ගිනි පෑගීමේ ඇරඹුම සීනිගමින්ද?

සැප්තැම්බර් 23, 2022

මෙම ලිපිය ගිනි පෑගීමේ ඇරැඹුම සීනිගම දේවාලයෙන් දැයි විමසීමයි. දේවාලයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෙීත්සවයේ අවසන් රාත්‍රි පෙරහර නිමවා අලුයම ගිනිපෑගීම දක්නට ලැබෙයි. ඇතැම් දේවාලවල විශේෂයෙන් පෙරහර නොපවත්වන සන්ධ්‍යාවේ සිට අලුයම තෙක් දෙවියන් පුදමින් අලුයම් වේලෙහි දේවාල භූමියෙහි ගිනි පෑගීම සිදුවේ.

ගිනිමැලය ප්‍රවේසමෙන් සකස් කර අඟුරු බවට පත්වූ පසු ගිනි පෑගීමට සූදානම් වේ. ප්‍රධාන කපු මහතා ඇතුළු ගිනිමැලය පාගන්මෝ මස්,මාළු ආදියෙන් සුරාපානයෙන් වැළකී පේවී සිටිති.

ප්‍රධාන කපු මහතා ගිනිමැලය තරණය කළ පසු අනෙක් කපු මහතුන් සහ භක්තිවන්තයෝ ගිනිමැලය තරණය කරති. තෙවරක්ම මෙසේ ගිනිමැලය තරණය කෙරේ. සිය දෙවියන්ගේ බලය හා තමන්ගේ දේව විශ්වාසය මත නොදැවී ගිනි පෑගීම වන බව කියනා ඔවුහු මහා ආශ්චර්ය කටයුත්තක් සේ සලකති. සැමටම ගිනි පෑගීම කළ නොහැකියයි අදහස් කරති. ගිනි පෑගීමේ ආරම්භය කවර කරුණකින් කෙසේ වීද යන්න ගැන නිශ්චිත පුරවෘත්ත නොපෙනේ. ඒ පිළිබඳ විවිධ ජන ප්‍රවාද වන අතර සීනිගම දෙවොල් දෙවියන් පිළිබඳ කථා පුවතෙහි ගිනි පෑගීම පිළිබඳ ආරම්භය වී යැයි ඇතැම්හු පෙන්වති.

දෙවොල් දෙවි කථා පුවත විවිධ ලෙස වෙයි. එහෙත් ඒ හැම එකකම ගිනි පෑගීමෙන් පසු සීනිගමට ගොඩ බසින්නට අවසර ලද බව කියැවේ.

දඹදිව ස්වර්ණ කුදුම්පරනුවර ස්වර්ණ රාමසිංහ රජුට තෙදපති, ගුණපති, අමතාපති, සිරිපති, මිහිපති, යසපති, ගිනිපති යනුවෙන් බිසෝවරු වූහ. මේ සත්දෙනා පිළිවෙළින් දෙවොල් සාමි,හිරුරැස් සාමි, සඳරැස් සාමි. තෙදරැස් සාමි, අග්නි රැස් සාමි, මහා රැස්සාමි, කුඩා රැස්සාමි යන පුතුන් ලදහ. මොවුන් අකීකරු සහ මුරණ්ඩු ය. මොවුන්ට විරුද්ධව ජනතාව රජුට පැමිණිලි කළහ. රජ ඔවුහු නැවක නංවා පිටුවහල් කළහ. තවත් විටෙක ඔවුන් වෙළඳාමේ යෙදුණුවුන් ලෙස ද සැලකේ.

මුහුදේ දී යාත්‍රාව කැඩේ. සක් දෙවි රජු ගල් පහුරක් මවා දෙන අතර ඔවුහු ලක්දිව යාපා පටුනට පැමිණේ. මානවම්ම කුමරු ඔවුනට එහි ගොඩබසින්නට අවසර නොදෙයි. පානදුරයට එයි. එහි කඳ කුමරු අවසර දෙන්නේ නැත. දෙවුන්දර ගොඩ බසින්නට උපුල්වන් දෙවි ඉඩ නොදේ. ලනුමෝදර දී දැඩිමුණ්ඩ, උණවටුනේදී දේව, රජ්ජුරු බණ්ඩාර දෙවි, රිටිගලදී වාහල දේවි, ගිංතොටදී සමන්දෙවි මොවුනට ගොඩ බසින්නට ඉඩ නොදුන් බව කියැවෙයි. මෙසේ නව තොටමුණකින් මෙරටට ගොඩබසින්නට ගත් උත්සාහය අසාර්ථක වූ තැන සක්කර සොබ්බ නම් තොටට පිවිසේ. මේ සීනිගම තොටය. මෙහි ගොඩ බැසීමට ඉඩ නොදෙනසේ දෙවිවරු එහි අධිපති පත්තිනි දේවියට බල කරති.

මොවුහු පත්තිනි දේවිය හා ඇති නෑ සබඳකම් අතීත පුවත් ගෙන හැර පාමින් ගොඩ බැසීමට අවසර පතති. පත්තිනි දේවිය කකුසඳ බුදුරදුන් කල පද්මිණි නමින් ඉපිද එම බුදුරදුනට මී අඹයක් පුදා පත්තිනි මෑණියන් වීමටත් සොහොයුරන් වූ දෙවොල්සාමි ඇතුළු පිරිස කඨින චීවර පුදා දෙවොල් දෙවි වීමටත් ප්‍රාර්ථනා කළහ.

තම සොහොයුරනට උදව් කළ යුතුයි යන අදහස පෙරදැරිකරගත් පත්තිනි දේවිය, ඔවුනට ගොඩ බැසීමට ඉඩ නොදෙන සේ බල කළ දෙවියන්ට තමන් ද එසේ ගොඩ බැසීමට ඉඩ නොදෙන බවත් අඟවමින් උපක්‍රමශීලිව කටයුතු කරයි. ඇය ගිනි වැට සතක් මවන අතර එය තරණය කළහොත් අවසර දෙන බව කියයි. මොවුනට මේ ගිනි වැට තරණය කළ හැක්කක් බව පත්තිනි දේවිය දනියි.

දෙවොල් සාමි ඇතුළු පිරිස පහසුවෙන් ගිනි වැට මැඬලති.

සිද්ද පතිනි දිව නෙතට පෙනෙන් නේ  
සුද්ද සීනිගම් තොට දැක එන් නේ  
සිද්ද පතිනි ගිනි වැටක් මවන් නේ  
වැද්ද නොදී ගිනි කඳ පාගන් නේ

ගිනිමැල ඔවුනට ප්‍රශ්නයක් නොවිය. ගිනි ජාලා මැඬීම ඔවුනට සෙල්ලමක් සේ යයි දෙවොල් දෙවි යාදින්න දක්වයි.

පයින් ගසා ගති වීසි කරන්න ම් 
අතින් ගසා ගිනි පන්දු කෙළින්න ම් 
කටින් සපා ගිනි ගල් උරවන්න ම් 
ඉතින් දෙවොල් ගිනි ජල කඳු කන්නම් 

ගින්දර සියො ගිනි ගෙන සිසිලෙන් නා 
ගින්දර සිසි ලස ජල ඉස්නා නා 
ගින්දර සිසි ලස පිනිදිය නා නා 
ගින්දර සිසි ලස කර දෙවි බසි නා 

පත්තිනි දේවිය මවන ගිනි වැට මැඬීමට මේ පිරිසට අපහසු යයි දෙවියෝ සිතූහ. ඇය මැවුවේ රුදුරු ගිනි කඳු සතකි. දෙවොල් සාමි ඇතුළු පිරිස මහත්වූ මෙම අභියෝගයකට මුහුණ දෙන අයුරු බැලීමට, පල්ලෙබැද්ද අළුත්නුවර , කළුකුමාර දේවතා බණ්ඩාර, කළුබණ්ඩාර, කීර්ති බණ්ඩාර,ගඟේ බණ්ඩාර, ආදි දිවයිනේ දොළොස් මහා දෙවිවරු පැමිණියහ.

තෙද බල දෙවොල් සාමි ඇතුළු පිරිස ගිනිමැල හතම දෙබෑ කරමින් තරණය කළ අතර ඉන් ප්‍රසාදයට පත් යට කී දෙවිවරුද, පත්තිනි දේවියද දෙවොල් සාමි “දෙවොල් දෙවි” ලෙස දේව සභාවට සතුටින් භාරගත් බව කියැවේ. පත්තිනි දේවිය සීනිගම පෙදෙස දෙවොල් සාමි ඇතුළු පිරිසට දී නවගමුවට ගිය බව කථා පුවත්හි කියැවෙයි.

දෙවොල් දෙවියන් පිළිබඳ පූජෝත්සවයේදී දෙවොල් දෙවියන්ගේ ආගමනය, ගිනිමැල මැවීම. ගිනිමැල තරණය යනාදී සියලු කරුණු සිහිපත් කෙරේ.

දෙවොල් දෙවි අග්නි දේවතාවකු ලෙසද සැලකෙතත් බුදුගුණ අලංකාරය ග්‍රන්ථයෙහි දක්නා ගිනිදෙවි පිදීමක් කිසිසේත් සිදු නොවේ. සීනිගම ශ්‍රී දෙවොල් දෙවි පිළිබඳ අග්නිපූජා ඊට වෙනස් වූ ගිනි පෑගීම වෙයි. දෙවොල් දෙවියන්ගේ අනුහස පෙන්වීමට ‘ගිනි පෑගීම් දක්වයි.

විලේ මසුන් කෙළිනා ලෙස සෙනග සිය ල් 
කැලේ අඟුරු දඬු ඇත තව ඇද නොඉඳුල් 
දොලේ ගිලී නෑවාසේ වේය සිසිල් 
මැලේ පාගන්ඩ වරමක් දෙන්ට දෙවොල්

හින්දූන්, කතරගම දෙවි කදිරවේල් නමින් හඳුන්වති. කදිරවේල් දකුණු ඉන්දියාවේ ප්‍රබලයෙකි. තෙද බලය පතුරවමින් මුහුද තරණය කළ අතර සීනි ගංතොටට ආයේය. කලක් එහි රැදුණු හේ දෙවුන්දරටද කතරගමටද පිවිසියේය. එබඳු පුවත් බලනවිට කතරගම දෙවි මුලින් ඇවිත් ඇත්තේ සීනිගම දෙවියන් හා සම්බන්ධිත සීනිගමටය. දෙවොල් දෙවි පිළිබඳව එන ගිනිමැල මැවීම ගිනි පෑගීම සංකේතාත්මක කරමින් කතරගම ගිනි පෑගීම සිදුවෙතැයි හැඟේ.

කතරගම පමණක් නොව උණවටුන, ගිංතොට, කොස්ගොඩ, උඩුහල්පිටිය, බේරුවල, පාණදුර, යාපාපටුන, වේරගොඩ, අම්බලන්ගොඩ, බලපිටිය, මිරිස්ස ආදි රටපුරා පවතින දේවාලයන්හි ඇසළ පූජෝත්සවයේ ගිනි පෑගීම දක්නා අතර එම ලක්ෂණය සීනිගම හා සම්බන්ධිත ය යි කීම අපහසු නැතැයි ද පෙනේ.

තෙ ද යුතු දෙවොල් දෙවියන්ගේ පැමිණී ම 
පතිවත සුරැකි පත්තිනියගෙ බලපෑ ම 
ඉන් ඇරඹුණ සීනිගම ගිනි පෑගී ම 
සිරිලක පුරා පැතිරිණි දෙවොලක සෑම

(සීනිගම දෙවොල්දෙවි පෙරහර – ඒ.පී ඥාණදාස 1 කවිය)

දෙවියන් පිළිබඳ භක්තිය පෙන්වන එසේම දෙවියන්ගේ අනුහස් හඟවන ගිනි පෑගීම, කවදා ඇරඹුණද එදා මෙන්ම අදත් හෙටත් ජනසමාජයේ නොනැසී රැඳෙනු ඇතැයි කිව හැකිය.

කලාභූෂණ සාහිත්‍යකීර්ති ආචාර්ය සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.