ලෝකයේ ප්‍රථම අගමැතිනිය දෙවැනි වරටත් රජ ගෙදරට යැවූ ඒරාෂ්ටකය

මැයි 17, 2024

ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය ‘කන්‍යා’ වන අතර චන්ද්‍රයා 7 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. 1969 වසරෙහි මාර්තු 7 වැනිදාත්, 1971 වසරෙහි අපේ‍්‍රල් 28 වැනිදාත් අතර කාලසීමාව තුළ ශනි ග්‍රහයා මේෂ රාශිය තුළ නීචව පතිත වීමට අනුව, එම කාලසීමාව තුළ බණ්ඩාරනායක මහත්මියට අති ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ඨකයක් ගත වී ඇති බව පෙනේ.

ඒ අනුව සිරිමා බණ්ඩාරනායක මහත්මිය, 1970 වසරෙහි මැයි 29 වැනිදා දෙවැනි වරටත් මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට අති ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරමින් සිට ඇත.

මීට අමතර ලෙස 1998 වසරෙහි අපේ‍්‍රල් 16 වැනිදාත්, 2000 වසරෙහි ජුනි 5 වැනිදාත් අතර කාලසීමාව තුළද සිරිමාවෝ මැතිණිය එතුමියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව අති ප්‍රබල ලග්න අෂ්ඨම ඒරාෂ්ටකයක් ගත කර ඇති බව පෙනේ. මෙහි විශේෂත්වය වන්නේ මෙලෙස දෙවැනි වරටත් ඒරාෂ්ටකය ක්‍රියාත්මක වූ කාලසීමාව මුළුල්ලේ එතුමියට රාජ්‍ය නායකත්වයට පමණක් දෙවැනි වන අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කිරීමට වාසනාව ලැබීමය.

ඒරාෂ්ටක කාලසීමාවන් තුළ මා හට මුහුණදීමට සිදු වූ තවත් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමි.

ජීවිතයේ පළමු වරට මා හට රූපවාහිනී සාකච්ඡාවක් ලැබෙන්නේ මා ඉතා තදබල ඒරාෂ්ටකයක් ගත කරද්දීය. එනම් මගේ මුල්ම කෘතිය වෙනුවෙන් මා හට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපවාහිනි නාළිකාවක පැය බාගයක වැඩසටහනක් කිරීමට අවස්ථාව ලැබුණි. තවද මේ කාලසීමාව තුළ ප්‍රධාන රූපවාහිනි නාළිකාවක දින තුනක් තිස්සේ ලග්න පලාපල ප්‍රකාශ කිරීමටද මා හට අවස්ථාව ලැබුණි. එමෙන්ම ඉහත කී කාලසීමාව තුළ ඉහත කී කෘතිය වෙනුවෙන් මා හට ජාතික ගුවන්විදුලියේ පැය බාගයක වැඩසටහනක් ලැබුණි. 2013 වසරෙහි දෙසැම්බර් මාසයෙහි මා හට කථිකත්වයේ අසිරිය නම් වූ මාගේ දෙවැනි කෘතිය කිසිදු වියදමකින් තොරව මුද්‍රණය කිරීමට හැකි විය. ඒ වන විටද මා හට ලග්න අෂ්ටම ඒරාෂ්ඨකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වෙමින් තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ, මේ කෘතිය වෙනුවෙන් දින දෙකක් තිස්සේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ මාගේ නම සහ පොත එළිදැක්වීමේ උත්සවය පිළිබඳ ආරංචිය විකාශය වීමය. තවද ඉහත කී කෘතිය වෙනුවෙන් ද මා හට ශ්‍රී ලංකාවේ කීර්තිමත් රූපවාහිනි නාලිකාවක පැය භාගයක වැඩසටහනක් ලැබුණි.

මීළඟට මගේ පියා ඒරාෂ්ටක කාලවකවානුවල මුහුණ දුන් සුබදායක අත්දැකීම් කිහිපයක් හෙළි කිරීමට බලාපොරොත්තු වෙමි. මගේ පියාගේ ලග්නය ‘කුම්භ’ වන අතර ඔහුගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා තැන්පත්ව ඇත්තේ 10 වැනි භාවය තුළය. ඒ අනුව 1979 නොවැම්බර් 04 වෙනිදාත් , 1980 මාර්තු 15 වැනිදාත් අතර කාලය තුළ සහ 1980 ජූලි 27 වැනිදාත්, 1982 ඔක්තෝබර් 05 වැනිදාත් අතර කාලය තුළ ඔහුට අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගත වී ඇත. මේ කාලවකවානු තුළ සහ මීට ආසන්න කලාවකවානු තූළ ඔහුගේ වෘත්තියට අමතර වතු වගාව කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ඉඩම් කිහිපයක් මිළදී ගෙන ඇත. තවද මා දන්නා තරමින් මේ ඉඩම් මිලදි ගැනීමේ කටයුතුවලින් කීපයක් ඔහුට හදිසියේ හමු වූ හිතවතුන් කිහිප දෙනකු සමඟ හවුලේ සිදු කර ඇත. එසේම මා දන්නා තරමින් මේ ඉඩම් මිළදි ගැනීම් ඉතා අශුභ ලෙස සිදු වී ඇත. තදබල ඒරාෂ්ටක කාලවකවානුවල අහඹු ලෙස සිදු වන හොඳ සිදුවීම්වලට ඉඩකඩ පවතින බවට මෙය කදිම උදාහරණයකි.

පියාගේ කේන්ද්‍ර සටහනෙහි චන්ද්‍රයා 10 වෙනි භාවය තුළ තැන්පත්ව ඇති නිසා 1984 දෙසැම්බර් 20 වැනිදාත් 1985 මැයි 29 වැනිදාත් අතර කාලය තුළද, 1985 සැප්තැම්බර් 16 වැනිදාත්, 1987 දෙසැම්බර් 17 වැනිදාත් අතර කාලය තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. මේ කාලසීමාව තුළ මගේ පියාට ප්‍රථමවරට මහ විදුහලක විදුහල්පතිකමක් ලැබුණි. මගේ බාල සහෝදරයාගේ උපත සිදු වී ඇත්තේ 1986 වසරෙහි අපේ‍්‍රල් 22 වැනිදාය. ඒ අනුව වසර අටකට පමණ පසු අපගේ නිවෙසට අලුත් සාමාජිකයෙකු එකතු වන්නේද පියාට මේ ජන්ම ඒරාෂ්ටක තත්ත්වය පවතිද්දීය. තදබලම ඒරාෂ්ටක කාලවල ජීවිතයේ අති සුවිශේෂි සිදුවීම් ද සිදු වන බවට මෙය ඉතා හොඳ උදාහරණයක් වෙයි. මීට අමතර ලෙස අපේ නිවෙසට මුල් වරට ජල විදුලි බලාගාරවලින් විදුලිය ලැබුණේද පියා මේ ජන්ම ඒරාෂ්ටක කාලය පසු කරමින් සිටියදීය. ඒ අනුව තදබල ඒරාෂ්ටක කාලවල සිදුවන සිදුවීම් මුළු ජීවිත කාලයටම බලපාන බව තවදුරටත් පැහැදිලි වෙයි.

මීළඟට මගේ මව තදබලව ඒරාෂ්ටක කාලසීමාවල ලබා ගත් චමත්කාරජනක අත්දැකීම් කිහිපයක් සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමි. වෘශ්චික ලග්නය දරන ඇයගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා තැන්පත්ව ඇත්තේ භාග්‍යස්ථානය තුළය. ඒ අනුව, ඇයට, 1973 ජුනි 10 වනදාත්, 1975 ජූලි 23 වනදාත් අතර කාලය තුළ අතිප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇති නමුත් මෙම කාලවකවානුව ඇයගේ ජීවිතයේ කිසිදා අමතක නොවන සුවිශේෂී සිදුවීමක් වන විවාහය සිදු විය. ඒරාෂ්ටක කාලවකවානුවල ඉතා හොඳ සිදුවීම් සිදු වන බවට මෙය ඉතා හොඳ උදාහරණයක් වන අතර මෙය ඇය වසර ගණනාවකට පසුව ලැබු ඒරාෂ්ටකයක්ද වෙයි.

මගේ මව ඒරාෂ්ටක කාලවකවානුවලදි මුහුණ දුන් තවත් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට මීළඟ ලිපියෙන්ද බලාපොරොත්තු වෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.