අසුරයන් දිනා දිව්‍යරාජයකු වූ කඩවර

ජුනි 30, 2023

කඩවර දෙවියන් වෙනුවෙන් අද (30) කතරගම කඩවර දේවාල භූමියේ දී සිදු කෙරෙන කඩවර යක් කංකාරිය පිළිබඳ තොරතුරුවලින් අඩක් අපි පසුගිය සතියේ පළ කළෙමු.

 

සෙනෙවිරත්න නම් තරුණයා බිරිඳ සමඟ වූ ආරෝවක් නිසා කැලෑවැදී වන සතුන් සමඟ දිවි ගෙවද්දී ධාතුසේන රජුගේ අණින් මාලිගයට කැඳවා වනන්තරයේ දුටු හොඳම නිධානය කුමක්දැයි විමසූ විට කලවැලකින් වට වූ ජලාශය බව පැවසූ බවද, ඒ ජලාශය ගොවිබිම් සරු කරන කලා වැව බවට පරිවර්තනය කිරීමේ වගකීම සමඟම සෙනෙවිරත්න තරුණයාට සිටාණ තනතුරක් ද ලබා දුන් අයුරු ද, නියං සමයක වැසි වස්සන්නට පිරිත් සජ්ඣායනයක් සූදානම් කළ විට මේ සිටාණන් සමඟ ඊර්ෂ්‍යාවෙන් පෙළුණු ඇමැති මඬුල්ල චීවර වේශධාරියකු ලවා මිනුම් කොරහට හැරමිටියෙන් ඇණ වැව් බැම්ම පුපුරා යන තුරු දියවර මට්ටම සොයාගැනීම වැළැක් වූ බවද, එය දුටු සෙනෙවිරත්න සිටාණ කලා වැව් බැම්ම කඩ වූ තැනින් පැන සියදිවි නසාගත් වනම කඩවර නම් රාක්ෂසයකුව ඉපිද දෙතිස් කඩවර සේනාව අතුළු හැට දහසක් පිරිසට නායකව කඩවර දෙවි බවට පත් වූ අයුරුද පසුගිය ලිපියේ සඳහන් විය. පත්තිනි මෑණියන් හමු වූ කඩවර රාක්ෂසයා අතෘප්තිකරව පැමිණි හේතුවත් කතරගම දෙවියන්ගේ පැවරූ දේවකාරිය බාරගත් පසු කඩවර දිව්‍යරාජ බවට පත් වූ අයුමහරුත් පිළිබඳ ලිඛිත හා මුඛ පරම්පරාගතව එන තොරතුරු අද මෙසේ ගෙන එමු.

 

මහ මුහුදේ රළ නවතා වෙරළ දිගට වැඩමවන්ඩ

අලුයම සත් පැයක් තියා කඩවර දෙවි වැඩමවන්ඩ

රන් කෙඳී ගෙතුවා විලසට හැඩපලු පිට මැද කෙළින්ඩ

කන්ද සාමිටවත් බැරී ගොටුව නොදී වළක්වන්ඩ

 

සිංහල දේව පුරාණය කෘතියේ ඉන්දියාවෙන් වැඩම වූ කඩවර දෙවියන්ගේ හැඩවැඩ පවසන්නේ එසේය. උන් වහන්සේ ද පත්තිනි මෑණියන් හමු වී පැමිණි බව කඩවර කතන්දරවල පැවසේ. එහෙත් වැව්ගම් වාසීන්ගේ කඩවර දෙවියන්ට දිනකට ගොටු දෙදහසක් දෙවියන්ගෙන් සහ නරයන්ගෙන් ලැබෙන්නේ පත්තිනි මෑණියන් හමු වීමෙන් පසු ඇති වූ සංවාදයකින් අනතුරුවය. කඩවර රාක්ෂයාට අවශ්‍ය වූයේ තමන් සෙනෙවිරත්න සිටාණන්ව සිටියදී මහන්සියෙන් තැනූ කලා වැව වනසන්නට කටයුතු කළ දුෂ්ට නරයින් සිටින නර ලොව විනාශ කර දැමීමටය. එහෙත් පත්තිනි මෑණියන් ඒ සඳහා වරයක් අනුමත කරන්නට කිසිදු අයුරකින් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වෙනුවට පත්තිනි මෑණියන් කඩවර යක්ෂ සේනාධිපතිට යෝජනා කළේ දෙවියන්ගෙන් ගොටු දහසක් සහ නරයන්ගෙන් ගොටු දහසක් දිනකට ලැබෙන ආකාරයේ වරයකට එකඟ වන ලෙසය. තම සිතැඟිවලට පරස්පර වූ වරයක් වුවද මතු බුදු බව පතන පත්තිනි මෑණියන්ට එරෙහිව යෑමට තරම් කඩවරයන්ට හැකියාවක් නැති නිසා අකැමැත්තෙන් වුවද එයට වලංගු වන්නට සිදු විය. ඒ අනුව සිරිලක පුරා කුමන දේවාලයක කෙබඳු පූජාවක් කළ ද කඩවර ගොටුව වෙන් කරන්නට සිදු වී ඇත. එනයින් ගත් කල කිරි ඉතිරවීමෙන් හෝ ශාන්තිකර්ම කිරීමෙන් හෝ කෙබඳු ආකාරයකින් හෝ නරයන්ගෙන් දිනකට ගොටු දහසක් ලැබෙන බව සමන් කුමාර යකැදුරු ඇතුළු කඩවර දෙවියන් පිළිබඳ දන්නා කියන සැමගේ විශ්වාසයයි. ඒ වරය අපට පුදුමයක් එක් කළ ද තම අභිමතාර්ථ මුදුන්පත් නොවීමේ අතෘප්තිකර සිතිවිල්ලෙන් මහ හිමේ පීරාගෙන එන කඩවර රකුස් යන මඟ තණ බුදිමින් සිටියේ විසල් දල යුගළක් සහිත ඇත් රාජයෙකි. කිපුණු සිතිවිල්ලෙන් එන කඩවරට මඟ ඇහිරූ ආරෝවට දල ඇතු ඔසවා හිස පොළොවේ එබූ වේගයට ඇතුගේ දල යුගල බිඳී ගියේය. ඒ දල යුගල හක්කේ රුවාගත් නිසා කඩවර දෙවියන්ගේ රූපයට දල දෙකක් එක් වූ බව යකැදුරෝ පවසන්නේ කවියෙනි.

 

මේ ශක්තිමත් රාක්ෂසයාගේ දස්කම් දකින කතරගම දෙවියන් සිය දෘශ්‍යමය දිව්‍යමය රන්තොරණේ මුරට ගන්නට සුදුසුම තැනැත්තා මේ කඩවරයන් බවට තීරණය කළේය. ඒ අනුව කදිර සුරිඳු කඩවරයන් විමසූවේ සිය පරිශ්‍රයේ දකුණු වාහල්කඩ මුර කර දීමට හැකි ද කියාය. එසේ මුර සේවය බාරගෙන සිටියදී වරක් ලෝකයම අඳුරේ ගිලිණ. කදිර දේව රාජයාණන් කඩවර දෙවි කැඳවා මේ අඳුරට හේතුව කුමක්දැයි සොයා බලන ලෙස පැවසීය. එහිදී දුටුවේ අසුරයන් අහස වසා සිටින බවය. එය දුටු කඩවර අසුර භවනට වැද මිණි කඩුවයි, කීල පන්දමයි රැගෙන යුද කර අසුරයන් පරදා සූර්යයාට යළි පායන්නට අවස්ථාව උදාකර දුන්නේය. හිරු රාහු ගිලීම ලෙස සලකන මේ කළුවර අවස්ථාවෙන් ලොව බේරා ගැනීම හෙවත් අසුරයන් දිනූ නිසා දිව්‍ය ලෝක 1008ක පාලන බලය ඇති පද්මාවසුරයන්ගේ මහා සේනාධිපතිධුරය කඩවරයන්ට පිරිනැමීමත් සමඟ කඩවර දෙවියන් කඩවර දිව්‍ය රාජයකු තනතුරට උසස් වූ බව කඩවර යක් කංකාරියේ කවිවලින් ද රසවත්ව පවසයි. ඒ වෙනුවෙන් ලැබෙන ගොටුවට බත්, හත්මාළුව, කටුව සහිත බිත්තරයක් හෝ බදින ලද බිත්තරයක්, දඩමස්, කැවුම්, කෙසෙල්, කස පැන් (තැඹිලි වතුර), රීරි (ලේ) අඳුන් හඳුන්, රත්මල් පොහොට්ටු, ගොඩමස්, දියමස්, තල, වී, මුං, කවුපි, උඳු ආදි ඇටවර්ග පහක්, විලක්කුව ඇතුළු අඩුම කුඩුම සහිත ගොටුව දවල් 12ට හැන්දෑවට හෝ කංකාරියක නම් පාන්දර 3.03ට පිදිය යුතුය. සුළු කරුණකදී නම් රීරි වෙනුවට කහකුඩු සමඟ හුණු එක් කළ විට එන රතු දියරය පිදෙන අතර කංකාරියකදී නම් ප්‍රධාන යකැදුරු ලෙස තමන්ගේ බාහුව පලා ලේ දෙන බව ද කඩවර යක් කංකාරියේ ප්‍රධාන යකැදුරු සමන් කුමාර මහතා පවසයි. ඔහු එයට තවත් කරුණු එක් කළේ මෙසේය.

“ආතුරයෙක් ගොඩ ගන්න නම් කැවිලි පහයි, පළතුරු පහයි, කළු සුරුට්ටුවකුයි දෙන්නත් ඕනෑ. ඒවා නියම කළේ කතරගම දෙවියන්. ඒ වගේම පත්තිනි මෑණියන් දුන් වරමත් කතරගම දෙවියන් කඩවර දෙවියන්ගෙන් ඉවත් කළේ නෑ. කඩවර දෙවියන්ට සකලවිධ වරම් ලැබෙන්නේ අර කියූ අසුරයන්ගේ අඳුරෙන් ලෝකය ගළවා ගැනීමත් සමඟයි. වරම් වැඩි වීමත් සමඟ දිව්‍ය රාජ වුණු කඩවර දෙවියන්ට දැන් කඩවර අප්පච්චි කියලත් ආමන්ත්‍රණය කරනවා. දේවත්වය ලබද්දි කාට හෝ කරන කාර්යය තමයි කංකාරිය කියා හඳුන්වන්නේ. ඇත්තෙන්ම කංකාරිය කියන්නේ උපස්ථාන කිරීමට නැත්නම් සැලකීමට සමාන වචනයක්. කඩවර කවි බැඳුම් 1108ක් මේ කංකාරියේ තිබෙනවා. වැදියක් කඩවර දෙවියන් වෙනුවෙන් පිදේනි හදන ක්‍රමය ආදිවාසීන් ළඟින් හමු වී තිබෙනවා. කඩවර දෙවියන්ගේ බලය වැව්, අමුණු, කැලෑවල පැතිර තිබෙනවා.“

කඩවර කංකාරිය පරම්පරා හතරකින් පැවතෙන බව පැවසේ. බින්තැන්න, මහනුවර, පොළොන්නරුව සහ කුරුණෑගල පරම්පරාවලින් පැවතෙන මෙහි මූලික ස්වභාවය එකම වුවද රංගනයේ නාට්‍යමය ස්වරූපය සහ කවිවල ඇතැම් වචන ගැළපීම් පමණි වෙනස් වන්නේ. කලා වැවේ වැව් බැම්මේ කඩවර දේවාලයක් පිහිටා ඇත්තේ ද එවක රජුට හීනෙන් පෙනී පැවසූ ආකාරයට වැඳුම් පිදුම් සිදු කළ නිසාය. කතරගම දෙවියන් නමින් පෙරහර පවත්වන සමයේ කදිර සුරිඳු වෙනුවෙන් ගිනි පාගා දේවාභරණ වඩම්මා පුද පූජා කරන විට කතරගමදී දිව්‍යරාජයකු බවට පත් වූ කඩවරයන් හට ද කංකාරිය පැවැත් වූ බව ජනශ්‍රැතියේ සඳහන් වේ.

ඒ සම්ප්‍රදාය රකිමින් මෙවර ද කඩවර යක් කංකාරිය අද (30) සිකුරාදා සවස 4.30 සිට කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව කතරගම කඩවර දෙවියන් වෙනුවෙන් කතරගම කඩවර දේවාල භූමියේදී පැවැත්වේ. කතරගම පෙරහර නරඹන්නට යන බැතිමතුන්ට මෙය ද නවමු අත්දැකීමක් වනු ඇත.

(ඉර මද්දහනේ හඳ මද්දහනේ කඩවර බැල්ම වැටීම නිසා විශේෂයෙන් ළමිස්සියන්ටත් ඉඳහිට ගැටවරයන්ටත් ඇතිවන දෝෂ සහ කඩවර කංකාරියට යොදාගන්නා වාද්‍ය භාණ්ඩ ආදිය පිළිබඳ අද කංකාරි නැටුම නැරඹූ පසු කතාබහ කරමු.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.