ජන්මියාට වැලඳෙන ලෙඩ රෝග කේන්දරයෙන් බලාගන්න

අගෝස්තු 5, 2022

අතීත සමාජයේ ජීවත් වූ මිනිසා මෙන් නොව වර්තමාන සමාජයේ ජීවත්වන මිනිසා ස්වභාව ධර්මයෙන් ඈත්ව කෘත්‍රිම ජීවන රටාවකට නැඹුරු වීම හේතු කොට ගෙන වර්තමාන සමාජයේ ජිවත් වන සෑම පුද්ගලයෙක්ම තමා ජීවත් වන කාල සීමාව තුළදී සුළු හෝ බරපතල රෝගයකට ගොදුරු වෙයි. එමෙන්ම ඇතැම් ජන්මින් උපතේදීම, අංගවිකල බව, මන්ද බුද්ධික බව, අන්ධ, ගොළු, බිහිරි වැනි ශාරීරික දුර්වලකම් ඇතිව උපත ලබයි.

එලෙස වර්තමාන සමාජයේ ජීවත්වන ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් විවිධ ලෙඩ රෝගවලට භාජනයවීමත් ශාරීරික දුර්වලකම්වලින් යුතු අයවලුන් වීමත් හේතු කොට ගෙන වර්තමාන සෑම ගමකම, නගරයකම, රෝහල්, වෛද්‍ය පර්යේෂණ ආයතන, ඔසුසල් සංඛ්‍යාවද වැඩිය. මෙහි බලපෑම ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය කෙරෙහි ද බලපා ඇත. ඒ අනුව වර්තමාන සමාජයේ කේන්දර පරීක්ෂා කර ගැනීමට එන බොහෝ දෙනා තමා පීඩා විඳින රෝගයන් පිළිබඳව ඡ්‍යොතිෂඥයාගෙන් ප්‍රශ්න කරති.

එහෙයින් අතීතයට වඩා වර්තමාන ඡ්‍යොතිෂඥයින්ට ලග්න කේන්දරයක් තුළින් සේවාලාභියා පීඩා විඳින රෝගය පිළිබඳව යමක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබිය යුතු ය. ඒ අනුව මෙම ලිපිය මඟින් මම ඡ්‍යොතිෂ්‍ය හදාරන ආධුනිකයන්ට, ඡ්‍යොතිෂ්‍ය හදාරා ඡ්‍යොතිෂ්‍ය කටයුතුවල යෙදෙන ආධුනික ඡ්‍යොතිෂඥයින්ටත්, කේන්දර සටහනක් තුළින් ජන්මියෙක්ට වැළඳී ඇති රෝගය කුමක්දැයි යන්න පිළිබඳව කරුණු හෙළිදරව් කර ගන්නා ආකාරය පිළිබඳව කරුණු විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි. ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව රෝග නිර්ණය පිළිබඳව කරුණු හැදෑරීමේ දී කාල පුරුෂ න්‍යාය පිළිබඳව දැනුවත් විය යුතු ය. එනම් විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ රාශි 12 මිනිස් සිරුරේ කොටස් 12 ට බෙදී යන ආකාරය පිළිබඳවයි. ඒ අනුව පහත දැක්වෙන්නේ විශ්ව කේන්දරය මිනිස් සිරුරේ කොටස් 12 කට බෙදා වෙන්කර ඇති ආකාරය පිළිබඳ කෙටි විග්‍රහයකි.

විශ්ව කේන්දරයේ පළමු රැසවන මේෂ මිනිස් හිස ද දෙවෙනි රැසවන වෘෂභ මුහුණටද 3 වැනි රාශිය වන මිථුනය පපුවටද 4 වැනි රාශියවන කටකය හෘදයටද, 5 වැනි රාශියවන සිංහ රාශිය උදරයටද, 6 වැනි රාශිය වන කන්‍යාව තුනටියට 7 වැනි රැස වන තුලාව යටි බඩට ද 8 වැනි රාශිය වන වෘශ්චිකය ලිංගයටද 9 වැනි රැස වන ධනුව කලව වලටද, 10 වැනි රාශි වන මකරය දෙදණටද 11 වැනි රැසවන කුම්භය කෙණ්ඩාවලටද 12 වන රාශිය වන මීනය පාදවලටද යනාදි වශයෙන් විශ්ව කේන්දරයේ රාශි 12 මිනිස් සිරුර කොටස් 12 කට බෙදා දක්වා ඇත. මෙම බෙදීම වඩාත් පැහැදිලිව අවබෝධ කර ගැනීමට පහත දැක්වෙන පරිදි මිනිස් රූප සටහන් මඟින් දක්වා ඇත.

ඒ අනුව ඉහත විග්‍රහ කළේ මතුපිටින් රාශි 12 මිනිස් සිරුරේ කොටස් 12 කට බෙදා වෙන්කර ඇති ආකාරයයි. මෙම රාශි 12 ට අයත් වන මිනිස් සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් තවදුරටත් බෙදා වෙන් කොට ඇත. ඒ මෙසේ ය. මේෂ 1 වැනි භාවය මොළය, නාඩි මධ්‍යස්ථානය වෘෂභය දෙවැනි භාවය ගල නාලය, කුඩා මොළය, මිථුනය තුන්වැනි භාවය, ශ්වාස නාලය, නහර කටකය 4 වැනි භාවය ආමාශය, සිංහය 5 වැනි භාවය හෘද වස්තුව, රුධිරය, යකෘතය කන්‍යාව 6 වෙනි භාවය, බඩවැල, තුලාව 7 වැනි භාවය වකුගඩු වෘශ්චිකය 8 වැනි භාවය, ගුදය, මුත්‍රාශය, ධනුව 9 වැනි භාවය, ධමනි සමූහය, මකරය 10 වැනි භාවය ඇට සන්ධි, කුම්භය 11 වැනි භාවය, රුධිර ධාවනය මාර්ග, ඇස්, ශ්වාසය. මීනය 12 වැනි භාවය ග්‍රන්ථි සමූහයට ඒ ආකාරයට රාශි 12 ට හිමි අභ්‍යන්තර ඉන්ද්‍රියන් විවිධ ඡ්‍යොතිෂ්‍ය පඬිවරුන් විසින් විවිධ ආකාරයට බෙදා වෙන් කර ඇති හෙයින් ඒ සියල්ල මතකයේ රඳවා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් වන හෙයින් මෙකී රාශි සහ භාවවලින් නිවේදනය කෙරෙන ප්‍රධාන අභ්‍යන්තර ඉන්ද්‍රියන් කවරේද යන්න පිළිබඳව මතකයේ රඳවා ගැනීම ප්‍රමාණවත්ය. උදාහරණයක් වශයෙන් විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ 6 වැන්න වූ කන්‍යා රාශියෙන් ආහාර ජීර්ණය වන බඩවැල යටි බඩ යන කොටස් නිවේදනය කෙරෙන බව පමණක් දැන ගැනීම ප්‍රමාණවත් ය.

එමෙන්ම නාම ග්‍රහයන් මඟින් ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් නිවේදනය කෙරේ. ඒ අනුව ආලෝකය ලබාදෙන රවි ග්‍රහයා පුරුෂයන්ගේ දකුණු ඇසත්, ස්ත්‍රීන්ගේ වම් ඇසත් පාලනය කෙරේ. ඒ හැර මිනිස් සිරුරේ හෘද වස්තුව, කොඳු ඇට පෙළ රවි ග්‍රහයා ගේ පාලනයට යටත් වන අනෙක් ඉන්ද්‍රයන් වන අතර, රවි නව ග්‍රහයන් අතරින් උෂ්ණාධික ග්‍රහයෙක් වන නිසා මිනිස් සිරුරේ උෂ්ණත්වයද , රවි ග්‍රහයා විසින් පාලනය කරනු ලබයි.

ග්‍රහ ලොව මව වන සඳු ග්‍රහයා විසින් පුරුෂයන්ගේ වම් ඇසත්, ස්ත්‍රීන් ගේ දකුණු ඇසත් පාලනය කරන අතර ස්ත්‍රීන්ගේ ගර්භාෂය පියයුරු යන ඉන්ද්‍රියන් සඳු ග්‍රහයා විසින් පාලනය කරනු ලබන අතර මිනිස් සිරුරේ රුධිරය සහ සෙම සඳු ග්‍රහයා මඟින් නිවේදනය කෙරෙයි. අඟහරු, කුජ හෙවත් අඟහරු ග්‍රහයා මිනිස් සිරුරේ මාංශ පේශීන් නිවේදනය කරයි. එමෙන්ම මිනිස් රුධිරයට රතු පැහැය දෙන රක්තානු ද අඟහරු විසින් නිවේදනය කරන අතර පුරුෂයින් සහ ස්ත්‍රීන්ගේ ලිංග ඉන්ද්‍රියන්ද අඟහරු ග්‍රහයා විසින් පාලනය කෙරේ.

ඉතිරිය ලබන සතියට ...

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.