නොමියෙන සේකරයන්ගේ අපූරු සිතුවම

ජුනි 9, 2023

එදා දිනපතාම දුම් දම දමා කොළඹ දුවන යකඩ යකාගේ මැදිරියක් වෙන් වී තිබුණේ එවකට සියනෑ කෝරළයේ උපන් හපන්කම් දැක්වූ මහා කලාකරුවන් උදෙසාය. ගම්පහ දුම්රියපළින් ගොඩවන චිත්‍ර ශිල්පි ක.ප. අබේසිංහ, කිවිපති වල්ගම සෝමතිලක, මාකඳුරේ ගුණවර්ධන කවියා සහ දාරළුවේ ගුණරත්න කිවිඳු, මහගම සේකරයන්, බෝපිටියේ ආරියතිලක ලේඛක මායා රන්ජන්, (රාජපක්ෂ) නාට්‍ය ශිල්පි දයානන්ද ගුණවර්ධන ඇතුළු කලාකරුවන් සෑහෙන පිරිසක් සිටි අතර, කැපී පෙනෙන උත්තුංග දේහධාරී මහකළු සිංහලයා වූ පත්‍ර මහ ඇදුරු පියසේන නිශ්ශංක සූරීන් ද මේ අතර විය. කොටුව දුම්රියපළට ළඟා වන තෙක්ම මහා සරසවියක් වූයේ කලාකරුවන් එක් රැස්වන දුම්රිය මැදිරියයි.

මහගම සේකර ශූරීන් මේ අතර කැපී පෙනෙන ඉලන්දාරියා විය. තෙවැනි ඇසින් කතාබහ කරන සේකරයන් එදා සිටි මහා කලාකරුවාය. සිය නිර්මාණ කටයුතු කරන අතරේ ඔහුට චිත්‍ර ප්‍රදර්ශනයක් කිරීමට අදහසක් ඇති වී එයට චිත්‍ර සමූහයක් රැගෙන ගොස් එක චිත්‍රයක අඩුවක් වීම නිසා සෑහෙන ගැටලුවකට මුහුණ පෑමට සිදු විය. එවෙලේ චිත්‍රයක් ඇඳීමට සායම් සහ පින්සලක් නොමැති විය. මඳවේලාවක් කල්පනා කළ සේකරයන්, කෙන්ට් කඩදාසියක් සහ ඉතිරි වී තිබුණ පෙට්‍රල් බෝතල් භාගයක් රැගෙන කලාභවනේ එක් කාමරයකට ඇතුල් වී පැය භාගයකින් පසුව චිත්‍රය නිර්මාණය කර චිත්‍රයක අඩුව පිරිමැසීය. එදා විශාල උගත්තු හා ගිහි පැවිදි දෙපක්ෂය කලාභවනට එක් රැස් වී සිටියහ.

චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි කලාකාමීන් සහ චිත්‍ර තේරීමේ විනිශ්චය මණ්ඩලයද විය. සියලුම චිත්‍ර නරඹා අවසන් තීරණය වූයේ අන්තිම චිත්‍රයට පළමු තෑග්ග දීමට ය. “සේකර කියපන් බලන්න උඹ මේ චිත්‍රය ඇන්දේ කොහොමද කියලා.” ඇසුවේ චන්ද්‍රරත්න මානවසිංහ සූරීන්ය. “මානවසිංහ මහත්තයෝ පාට නෑ පින්සලක් නෑ ඉතින් මං කළේ කෙන්ට් කඩදාසියට පෙට්‍රල් දාලා වේළුනාම ඊට උඩින් වතුර දැම්මා. එතකොට වර්ණ හැදුණා.” උඹ අපූරු නිර්මාණකරුවෙක් නෙ කී මානවසිංහ සූරීන් ආපසු ගියේය.

පසුදා ලංකාදීප පත්‍රයේ වගතුග තීරයේ මෙසේ පළ විය. සේකර නම් පිස්සෙක්. ඇඳපු නැති චිත්‍රයට ප්‍රථම තෑග්ග දීපු විනිශ්චයකරුවන්ටත් පිස්සු. බලපු හැමෝටමත් පිස්සු. මටත් ටිකක් පිස්සු නිසා මේක ලිව්වා....

මීවිතෙන් පදම් වූ කලාකරුවෙක් සේකරයන් හමුවට විත් බිත්තියේ වසා සිටි පොල් කුරුමිණියෙකුට කවකටුව තියා කඩදාසි බරුවකින් ගසන ලදී. බිත්තිය පුරා ලේ වැගිරෙන්ට විය. ඔහුට දොස් කිව් සේකරයන් නොසෑහෙන ලෙස එයට කම්පා විය. ඉතාම සංවේදී කෙනෙකි සේකර. උඹට ඕක හෙඩිමක් වෙයි පස්සට කියා ඔහු ගියේ ය.

වසර කීපයකින් පසු සේකර ලියන ලද පොතක මුල් පිටුවට ඒ සිදුවීම එක් කරන ලදී.

සේකර මහා කලාවේදියා ඉතා ළඟින්ම ඇසුරු කරන ලද්දේ අමරදේව ශූරීන් ය. කෙටි කාලයක් ඇසුරු කිරීමේ වාසනාව මටත් පෑදිණ. සේකර ශූරීන් තරම් සංවේදී මානව භක්තියෙන් යුතු පුද්ගලයෙකු බිහි වී නැති තරම් ය. කතාබහ කිරීමට ඇති දේ බොහෝය. ඔහු 43 වැනි විය ඉක්මවද්දී අප අතරින් සදහටම සමුගත්තේ ය. ඒ අමරදේව සූරීන්ගේ ලස්සන ස්වර රටාවට නින්නාද වෙමින් ය.

සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ සේකරයන්ගේ දේහය අසල ද සෑයට ගිනි අවුලන මේහොතේදී මළ හිරු බසිනා සැන්දෑයාමේ මාත්‍රා අකුරු සුළඟේ ඈතින් ඈතට මළානිකව පාවී ගියේ ය. එය වාවාගත නොහැකි මොහොතකි.

මහා කලාවේදියාට මෙතරම් ඉක්මනට මෙලොවින් සමුගැනීමට සිදුවීම ගැන ජන්ම කේන්ද්‍රයේ සනිටුහන් වී ඇත. නමුත් අපේ අවාසනාවකට ඔහුගේ ජන්ම පත්‍රය සොයා ගැනීමට නොහැකිවීම තවත් කනගාටුවකි. මොහු වයස 43ක් ජීවත් වී වසර හතළිස් තුන්දාසක තරම් කලා නිර්මාණ කරණයේ යෙදිණ. මියගියාට පසුව ආචාර්ය උපාධිය හිමි විය. මහගම සේකරයන් කිසිවිටෙකත් ජන්ම පත්‍රය හෙළි නොකළේ ඔහු තම ඉරණම දැන සිටි නිසා දෝ යන්න අපට ඇති සැක සංකාවයි.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.