සමට හානි කරන දැඩි හිරුඑළිය

දෙසැම්බර් 16, 2022

අධික දහඩිය දැමීම සිරුරේ දැවිල්ල හටගැනීම, පිපාසය, සම ගොරෝසු වීම, අධික හිසරදය, ක්ලාන්තගතිය, ඇස් දැවිල්ල, අධික වෙහෙස ගතිය ඇතුළු රෝග රැසකට හේතු වන දැඩි උණුසුම පවත්නා තත්ත්වයකි. සුළං හැමීම අඩු වීම නිසාත් පහළ වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වීම නිසාත් දැරිය නොහැකි තරමේ උණුසුම් ගතියක් සිරුරට දැනෙන්නට පටන් ගැනේ මෙම අධික උෂ්ණත්වය මිනිස් සිරුරට ඉතාම අහිතකර ලෙස බලපෑ හැකිය.

 

එබැවින් අධික රශ්මිය පවතින දහවල් කාලයේ හිරුඑළියට නිරාවරණය වෙමින් ගමන්බිමන් යෑමෙන් එළිමහනේ ගැවසීම වැනි කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටිය යුතු ය. හිරු රශ්මිය නොසලකා ක්‍රියා කිරීමෙන් සිරුරට, සමට මෙම සුන්දරත්වයට ද වන හානිය බොහෝ ය.

හිරුඑළියට නිරාවරණය වීමෙන් තද හිසරදය, ක්ලාන්ත ගතිය, අධික දහඩිය, සමේ වියළිබව, සම රැලිවැටීම, සම පිලිස්සීම, සම දුර්වර්ණවීම, සමේ පැහැපත් බව අඩු වීම, සමේ ලප කැලැල් මෙන්ම මුහුණ දෙපස දෙකම්මුල්වල ගොරෝසු බව මෙන්ම විහිදුණු ලප කැලැල් ද ඇතිවිය හැකිය. හිරුඑළිය අපේ සමට අවශ්‍ය වුවත් දැඩි රශ්මිය සමට හානිකරයි. සමේ වර්ණයෙන් ඔබේ සුන්දරත්වය පැවතියත් දැඩි හිරු රශ්මිය නිසා එම තත්ත්වය පිලිස්සීමෙන් සමට හානි සිදුවේ. පවතින රශ්මිය අනෙකුත් අයට වඩා තදින්ම දැනෙන්නේ රත්පිත් රෝගය, රත්තයා ආදී රෝග තත්ත්වයන් පවතින විටයි. එනම් ඔවුන්ගේ සිරුරේ පවතින දැඩි උණුසුම් ගතියට හිරු රශ්මියද දරාගත නොහැකි ලෙස ලැබීමෙනි. එවැනි අයගේ සිරුර දහඩියෙන් තෙත් වීම අත්ලට කිහිල්ලට අධික ලෙස දහඩිය දැමීම ද වේ. වියළි කාලගුණයක් පවතින විට එයට කෙසේ මුහුණ දෙන්නේ ද යන්න සිතා බැලිය යුතු ය. පිටතින් ලැබෙන රස්නයට ශරීරය තුළින් ද එක්වන රස්නය පිට කිරීමට ගත යුතු වාතාශ්‍රය ගැන දැනුවත්ව සිටිය යුතු ය. ඒ සඳහා අපි එදිනෙදා භාවිත කරන ඇඳුම් ද ප්‍රධාන වේ. එදා මෙන් නොව මේ සමාජයේ යෞවන යෞවනියන් උපදෙස් අවවාද අනුශාසනා පිළිගන්නා බවක් නොපෙනේ. බොහෝවිට තනි තීරණවලට එළඹ කටයුතු කරන බව පෙනේ.

තද අව්රශ්මිය පවතින විට ශරීරයට දැනෙන වේදනාව රස්නය දරාගත නොහැකි තරමටම උග්‍ර වේ. මෙවන් දිනවලදී ඇඳ සිටිය යුතු වන්නේ සිනිඳු සැහැල්ලු ඇඳුමකි. ඒ දහඩිය පිට කිරීමට තරම් සුව පහසු ඇඳුමකි. නමුත් සමාජය දිහා බැලූ විට පෙනී යන්නේ කිටි කිටියේ තදට අඳින ලද ඇඳුම් ය. ශරීරයට තද ඇඳුම් ඇඳීම නිසා රස්නය වැඩි වේ. අධික රශ්නය පැවැතිවිට ඇඳසිටිය යුත්තේ කපු ඇඳුම් ය. තද හිරු රශ්මිය නිසා ගතට අධික ලෙස දහඩිය දමයි. එලෙස දහඩිය දැමීමෙන් ඇතිවන අපහසුතාවයන් බොහෝ ය. එසේ දිගු වේලාවක් සිටීම සමේ රෝගවලට හේතුවක් වේ. ශරීරයෙන් දහඩිය පිට වීම වැඩි වන විට ශරීරය කැසීමට ද ලක්වේ. ඇඟ සේදීම හෝ ස්නානය කිරීමෙන් යම් සහනයක් ඇති වේ. එමෙන්ම ජලය පානය කිරීමට ද දැඩි අවශ්‍යතාවයක් ඇති වේ.

තද අව්රශ්මියට ලක්වීමෙන් සමේ ගොරෝසුභාවය මෙන්ම සමේ පැහැපත් බව ද තුරන් වේ. සමේ තෙතමන ගතිය ද ඉවත්ව ගොස් සමේ වියළි බවක් ඇති වේ. එමෙන්ම ලප කැලැල් ද මතු වේ. එවැනි තත්ත්වයක දී පිරිසුදු ඇල් ජලය පානය කළ යුතු ය. සමෙහි ඇති වන වියළි බව බොහෝ විට සම ඉරිතැළීමකට ලක්වූවා සේ දර්ශනය විය හැකි ය. එවැනි තත්ත්වයකට පත්ව ඇත්නම් තෙල්, ලුණු, බැදුම් හා තුනපහ බැදුම් වැඩි ආහාරවලින් හැකිතාක් වැළකී සිටිය යුතු ය. සමේ පැහැපත් බවට රණවරා මල් අඹරා ඇඟ ගැල්වීම, කොකුම් පොතු ඇල් දියෙන් අඹරා මුහුණේ සහ ශරීරයේ ගෑමත් සුවදායකය.

මීකිරි හට්ටියේ බැඳෙන යොදය මුහුණේ හා ඇඟේ ආලේපකොට ටික වේලාවකට පසු ස්නානය කිරීමත් ගුණදායකය. ඉන් මුහුණේ හා අත්පාවල මතුවන තෙල් ගතිය ඉවත් වේ. හිරු රශ්මියට පිලිස්සුණු සම නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කැරට්, තක්කාලි, පැපොල් කොටා මිරිකා (බ්ලෙන්ඩර්) ගත් යුෂෙන් උදේ සවස මුහුණ සේදීමෙන් මනා පෙනුමක් ලබාගත හැකිය. එමෙන්ම සමේ ඇති වන වියළි බව ද සම අප්‍රසන්න භාවයට පත් කරවයි. එය වළක්වා ගැනීමට නම් තෙල් අධික බැදුම් කෑමෙන් වැළකී, රණවරා මල් අඹරා ඇඟ ගැල්වීමත්, කොකුම්පොතු දියකර ගෑමත් සුදුසුය. කහ පැහැති සහ තද කොළ පැහැති එළවළු හා පලතුරු මෙන්ම පලාවර්ග දිනපතා ආහාරයට ගැනීමෙන් සුවදායක තත්ත්වයක් ඇති කර ගත හැකි ය.

පවතින අධික උෂ්ණත්වයත් සමඟ ශරීරයේ උෂ්ණත්වයද අධික වේ. මේ නිසා ආහාර ජීර්ණයද සමහර විට නිසි පරිදි සිදු නොවිය හැකි යි. ඒ අතර ජලය අඩුවෙන් පානය කිරීම නිසා විජලනයක් ඇතිවිය හැකියි. මුහුණේ ඇතිවන ගොරෝසු බව කැලැල් හා අප්‍රසන්නභාවය අඩු කර ගැනීමට පේරදලු හා අමුකහ ඇල් දියෙනන් අඹරා මුහුණේ ආලේප කිරීමෙන් ගොරෝසු බව නැති වී සුන්දර බවක් ඇති වේ. සමේ පවතින අපිරිසුදුභාවය ඉවත් කර ගැනීම සඳහා පිපිඤ්ඤා ගෙඩියක් ගෙන පෙත්තක් කපා මුහුණේ සම මත මෘදු ලෙස ඇතිල්ලීමෙන් සම හොඳින් පිරිසුදු කර ගත හැකිය. කෙසේ වෙතත් අප්‍රේල් මාසය අවසන් වන තෙක් පවතින මෙම අධික උෂ්ණත්වය මිනිස් සිරුරට ඉතාම අහිතකර ලෙස බලපා හැකිය. එම නිසා ගමනක් බිමනක් යන විටත් එළිමහනේ යම් වැඩක යෙදෙන විටත් හිස ආවරණ වන ලෙසත් අත් පා ආවරණය වන ලෙසත් සැරසීම මහත් ප්‍රයෝජනයකි. විශේෂයෙන් ගමනක් බිමනක් යන විට කුඩයක් පාවිච්චි කිරීම ගුණදායකය. දැඩි උණුසුම නිසා දහඩිය දමා සිරුර ඉන් තෙත් ගතියෙන් යම් දුගඳක් වහනය වන්නේ නම් ස්නානය කිරීමට හෝ ඇඟ සේදීමට හෝ කටයුතු කළ යුතු ය.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.