දොරකඩ අසල සිටි උස ගැහැනිය

මැයි 10, 2024

 

මෙතෙක් කතාව:-

තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම හේතුවෙන් මරණයට පත් වූ තම මිතුරකුගේ කතාවය.

හිස රුදාවෙන් පෙළෙන්නකු මෙන් සිය නළල් තලය පිස දමමින් ඔහු කතාව ආරම්භ කළා. “ඉතා කුඩා අවදියේ සිටම මොන හේතුවක් නිසා ද මා දන්නේ නැහැ මහ මඟ තනිවම සිටින ගැහැනියක් දැකීමෙන් තරම් මා අන් කිසිවකින් බියට පත් වුණේ නැහැ. මා හට අමතකව ගිය මොනයම් හෝ සිදුවීමක් නිසා හෝ, නැති නම් කුඩා කාලයේදී අපව බිය ගන්වන්නට අනුවණ වැඩිහිටියකු කියන ලද කතාවක් නිසා, හෝ ඇති වූවක්ද නැතිද කියා මා දන්නේ නෑ.

එහෙත් සත්‍යය නම් අදටත් මගේ බිය ඒ ආකාරයෙන්ම පවතින බවයි. මහමඟදී මුණගැසෙන්නේ තනිවම ඉන්න ඇත්ත ගැහැනියක වුණත්, ජීවිත කාලය තුළ රැඳී පවතින ඒ බිය උඩට මතුවීම වළක්වා ගැනීමේ හැකියාවක් මට නැහැ. නමුත් මා බියගුල්ලෙකු නොවන බව ඔබ හොඳටම දන්නවා. ආත්ම ගරුත්වය උදෙසා ද්වන්ධව සටනක් කරන්නට සිදු වූ අවස්ථාවක මා දෙවරක් නොසිතා එයට ඉදිරිපත් වුණා”

“මම පත්වීම ලබාගත් මුල් කාලයේ පළාතේ කම්කරුවන් මට විරුද්ධව භයානක විදියට කැරැල්ලක් පටන් ගත්තා. පොලු මුගුරු අතැතිව ආ පිරිස යටත් වනතුරු මම සටන් වැදුණු බව ඔබට හොඳීන් මතක ඇති බව මම දන්නවා ඒ වගේම මේ මැඩ්රිඩ් නගරයේත්, ඒ අවට අනිත් නගරවලත්, ඕනෑම දරුණු මිනිසුන් ඉන්න වීදියක මා ඇවිදින්නට ගොස් තිබෙන්නේ කිසිම ආයුධයක් නැතිව. හොරුන් හරි මංකොල්ලකාරයො හරි මට එහෙම ආවා නම් ටික වේලාවකින් උන් ඇද වැටුණා. එහෙමත් නැත්නම් කළ මෝඩකම ගැන සිතමින් දිව යන්නට උන්ට සිදු වුණා. ඒ නිසා උන් හොඳම දේ විදියට තෝරා ගත්තේ මා දුටු විට මුහුණ දීමෙන් වැළකී මඟ හරින එකයි”

“තත්ත්වය එහෙම උනත්...” ටෙලෙස්පෝරෝ තව බ්‍රැන්ඩි උගුරකින් ප්‍රාණයක් ලබා ගනිමින් කතාව කරගෙන ගියා. “.......ඒ කියන්නේ බිහිසුණු පාදඩයන් මිනීමරුවන් ඉදිරියේ මගේ නිර්භීත කම එහෙම වුණත්, මම තනියම සිටින විට වීදියකදී මුණ ගැසුණේ තනිවම සිටින ගැහැනියක් නම්.......?. මේ ගැන ඔබට කොතරම් හිනා වෙන්නට පුළුවන් වුණත්....? මට කියන්නට තියෙන්නේ සියොළඟම හිරිගඩු පිපී වෙව්ලන්නට පටන් ගන්නා බවයි. එය කිසි ලෙසකින් වත් පාලනය කරන්නට පුළුවන් වුණේ නැහැ. එවැනි අවස්ථාවකදී සමස්ත ලෝකය පුරාම සිටින සියලුම භූත පිසාචාදීන් සහ හොල්මන් අවතාර ගැන මට සිහිපත් වෙනවා.

අනෙකුත් අවස්ථාවල මා විසින්ම සිනාසී බැහැර කළ සියලු මිථ්‍යා සංකල්ප ජීවය ලබා ලොව පහළ වී ඇතැයි සිතෙනවා. මෙවන් මොහොතක නොදැනීම ගමන ඉක්මන් වෙනවා. වරින් වර පිටුපස හැරී බලනවා. නිවස තුළට ගොඩ වදින තෙක්ම මා තුළ උපත ලැබූ ඒ අමනුෂ්‍ය භීතිය පොඩ්ඩකින්වත් අඩුවෙන්නේ නැහැ. නමුත් ගෙට ගොඩ වූ ඇසිල්ලකින් ඒ බිය කොහෙන් ගියාදැයි කියාවත් සොයාගත නොහැකි ලෙස අතුරුදන් වෙනවා. හරියට සුළං ගඟකට අසුවූ පුළුන් රොදක් මෙන් ඒ සමගම මේ අමනුෂ්‍ය භීතිය සිතින් පලා යන්නේ මා තුළම මා ගැන බලවත් ලැජ්ජාවක් ඇති කරවමින්”

“එහෙත් නැවත දිනෙක වීදියක ඒ ආකාරයට ගැහැනියක මුණ ගැසුණු හැම විටම මා භීතියෙන් තැති ගන්නවා. මුළින් කී යහපත් චේතනාව සහ මා විසින් ඇති කරගත් අධිෂ්ඨානය හිරු දුටු පිනිමෙන් ඉවත්ව යනවා. නැවතත් මා පියවි ලෝකයට එන්නේ දහදියෙන් පෙඟුණ සිරුරින් යුතුව මගේ නිවස වෙත දුවන ගමනින් පැමිණි පසුව හෝ අතරමඟදී අමුත්තෙකු මුණ ගැසුණහොත් පමණයි.

ඇත්තම කියන්නේ නම් එසැණින්, අප අතින් සිදුවන සුළු පහේ මෝඩ ක්‍රියාවක් අමතක වන්නේ යම්සේද මෙයත් ඒ අයුරින්ම අමතක වී යනවා” සියල්ල අවසානයේ මට එකම සැනසීමක් ලෙස ඉතිරිව තිබුණේ මේ අද්භූත වූත්, ලැජ්ජා සහගත වූත් කාරණය අසල්වාසීන්වත්, නෑදෑ හිත මිතුරන්වත් නොදැන සිටීම පමණයි” “තවත් ටිකක් කාලය ගෙවී ගියා. අනතුරුව, එනම් දැනට අවුරුදු තුනකට පමණ උඩදී, එනම් 1857 නොවැම්බර් මාසයේ 15 සහ 16 වැනි දින අතර රාත්‍රියේ. පාන්දර තුනට පමණ හුදෙකලාව නිවස බලා එන්නට මට කරුණු යෙදී තිබුණා. ඒ කාලයේ මා පදිංචිව සිටියේ ඔබටද මතක ඇති ආකාරයට මොන්ටේරා වීදිය අසල එකතරා මාවතක කුඩා නිවසකයි”

“සූදු කාරයෙකු නොවූ මම මිත්‍රයෙකුගේ වේශයෙන් පෙනී සිටි පුද්ගලයෙකුගේ බහට රැවටී සූදු පොළකට ගියා. එය නාට්‍ය නැරඹීමටත්, උත්සවවලට සහභාගීවිමටත් ගොස් මධ්‍යම රාත්‍රියේ නිවෙස් බලා යන මිනිසුන්ගේ අතමිට සූරා ගන්නා තැනක්. මේසය මත ගොඩ ගැසී ඇති රන් පවුම්වල දිලිසීම දකින ඕනෑම කෙනෙක් සිතන්නේ ඒ රත්තරන් ගොඩ තමාගේම වාසනාව වෙනුවෙන්ම වෙන් කරන ලද්දක් ලෙසයි. නමුත් ඒවා තමන්ට ලැබෙනවා වෙනුවට, තමන් සතුව ඇති ඒ සඳහා පූජාකර, ණය මුදල් වෙනුවෙන් නෝට්ටු පත්‍රිකා ද අත්සන් කරද්දී හිස් අතින් එළියට බැසීමටයි, බොහෝ දෙනෙකුට සිදු වන්නේ. ඉතින් මෙතැනට යන සෑම අයෙකුටම සිදුවන අන්දමට මා ද එහි තිබූ රන් ගොඩවල්වලට වශී වුණා. එහි ප්‍රතිඵලයක් වුණේ මා අත තිබූ අන්තිම කාසියත් පරාද වීමෙන් අනතුරුව ණය වූ මුදල වෙනුවෙන් නෝට්ටු පත්‍රිකාවක්

ලියා දී හිස් අතින් එළියට බැසීමටයි”

“ඒ අවාසනාවන්ත රාත්‍රියේ මා ඔය ආකාරයට කොතෙක් බරපතළ ලෙස සූදු පිටියේ පරාජයට පත්වී තිබුණාද කියනවා නම්, ඒ සමඟම ඉහළ පෙළේ කොන්ත්‍රාත්තු කීපයක් නොලැබෙන්නට දුප්පත්කමේ අඩියටම ඇද වැටෙන්නට හොඳටම ඉඩ තිබුණා”

“ඉතින් ඔය කියන දවසේ සීතලෙන් හිරිවැටී ගිය සිරුරින් යුතුව අන්තිම කාසියත් අහිමිව ගිය මුදල් පසුම්බියත්, ලැජ්ජාව, සහ බඩ ගින්නත් සමඟ වීදිය දිගේ ගමන් කරන්නට පටන් ගත්තේ මා හටම ඇති වූ දැඩි කලකිරීමක්ද සමඟයි. ඇත්තම කියනවා නම්, ඒ වන විටත් රෝගී තත්ත්වයේ පසුවූ පියාට ලියුමක් යවා මුදල් ටිකක් ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුව හැර වෙනත් කිසිම විකල්පයක් මොළයට ඇතුළු වුයේ නැහැ. නමුත් මා ඉතා සතුටින් ජීවත්වෙනු ඇතැයි සිතා සිටින රෝගී පියා මේ ලිපිය නිසා කලබලයට පත් විය හැකි යැයි ද සිතුණ බැවින් කම්පාවක් සහ ලැජ්ජාවක් ඒ මොහොතේ මා තුළ දඟලමින් පැවතුණා මෙවැනි දොම්නස් සහගත සිතිවිලි දාමයකින් පෙළෙමින් ගමන් කළ මා මගේ නිවසට ඇතුළු වන්නට සුළු දුරක් තිබියදී අලුතින් සාදමින් තිබූ නිවසක දොරකඩ අසල යම් කිසිවක් තබා තිබෙන ආකාරයක් මගේ නෙත ගැටුණා. ඒ අන් කිසිවක් නොවෙයි. දැවයෙන් තැබූ රූකඩයක් මෙන්, නැතිනම්, දරදඬු මළ මිනියක් මෙන් නොසෙල්වී බලා සිටින දැවැන්ත උස ගැහැනියක්”

 

(මතු සම්බන්ධයි)

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.