෙඩි හඬක් නිකුත් කෙරේ. ඒ අනුව පෙරහරට සහභාගිවන කලා ශිල්පීහු ඇතුළු සියලු දෙනා ඇඳුමෙන් පැලඳුමෙන් සැරසී පෙරහරට සූදානම් වෙති. දියවඩන නිලමේ කුඹල් පෙරහරට සුදු ඇඳුම් කට්ටලයකින්ද, රන්දෝලි පෙරහරට වර්ණවත් ඇඳුම් කට්ටලයකින්ද සැරසී සහභාගි වේ.

 

පෙරහර කරඬුව වැඩමවීම

චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු කාරිය කරවන කෝරාළ ඇතුළු මුරායුදකරුවන් ඇතුළු නිලකරුවන් සමඟ එන දියවඩන නිලමේතුමා උඩ මාලයේ ගන්ධකුටියට පිවිසෙන්නේ මුරායුධකරුවන් නොමැතිවය. එහිදී තේවාභාර නාහිමි ඇතුළු තෙරුන් වහන්සේලා පිරිත් දේශනා කරද්දී දියවඩන නිලමේතුමාගේ සුරත සඳුන් කිරි පැණියෙන් පිරිසුදුකොට කරඬුව වැඩමවයි. කාරිය කෝරාළ විසින් පළමුව කරඬුව වැඩමවන ඇත් රජු සමඟ මහ වාහල්කඩ සඳකඩ පහණ කරා ගමන් කරති. දියවඩන නිලමේතුමා නිලකරුවන් සමඟ වාහල්කඩ අභියස සඳකඩ පහණ මතට පැමිණි පසු කාරියකෝරාළ පැමිණ මල්දමක් පලඳවා පෙරහර පිටත්වීමට සූදානම් බව දන්වා පෙරහර පිටත්වීමට ආරාධනා කරයි. ඒ සමඟම වෙඩිහඬ නිකුත් වෙත්ම සුබ මොහොතින් පෙරහර පිටත් වීම ආරම්භ කෙරේ.

 

රන්දෝලි පෙරහර

කුඹල් පෙරහර පහක් පැවැත්වීමෙන් පසුව රන්දෝලි පෙරහර පහක් ද පැවැත්වේ. පෙරහර මංගල්‍යයේ දී සිව්මහා දේවාලයන් වෙනුවෙන් රැගෙනයන දෝලාවන්ද හඳුන්වනු ලබන්නේ රන්දෝලිය වශයෙනි. දෝලාවන්හි එම දේවාලයන්හි දේවාභරණ වැඩමකරවීම සිදුකෙරේ. මේ දෝලාවන් දෙපස රජ සමයේ දී රාජ බිසෝවරු රාජකුමරියන් ගමන් ගත් අතර වර්තමානයේ දී රාජ බිසෝවරු වෙනුවට ඒ ඒ දේවාලයන්හි ආලත්ති අම්මලා ගමන් ගනී. අවසන් රන්දෝලි පෙරහර පවත්වනු ලබන්නේ ඇසළ පුර පසළොස්වක හෝ නිකිණිපුර පසළොස්වක පෝය මුල්කරගනිමිනි. රන්දෝලි පෙරහර දින නව බුද්ධ පූජා අවස්ථාවේදී ආදිවාසි වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් පැමිණ සම්ප්‍රදායික මී පැණි පූජාව පැවැත්වීමට සිරිතක් වශයෙන් ඉටු කෙරේ.

 

දිය කැපීමේ මංගල්‍යය

අවසන් මහ පෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රියේ දී පෙරහරකින් පෙරහර කරඬුව අස්ගිරියේ ගෙඩියේ විහාරය කරා වැඩම කරවීම සිදු කෙරේ. ඇසළ හෝ නිකිණි පෝය දින අවසන් මහ රාත්‍රී පෙරහර ගෙවදීමෙන් පසු දියකැපීමේ පෙරහර ආරම්භ වේ. සතර මහා දේවාල කපු මහතුන් සමඟ පිටත්වන දිය කැපුම් පෙරහර ගැටබේ තොටට ළඟා වී එහි බෝධිය අසල දෝලාවෙන් තැන්පත්කොට කපුවන් ගඟදියමැදට බෝට්ටුවෙන් ගොස් අටමගල හදවා ස්තෝත්‍ර ගායනා කොට රැගෙන ගිය කප හා රැගෙන ගිය දිය, ගඟට එක්කොට රන් කඩුවෙන් දිය දෙබෑවන සේ දියකපා රැගෙන එන රන් කෙණ්ඩියට දිය පුරවා ගැනීම සිදුකෙරේ.

දිය පුරවා ගැනීමෙන් පසු කෙණ්ඩිය කඩවත බැඳ රන්දෝලියේ තැන්පත්කොට බෝධිය අසලට පැමිණ දොස් දුරු කිරීමේ සෙත් ශාන්ති පවත්වා රන් කෙණ්ඩිය, රන් කඩුව, දේවායුධ රැගෙන කපුමහත්වරු ඇතුපිට නැඟ පෙරහරින් ගණදෙවි කෝවිලට පැමිණ සෙත් ශාන්ති කොට පෙරහරින් ශ්‍රී දළදා මාලිගාවේ චතුරශ්‍රයට පැමිණ ගෙවදීම සිදු කෙරේ.

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.