“සිරිලක පත්තර රජ්ජුරුවෝ‘‘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතා‍ෙණා්

පෙබරවාරි 24, 2023

 

1915 දී ඇති වූ ජාතිවාදී අරගලයේ දී අත් අඩංගුවට පත් සිංහල නායකයන් බේරා ගැනීම සඳහා විජයවර්ධනයන් සහ ඔහුගේ පුවත්පත් ගත් තැත සුළුපටු නොවීය. ලංකාවට නිදහස ලැබෙනතුරුම නිදහස් සටනේ මාධ්‍ය බලවේගය වූයේ ලේක්හවුස් ආයතනයයි.

 

මීට වසර එකසිය තිස් හතකට පෙර 1886 පෙබරවාරි මස 23 දින කොළඹ සේදවත්ත වලව්වේ දී උපත ලද දොන් රිචඩ් විජයවර්ධන මහතා දැයේ පිනට පහළ වූ යුග පුරුෂයෙකු විය. කොළඹ නගරයේ සිංහලයකු සතුවූ මුද්‍රණාලයක් ප්‍රථමයෙන් බිහිකර සිංහල පුවත්පතක් පළමුවරට බිහි කළේ කොළඹ කොටහේනේ දීපදුත්තාරාමයේ වැඩ විසූ වාදීභසිංහ

ශ්‍රී මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන් විසින් 1862 වසරේදී ය.

 

එසේ ඇරඹුණු අගනුවර මුද්‍රණ කර්මාන්තය සහ පුවත්පත් කලාව මුළු ලෝකයටම එක්කර ආසියාවේ විශාලතම පුවත්පත් ආයතනයක් වූ ‘ලේක්හවුස්’ පත්තර මහ ගෙදර අරඹා සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් පළකළ සිරිලක පත්තර රජ්ජුරුවෝ ලෙස හැඳින්විය හැකි ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ පුවත්පත් සමඟ ලේඛක ලේඛිකාවන් ද දැයට දායාද කළ අයුරු අපූරු ය.

මුදලිඳු දොන් පිලිප් විජයවර්ධනයන්ගේ දරුවන් නව දෙනාගෙන් සිව් වැන්නා වූ දොන් රිචඩ් කොළඹ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලබා නීතිය හැදෑරීම උදෙසා එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහි අධ්‍යාපනය අවසන්කර අධිනීතීඥයකු වශයෙන් පත්වී 1912 වසරදී ලංකාවට පැමිණියේ නීති වෘත්තියේ යෙදීමට ය. ඉතා ටික කලක් නීති වෘත්තියේ යෙදෙන ඩී.ආර්. විජයවර්ධන මහතා තම පියාගේ වෙළඳ ව්‍යාපාරික කටයුතුවලට සහය ලබා දුන්නේ ඉමහත් කැපවීමකින් යුතුව ය.

1917 දී වැසීගිය පුවත්පත් ආයතනයක් සතු මුද්‍රණ උපකරණ මිලයට ගත් විජයවර්ධන මහතා තමා කුඩාවට පවත්වාගෙන පැමිණි පුවත්පත් සමාගම පුළුල් ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත කළේ ඉමහත් කැපවීමකින් යුතුවය. 1914 දී මිලයට ගත් දිනමිණ පුවත්පත ඉතා ටික කලකින් ශක්තිමත් පුවත්පතක් ලෙස තහවුරු කළ අතර 1917 දී සිලෝන් ඩේලිනිවුස් පුවත්පත ද මිලයට ගෙන නවතාවයකින් නිකුත් කරන්නට විය. 1923 වසරේදී ‘සිලොන් ඔබ්සවර්’ පත්‍රයද, පත්‍රය නිකුත් කළ මුද්‍රණ ආයතනයද මිලයට ගත් විජයවර්ධන මහතා ලේක්හවුස් පුවත්පත් ආයතනය බිහි කර පුවත්පත් කලාව තමා උපන් දේශයේ නිදහස දිනාගැනීමට වේදිකාවක් කළහ. විජයවර්ධන මහතා ලංකාව පරාධීන රටක් බවට පත් වී වසර සියයක් සපිරෙන 1915 මාර්තු 02 දා දිනමිණ පුවත්පතේ විශේෂ අතිරේකයක් පළකළේ ඉංගී‍්‍රසීන් අප රටෙන් රැගෙන ගිය ජාතික කොඩියේ ඡායාරූපයක් වර්ණයෙන් පළකිරීමෙනි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පුවත්පතක වර්ණ ඡායාරූපයක් පළවූයේ එදින දීය. එදින තවත් සුවිශේෂි ඡායාරූපයක් දිනමිණේ පළවිය. එම සේයාරුව වූයේ ලංකාවේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ සහ සිය දේවියගේ සේයාරුවයි. මෙම පුවත්පත ඉතා ඉක්මණින් අලෙවි වී ගියේ පුවත්පත වෙළඳ පොළට පැමිණ පැය කිහිපයක් ඇතුළතය. මෙම පුවත්පත් කලාපයත් සමඟ සිංහල ජාතිකයන් තුළ පුදුම ජාතික හැඟීමක් ඇති කිරීමට තරම් ප්‍රබල ජාතික පණිවිඩයක් විය.

එමෙන්ම 1915 දී ඇති වූ ජාතිවාදී අරගලයේ දී අත් අඩංගුවට පත් සිංහල නායකයන් බේරා ගැනීම සඳහා විජයවර්ධනයන් සහ ඔහුගේ පුවත්පත් ගත් තැත සුළුපටු නොවීය. ලංකාවට නිදහස ලැබෙනතුරුම නිදහස් සටනේ මාධ්‍ය බලවේගය වූයේ ලේක්හවුස් ආයතනයයි.

ඩී.ආර්. විජයවර්ධනයන් පූර්ණ යුරෝපීය ඇඳුම අඳින්නෙක්ය. ඇඳුම යුරෝපීය වුවත් ඒ යටින් සිටි මිනිසා හොඳ උගත් සිංහල බෞද්ධයෙක් විය. ජාතික හැඟීමෙන්, ජාතික කලාවෙන් ඔප් නැංවුණ අයෙක් විය. එයට කදිම නිදසුන කොළඹ ලේක්හවුස් ආයතනයයි. එහි බිත්ති හා කුලුනු මල් කැටයම්, උළුවහු සහ දොර ජනෙල් සියල්ල සිංහල බෞද්ධ වාස්තු ශිල්පයෙන් උකහාගත් ඒවාය. පොළොන්නරු යුගයේ ගොඩනැඟිල්ලක් බඳු වූ ලේක්හවුස් ආයතනයට එම නම තැබුවේ ද ගොඩනැඟිල්ල තැනීමට මුල්ගල් තැබූ සිය මෑණියන් වූ සිරිලක නූතන විශාකාව ලෙස විරුදාවලිය ලත් හෙලේනා ඩෙප් වීරසිංහ මාතාවගේ වාසගමවූ වැවගේ යන්න ඉංගී‍්‍රසියට පෙරළා ‘ලේක්හවුස්’ ලෙසය.

ඩී.ආර්.විජයවර්ධන මහතා විවාහ වූයේ ලංකා ව්‍යවස්ථාදායක සභාවේ කෑගල්ල දිසාවේ මන්ත්‍රිවරයා වූ හෙන්රි මීදෙණිය අදිකාරම්තුමාගේ දෙවන දියණිය වූ ඇලිස් ගර්ටි රූබී මීදෙණිය මෙනවිය සමඟ ය. මෙම විවාහයෙන් මෙම දෙපළට දරුවන් පස් දෙනෙකු හිමිවූහ. සීවලි විජයවර්ධන, නාලනී විජයවර්ධන, කුසුමා විජයවර්ධන, රන්ජිත් විජයවර්ධන, රාණි විජයවර්ධන එම දරුවන් ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැඟීමේ දී සුවිශේෂි කාර්යභාරයක් සිදුකළ විජයවර්ධන මහතා ඉංගී‍්‍රසි පාලකයන්ට පවසා සිටියේ අප රටට වුවමනා සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් නොව ඔක්ස්ෆර්ඩ් , ක්‍රේම්බිජ් වැනි මට්ටමක විශ්වවිද්‍යාලයක් බවයි. එතුමාගේ සේවයට උපහාර වශයෙන් එම විශ්වවිද්‍යාලයේ එක් නේවාසිකාගාරයක් ඩී.ආර්.විජයවර්ධන නමින් හඳුන්වා ඇත.

අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතා විජයවර්ධන මහතා නිදහස සටනට සිදුකළ මෙහෙවර අගයා සම්මානයක් ප්‍රදානය කිරීමට තීරණය කළවිට ඔහු එය එකහෙළා ප්‍රතික්ෂේප කළේ මාධ්‍ය ආයතන හිමිකරුවකු වශයෙන් රජයේ සම්මාන ලබා ගැනීම එහි ස්වාධීනත්වයට බාධාවක් බව ප්‍රකාශ කරමිනි. සිය යුතුකම තම දේශයටත්, ජාතියටත්, ආගමටත් සිදුකළ සිරිලක පත්තර රජ්ජුරුවෝ වූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් 1950 ජුනි 13 වන දා ජාතියෙන් සමුගෙන තම ශ්‍රී නාමය ජන මතකයේ තබාගොස් මෙම වසරට 72 වසරකි. ජන්ම දිනයත්, දිවංගතවූ දිනයත් එක එක ළඟ සමරණ මේ උත්කෘෂ්ට නායකයාට ජාතියේ උපහාර සදා හිමිවිය යුතු ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.