දැන ගෙන යමු කතරගම

ජුනි 23, 2023

අපේ රටේ දෙවියන් කෙරේ විශ්වාස කරන දෙවියන් අදහන බොහෝ දෙනකුගේ භක්තිය හිමි වූ දිව්‍යරාජයකු ලෙස කතරගම දෙවියන් හැඳීන්විය හැකියි. ලංකාවේ ජනතාව අදහන දෙවිවරුන් අතර ප්‍රධාන වශයෙන් පුද පූජා ලබන දෙවියකු වන්නේ කතරගම දෙවියන් ය. ස්කන්ධ කුමාර, කාර්තිකේය යන නමින් සිංහලයෝ ද මුරුගන්, වේලුපිල්ලේ, කන්දසාමි ආදී නමින් දෙමළ ජනතාවද කතරගම දෙවියන් හඳුන්වති. ශරවනභව, සුභ්‍රමණ්‍ය, සනත් කුමාර ආදී සංස්කෘත නාම ද ඇතුළුව කතරගම දෙවියන්ට නම් 37ක් පමණ ඇති බව කියැවේ.

මේ දෙවියන්ට මුහුණු සයක් හා අත් දොළොසක් ඇති බැව් සැලකේ. එතුමන්ගේ වාහනය වන්නේ මයුරෙකි. ප්‍රධාන දේවාලය කතරගම පිහිටා ඇති අතර ලක්දිව පුරා අනෙක් කිසිම දෙවි කෙනෙකුට වඩා වැඩි දේවාල ගණනක් මේ දෙවියන්ගේ නමින් ඉදි වී ඇත.

මේ දෙවියන්ගේ උපත ගැන භාරතීය දේව කතාවන්හි මත කිහිපයක් ම ඇත. මීට අමතරව මේ දෙවියන් බුද්ධ වර්ෂාරම්භයට පෙර කතරගම නුවර විසූ මහාසේන රජතුමා බැව් ද පැවසේ. එමෙන්ම ඉන්දියාවේ සිට මෙරටට පැමිණ පදිංචි වූ යුද්ධයෙහි දක්ෂයකු මරණින් පසු දේවත්වයට පත් වූවා යැයි මතයක් ද පවතී.

දුටු ගැමුණු කුමාරයා එළාර රජුගෙන් රට බේරා ගන්නේ කෙසේදැයි නිතර කල්පනා කරමින් ඒ සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කළේය. එම කටයුතු සංවිධානය කළ දුටුගැමුණු කුමරු පොහෝ දිනයක කතරගම මැණික් ගංඉවුර අසල පෙහෙවස් සමාදන් වී භාවනාවේ යෙදී සිටියදී නිද්‍රෝපගත වී ඇත. එම මොහොතේ දී ගැමුණු කුමරුන්ට කතරගම දෙවියන් කතා කළ බවත් එහිදී කතරගම දෙවියන් විමසූ පැනයකට “ මාගේ මේ උත්සාහය කිසි කලෙකත් රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා“ බව පවසා ඇත. එවිට කතරගම දෙවිඳුන් “නිර්භයව සටනට යව, ඔබට ජය ලැබීම සත්‍යයක්.“ ලෙසින් පවසා අතුරුදන්ව ඇති බවත් ජනයා අතර ප්‍රචලිත වූවකි.

ඉන් පසුව මහත් වූ අධිෂ්ඨානයෙන් යුද්ධයට ගොස් ජය ගැනීමෙන් අනතුරුව කතරගමට පැමිණි ගැමුණු රජුට මැණික් ගඟේ දිය නාමින් සිටි කතරගම දෙවියන් දර්ශනය වී ඇත. දේවාලය සාදවන ස්ථානය ගැන කතා කළ විට මැණික් ගං ඉවුරේ සිට හීයක් විද එම හීය වැටුණු ස්ථානයේ දේවාලය ඉදිකරන ලෙසට කතරගම දෙවියන් උපදෙස් දුන් බවත් කියැවේ. ගැමුණු කුමරුන්ගේ ජය කොන්තය ද කතරගම ඇති බවට මතයක් පවතී.

බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවියන් අතර කතරගම දෙවිඳුන්ට විශේෂ ස්ථානයක් හිමි වේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කරුණු අනුව කතරගම දෙවියන් මතු බුදුවන උත්තමයෙකි. කතරගම දෙවියන් සම්බන්ධ දේව කන්නලව්වල ද එය සඳහන් වේ.

පැරැණි සර්ව දේව කන්නව්ව “තවද සැලකර සිටින්නේ මතු බුදු වන දේව ස්වාමීන් වහන්ස කතරගම කන්දට, කුඩා කතරගම සෙල්ලම්දූවට, මැණික් ගංගාවට, මූද පන්තියට, කිරි වෙහෙරට....“ ආදී ලෙසින් බොහෝ දේව කන්නලව්වල කතරගම දෙවියන් බුදු බව පතන දෙවි කෙනකු බවට ප්‍රකාශ කෙරෙයි.

බෞද්ධ දෙවියකු ලෙස කතරගම දෙවියන්ගේ දේවත්වය පිළිබඳ හරියාකාරව කරුණු වටහා ගත් අපේ මුතුන් මිත්තෝ අතීතයේ සිට කතරගම දෙවියන්ට නමස්කාර කළහ. පුද පූජා පැවැත් වූහ. එසේම කතරගම දෙවියන් තුළ ඇති තේජස, බලය, වික්‍රමය, කාර්යශූරත්වය, භාග්‍යය, තත්ත්ව ඥානය ආදී ක්‍රියා ශක්තීන් පිළිබිඹු කරන කතා වර්තමාන හා අනාගත සමාජයට දායාද කළහ.

අප කොතරම් දෙවියන්ට කන්නලව් කළ ද දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව, ඇල්ම බැල්ම ලැබෙන්නේ දෙවියන්කෙරේ ළැදියාව ඇති පුද්ගලයන්ටයි. එපමණක් නොව, සිල්වත්ව, දැහැමි ජීවිත ගත කරන හොඳ චරිතයකින් හෙබි පුද්ගලයන්ට දෙවියන්ගේ ආනුභාවයෙන් පිහිට, ආරක්ෂාව ලැබේ.

කතරගම දේවාලයත්, කිරිවෙහෙර පුරාණ රජමහා විහාරයත් අතර ඇත්තේ අනාදිමත් කාලයක පටන් පැවතෙන සමීප සම්බන්ධතාවකි. ඊට පදනම වී ඇත්තේ දේවාලය ආශ්‍රිත පුද පූජා වලදී කිරිවෙහෙර වාසී භික්ෂූන්ගේ ආශිර්වාදය ලබා ගැනීම චිරාගත සම්ප්‍රදායක් වී තිබීමය. මේ නිසා කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තුමා අනිවාර්යයෙන් ම කිරිවෙහෙර රජමහා විහාරයේ ප්‍රධාන දායකයා බවට ද පත්වේ.

කතරගම මහා දේවාලය සම්බන්ධ සම්ප්‍රදායික වාර්ෂික පුද පූජා අතර, ප්‍රමුඛත්වය හිමි වන්නේ ඇසළ උත්සවයට ය. දින 15ක් පූජා පැවැත්වෙන මේ උත්සවයේ අංග වන්නේ කප් සිටුවීමෙන් ආරම්භ වී පෙරහැර 15ක් පැවැත්වීම, ගිනි පෑගීම සහ දිය කැපීමයි. දේව පූජා පිළිබඳ සියලුම කාර්යයන්හි දී බුදු දහමට ප්‍රමුඛත්වය දීම චිරාගත සම්ප්‍රදායයි. පිරිත් නිලය නමින් වෙනම තනතුරක් ඒ වෙනුවෙන් නම්කර ඇත. ඊට අයත් රාජකාරිය වන්නේ දේව පූජාවල නියැළෙන පිරිසට සෙත් පිරිත් සජ්ඣායනය කොට රත්නත්‍රයේ ආශිර්වාදය ලබා දීමයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මහා දේවාලයේ අවශ්‍යතා අනුව බෞද්ධ ආගමික මෙහෙයයන් පැවැත්වීමයි.

පිරිත් නිලය හිමි වන්නේ කිරිවෙහෙර රජමහා විහාරාධිපතීන් වහන්සේටයි. මේ නිලය වෙනුවෙන් බුත්තල ප්‍රදේශයේ අළුත්වල ගමෙහි පිහිටි කුඹුරක් නින්දගමක් ලෙස පවරා දී ඇත. ඒ කුඹුර හඳුන්වන්නේ ‘පිරිත් නිලේ කුඹුර‘ නමිනි.

කතරගම ඇසළ උත්සවයේ තවත් ආකර්ෂණීය අංගයක් වන්නේ ගිනි පෑගීමයි. භක්තිමතුන් විසින් මේ ගිනි පෑගීම සිදු කරන්නේ දේව භක්තිය හැඟවීම සඳහා ය. මෙහිදී විශාල ගිනිමැලයක් අවුලවා එය ඇවිලී අවසන් වූ පසුව රත් පැහැ අඟුරු මතින් ඇවිද යාම සිදුවේ. මෙහිදී පළමුව ඇවිද යාම සිදු කරන්නේ දේවාලයේ කපු මහතාය.

වරක් ස්වාමීන්වහන්සේ නමකට ඔහු පවසා ඇත්තේ ගිනිමැලය නිවීමට ආසන්න මොහොතේ දී එතැනට දෙවියන් වඩින බවත් දෙවියන් ගින්න මතින් ඇවිද යාමෙන් අනතුරුව ගිනි සිසිලක් ඇතිවන බවත් ය. තමා ගිනි පෑගීම අරඹන්නේ එසේ දෙවියන් විසින් ගිනි සිසිල සිදුකිරීමෙන් පසුව බවත්, තමාට දෙවියන් විසින් ගින්න මතින් ඇවිද යන දසුන හොඳීන් දර්ශනය වන බවත්ය.

කතරගම මහා දේවාලය ආශ්‍රිතව වර්තමානයෙහි ඇති උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන සාම්ප්‍රදායික උත්සවය ඇසල උත්සවයයි. දින 15ක් පුරා පැවැත්වෙන පෙරහැර දිනපතාම දේවාලයෙන් පිටත් වන්නේ කිරිවෙහෙර විහාරාධිපතින් වහන්සේ ප්‍රමුඛ විහාර වාසී භික්ෂූන්වහන්සේලාගේ සෙත් පිරිත්වලින් ආශිර්වාද ලබා ගැනීමෙන් පසුවය.

පෙරහැර පිටත්වන්නේ නැකතට ය. කිරිවෙහෙර ප්‍රධාන දායකයාද වන බස්නායක නිලමේතුමා පෙරහැර පිටත්වන වේලාව දන්වා, දැහැත් ගිලන්පස පිළිගන්වා පිරිතට ආරාධනා කිරීම තවත් විශේෂ සිද්ධියකි. පුරාණයේ තල්පතක ලියා භික්ෂූන්ට ඉදිරිපත් කළ මේ ආරාධනා පත්‍රය දැනට ලියනු ලබන්නේ සාමාන්‍ය කඩදාසියකය. අනතුරුව නියමිත වේලාවට භික්ෂූහු මහා දේවාලයේ සඳුන් මණ්ඩපය නමින් හැඳීන්වෙන, ඇතුළු ගර්භයේ සිට ආගමික චාරිත්‍ර ඉටු කරති.

දිනපතා පෙරහැර නිමවන්නේ මහා පෙරහැර පැවැත්වීමෙනි. ඊට ප්‍රථම පැවැති පෙරහැර දේවාලය හා සම්බන්ධ වීදි ඔස්සේ ගමන් කිරීමත්, නව විශේෂයකි. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට ‘ඇතෙක් බරට වස්තුව‘ පූජා කිරීම ද පෞරාණික චාරිත්‍රයකි. දැනට පඬුරු කාසි මල්ලක් පූජා කිරීමෙන් එම පෞරාණික චාරිත්‍රය සංකේතවත් කරයි. කිරිවෙහෙර විහාරයෙන් රත්නත්‍රයෙන් ආශීර්වාද ලබා ඇරඹෙන පෙරහැර සමය නිමාවන්නේ මෙසේ අවසාන පෙරහැර කිරිවෙහෙර වෙත ගොස් රත්නත්‍රය උදෙසා පූජා සත්කාර පැවැත්වීමෙනි.

මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර ආරම්භ වූයේ පසුගිය(19) සඳුදාය. රාත්‍රි ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර දෙවියන් වැඩමවා ගෙන මහා දේවාලයෙන් වීදි සංචාරය ආරම්භ කරන ලදි. මහා වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ චාරිත්‍ර ඉටු කරමින් පසුව නැවත මහා දේවාලය වෙත පැමිණ ප්‍රථම පෙරහැර අවසන් කෙරිණි. කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ලබන ජුලි 03 වැනි දින දක්වා පැවැත්වේ. ගිනි පෑගීමේ උළෙල ලබන 30 වැනි දින උදෑසන සිදු වන අතර ජුලි 03 වැනි දින සිදු කරන දිය කැපිමේ මංගල්‍යයෙන් පෙරහැර සමය අවසන් වේ. කතරගම දෙවියන් යම් යම් අවස්ථාවල දී දුටු අය මෙන්ම දෙවියන් ඇති බව දැනුණු පුද්ගලයන් ද අප අතර වෙසෙයි. ඔබට දෙවියන් දැකීමට අවශ්‍ය නම් හැකි හැම විටම සාධාරණ මනුෂ්‍යයකු වෙමින්, ධාර්මිකව ජීවත් වන්න. දෙවියන්ට ළංවිය හැකි වන්නේ එවැනි යහපත් මනුෂ්‍යයන්ට පමණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.