ජීවිතයට වද දෙන අර්ශස්

අප්‍රේල් 2, 2021

වේදනාවෙන් තොර ජීවිතයක් කියන්නෙම නිවනක්. වේදනාව සත්වයා උපන් මොහොතේ සිට පසුපස එන්නේ සෙවණැල්ල සේය. සත්වයා උපත්ති අවස්ථාවේ විඳීන වේදනාවට නොදෙවෙනි වේදනාවක් මරණ මොහොතේ අත්විඳී. ඒ වේදනාව සමනය කර ගැනීම උදෙසා මේ ලොව යහපත් මිනිසෙකු සේ දිවි ගෙවිය යුතුය. මිනිස් සිරුරේ නිරෝගි බව උදෙසා යහපත් දිවි පැවැත්මක් පවත්වා ගැනීම ඉතා වැදගත් ය. යහපත් ආහාර විහරණ පවත්වාගෙන යෑම, නින්ද මනා ලෙස පවත්වාගෙන යෑම, සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය භාවිතය, විරුද්ධ ආහාර එක වර භාවිතයෙන් වැළැකී සිටීම නීරෝගී දිවියක් සඳහා උපකාරී වේ.

ලුණු ඇඹුල් කඵ උෂ්ණ තීක්ෂණ ආහාර අනුභවයේ හේතුවෙන් පිත අධික වී මෙන් අර්ශස් පැන නඟී. ඒවා රතු කළු පැහැ ගනී. ලෙය වගුරවයි. පිලී ගඳීන් යුතුය. එල්ලෙන බෙලහීන ගතියෙන් යුතු වේ. කූඩලු තුඩු වැනිය.

 

යහපත් ආහාර විහරණ පවත්වා ගෙන යෑමෙන් ම පමණක් අවම කර ගත හැකි රෝගී තත්ත්ව අතරන් එකකි අර්ශස්. සාමාන්‍ය ව්‍යවහාරයේ මූලග්ගාය ලෙස මෙම රෝගී තත්ත්ව හඳුන්වනු ලබයි. සාමාන්‍ය දිවියේ කෝපයට පත්වන්නන් මූලග්ගිනිකාරයින් ලෙස හැඳීන්වීමට සමාජය හුරුවී ඇත්තේ මේ රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයා මුහුණ දෙන වේදනාව අධික බැවින් මිනිසා තද බල ලෙස කෝප කරවන බැවිනි. අර්ශස් රෝග තත්ත්වය සඳහා ව්‍යායාම නොකිරීම, දහවල් නින්ද, වාත මුත්‍රමළ වේගධාරණය මත්ද්‍රව්‍යය භාවිතය, හේතුවේ.

බහුල ලෙස මළ රැස්වීම, මුත්‍රාශ්මරී කාමලා, ගර්භාෂ අර්බුද, ගර්භිණීභාවය, මහා අන්ත්‍ර ගත කර්කටාර්බුද, යකෘර්ත ආබාද, මළ බද්ධය ඇති කරවයි. මෘදු ආහාර භාවිතය ද මේ රෝගී තත්ත්වයට හේතුවන බව මේ වනවිට හඳුනාගෙන ඇත. බොහෝ විට විකා ආහාරයට ගත හැකි පලතුරු පානයන් ලෙස සකසා ආහාරයට ගැනීමට වඩා විකා ආහාරයට ගැනීමෙන් මේ රෝගී තත්ත්වය මඟ හරවා ගැනීමට උපකාරීවේ. කෙඳී සහිත ආහාර ආහාරයට එක් කර ගැනීමද මේ රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට උපකාරී වේ.

අර්ශස් නම් මහා රෝග අටෙන් එකකි. සතුරෙකු මෙන් අර්ශස් මඟින් මිනිසා පීඩාවට පත් කරවයි. මෙය සමාජයේ බහුල රෝගයකි. අර්ශස් මරණය කැඳවන්නේ නැත. මේ රෝගය හේතුකොට ඇතිවන උපද්‍රවයන් මිනිසා වෙත මරණය කැඳවයි.

බොහෝ වෙලා අසුන් ගෙන සිටීමෙන් ඉහළ අවයවවල බර මූලාධාර පේෂියට ඉසිලීමට සිදුවේ. ගුද නාලිකා මුත්‍රධාර ආදිය පිහිටා ඇත්තේ මූලාධාර පේශිය මතය. මේ පේශි ඇසුරු කර ගුද බිත්ති තුළ ගමන් ගන්නා ශිරා පහසුවෙන් පිම්බීමට ලක්වේ. එහිදී මුලාධාර පේශියේ අංකුර උපද්දවා ගුද මඟ අහුරාලීමෙන් සත්වයා පීඩාවට පත් කරවයි.

වෙනත් රෝග නිදාන හේතුවෙන් ඇතිවන මේ රෝග තත්ත්වයේ දී සප්ත ධාතුවෙහි මුල් ධාතු හතර දූෂණය වේ.

ගුද අන්තයෙහි මූලාධාර පේශියේ තද බල උෂ්ණත්වයක් පැන නැඟීමෙන් මොළයේ තාප නියාමන කේන්ද්‍රය උත්තේජනය වේ. එසේ වීමෙන් මූලාධාර පේශියේ අග මළ වියළි භාවයට පත්ව මළ බද්ධය ඇති කරයි. අංකුර වෘද්ධිය හා මළබද්ධය ඇතිවීමෙන්. රෝගියා තදබල නොරිස්සුම් ඇති වේ. ඇසුරු කරන අය කෙරෙහි කෝපය හට ගනී. එය වළක්වාලීමට අත්බෙහෙතක් ලෙස පැරැන්නෝ කොහිල අල කැඳ පිස එයට ගිතෙල් ස්වල්පයක් මුසුකොට පානයට දේ. කල්යත්ම මළ බද්ධය මෙන්ම අංකුරද වියැකී යයි.

ගුද දොර වටා ඇති ගුදෝෂඨය අඟල් භාගයක් පමණ මහත් ය. ගුද දොර අවට පිහිටි ගුද සංකෝචනී පේෂියයි. අභ්‍යන්තරයෙන් ශ්ලේශ්මල කලාවෙන් ද, බාහිරින් තුනී කවචයකින් ද වැසී පවත්නේ ය. මළ, මලවාත බැහැර වීමේ දී විවෘත වේ. එවායේ පරතරවල හා වලිතුනෙහි ද ගුදාංකුරයෝ පැන නඟී.

මෙය පරම්පරාවෙන් පැවැත එන සහජ රෝගයකි.අර්ශස් කොටස් දෙක කි.සහජ හා නිජ වශයෙනි. එයද බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙආකාර වේ.

වාතය, පිත, කඵ, හේතු කොට ද ත්‍රිදෝෂ හේතු කොට ද, රක්තය හේතු කොට ද, සහජ වශයෙන් ද අර්ශස් පැන නඟී. සාමාන්‍යයෙන් අර්ශස් ලෙස හැඳීන්වෙන්නේ ගුදවලි ගුණ ඇසුරු කොට පැන නඟන මාංශ අංකුරවලට ය.

ප්‍රවාහිණී හා වසර්ජනී නම් ගුදවලිවල අභ්‍යන්තර අර්ශස් පැන නඟින අතර බාහිර අර්ශස් සංචරණියෙහි ඇති වේ. බාහිර අර්ශස් ගුදයෙන් එළියට ඇදේ.

චර්ම කීල නම් අර්ශස් ගුද මුඛය අවට ගුද තොල්වල පිටිපැත්තේ ඇතිවන කර ගැට බඳු ය.

ලුණු ඇඹුල් කඵ උෂ්ණ තීක්ෂණ ආහාර අනුභවයේ හේතුවෙන් පිත අධික වී මෙන් අර්ශස් පැන නඟී. ඒවා රතු කළු පැහැ ගනී. ලෙය වගුරවයි. පිලී ගඳීන් යුතුය. එල්ලෙන බෙලහීන ගතියෙන් යුතු වේ. කූඩලු තුඩු වැනිය.

මධුර ලවන අම්ල රසයෙන් හා ස්නිග්ධ හා ගුරු ගුණයෙන් ශීත වීර්යයෙන් ඇතිවන අර්ශස් කඵ මුල් වීමෙන් ඇතිවේ. ව්‍යායාම නොකිරීම දිවා නින්ද සුවපහසු ආසන භාවිතය මෙයට තවත් හේතුය. මෙහිදී ඇතිවන අර්ශස් සුදු පැහැවේ. ගැඹුරට මුල් බැස ඇත. තදබල වේදනා ගෙන නොදේ. දිගු හා මහත්ය. සිනිඳුය. බරය. තෙත් ය. කැසීම් බහුලය.

අර්ශස් රෝගයේදී ඉකිලි බැඳ දැමුවාක් සේ දැනේ. ගුද , වස්ති හා නාභි ස්ථාන අදින්නාක් සේ දැනේ. වේදනා ගෙනදේ සෙම් කිවිසුම්, මන්දාග්නිය, හිස තෙමුවාක් බඳු වීම, මූත්‍ර අඩස්සි, අරුචිය ඇති කරයි.

ආහාරයෙදී කෙඳී බහුල ආහාර යෝග්‍ය වේ. පලතුරු හැකිතාක් විකා කෑමට හුරුවීම යෝග්‍ය ය. කැඳ වර්ග ගිතෙල් මිශ්‍ර ආහාර උචිත වේ. තැම්බූ බෙලි, මඩු පිට්ටු,හබරල, කිඩාරම් අල, රතු ලූනු , ගොටුකොළ ආහාර පිණිස යෝග්‍ය ය.

දේශීය වෙදකමේ අර්ශස් නිට්ටාවට ම සුව කිරීම සඳහා යෙදිය හැකි ඖෂධ වේ එබැවින් පළ පුරුදු දක්ෂ වෙදැදුරෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමෙන් අතුරු උපද්‍රවයන්ගෙන් තොරව රෝගය නිවාරණය කර ගත හැකිය.

ටෙක්ලා පද්මිණී කාරියවසම්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.