හෘදයාබාධවලට අත වනන වාස්තු දෝෂ

පෙබරවාරි 2, 2024

 

නිට්ටඹුව ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි වර්ග අඩි 1500කට ආසන්න සරල නිවසකි. එහි එක් පසෙකින් අභාවිත වැරැන්ඩාවකි. අනෙක් පසකට නිවස යම් දිගු කිරීමක් සිදු කළ අයුරක් බිත්තියක පෙන්වන දාරයක් සහිත කොටසකි. පර්චස් විස්සක් පමණ වන ඉඩමක මේ නිවස පිහිටා ඇති බැවින් නිවස වටා යා හැකි පරිදි ඉඩකඩ මැනැවින් සලකා මෙය ඉදිකර ඇති බැවින් නිවෙසත් ඉඩමත් පහසුවෙන් පරිහරණය කළ හැකි අයුරු ද බැලූ බැල්මටම අපට පසක් විය.

නිවෙසේ පිටත බිත්ති මැන පවත්නා සැලසුම (ප්ලෑන්) සකස් කර ගත් පසු පෙර කී අභාවිත වැරැන්ඩාව ඉතා පැහැදිලි ලෙස නිරිතට වැටී ඇති බව පෙනිණි. එහි විවිධ අබැලි ද්‍රව්‍යවලින් පුරවා ඇත්තේ එය නිවෙසේ පිටුපස එතරම් භාවිතයට ගත නොහැකි පැත්තකට වන්නට පිහිටුවා ඇති බැවිනි. අනෙකුත් බරපතළ දෝෂ අත්හළද මෙකී අබැලි ද්‍රව්‍ය පැට වූ නිරිත දිශාව බරපතළ ආර්ථික හා සෞඛ්‍යමය ගැටලු ඇති කරවා ඇති බව පැහැදිලිව පෙනිණි.

ඊළඟට නිවැරැදිව ඇඳ සකස් කරනු ලැබූ සැලසුමේ දැක්වෙන මධ්‍යය සත්‍ය වශයෙන් පිහිටා ඇති ස්ථානය පරිමාණයට (අඟලක් අඩි අටක් ලෙස සැලකූ) අනුව සෙවිය යුතු විය. එහිදී බිත්ති මායිම් දෙකකින් මැන බලා නිවැරැදි මධ්‍යය හෙවත් බ්‍රහ්ම බින්දුව සොයා ගැනීමට යෑමේ දී ඊළඟ බරපතළම දෝෂය අපට හඳුනා ගන්නට ලැබිණි. එනම් නිවෙසේ නිවැරැදි මධ්‍යය පිහිටා ඇත්තේ නිශ්චිත ලෙසම කාමරයක බිත්තියකට වන්නටය. මෙහි බරපතළකම දන්නා අපි නැවත නැවතත් අපගේ මිනුම් හා සටහන් පිරික්සා මධ්‍යය යළි යළිත් තහවුරු කර ගනු ලැබීමු.

එයින් පසු මෙකී බරපතළ දෝෂ දුර්විපාක ඇසුරින්ද තහවුරු කර ගැනීම සඳහානිවැසියන්ගේ තොරතුරු මඳක් සොයා බැලීමු. “රුධිරගත රෝග“ ඇත්තේ දැයි අප කළ විමසුමට ලත් පිළිතුරු වූයේ එකී තත්ත්වය කෙතරම් බරපතළ වී ඇත්තේද යත් ගෘහ මූලිකයා තදබල හෘද රෝගයකට ගොදුරු වී ජීවිතය යන්තමින් ගලවා ගත් බවයි. ඒ අනුව මධ්‍යය නිශ්චිතවම බිත්තිය ඒ මත පිහිටීමෙන් පීඩා වී ඇති බව අපට සිද්ධාන්තයට අමතරව දුර්විපාකය ඇසුරින්ද සනාථ විය.

මෙසේ සිදු වූයේ අප පෙරත් සඳහන් කරනු ලැබූ පූර්වයේ සිදු කළ වාස්තු පරීක්ෂාවකදී කරනු ලැබූ නිර්දේශයන් අනුව පැවති නිවෙස එක් පසෙකින් බිත්ති කඩා දිගු කිරීමට යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. පෙර පැවති මුල් නිවෙසේ මධ්‍යය බිත්තියෙන් පිටත නිදහසේ පිහිටා තිබුණු අතර කරන ලද වාස්තු නිර්දේශය විසින් මෙකී බරපතළ දෝෂයට මුහුණදීමට ඔවුනට සිදු වී තිබේ.

එයින් පසු අප විසින් පෙර සිදු කර තිබූ වාස්තු පරීක්ෂාවද අධ්‍යයනය පිණිස ගෙන අවධානයට යොමු කිරීමෙන් පැහැදිලි වූයේ “නිවෙසේ වර්ගය නිවැරැදි කිරීම” සඳහා පෙර කී බිත්ති වෙනස සිදු කර ඇති බවයි. මෙහිදී අපට මේ සිදු කර ඇති වරද නොකියා සිටිය නොහැකි වූයේ නිවැසියන් විවිධ විෂයයන් පිළිබඳ තියුණු ගැඹුරු අවබෝධයක් සහිතව කරන ලද විමසීම් හේතුවෙනි.

අප විසින් නිවෙසේ “ගෘහ පිණ්ඩය” හඳුනා ගැනීමේ සිට එය “එකොළොස් පොරොන්දම” අනුව වර්ග කිරීම පමණක් නොව “වඩු රියන” පිළිබඳ මූලික විග්‍රහයන් පවා නිවැසියනට පැහැදිලි කර දීමට මෙහිදී කාලය වැය කිරීමට සිදු වූ බව කිය යුතුයි.

සම්ප්‍රදායිකව වඩු රියන ලෙස යොදා ගනු ලබන්නේ ගෘහ මූලිකයාගේ හුරු අතෙහි ඇඟිලි උපරිමව විහිදුවීමේ දී සුළැඟිල්ලේත් මහපටඟිල්ලේ කෙළවරක් අතර දුරට (වියත) වැලමිටේ සිට මැදඟිල්ලේ කෙළවරට ඇති දුරක් මැඳ ඇඟිලි පුුරුක් හතරක් එකතු කිරීමෙන් සකස් කර ගනු ලබන දිගයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව ශරීර ප්‍රමාණයන්ගේ වන වෙනස්වීම් දන්නා ඔබ සැමට අමුත්තක් නොවේ. වර්තමානයේ බොහෝ වාස්තු ශිල්පීන් මේ වඩු රියන නම් ඒකකය ගෘහ මූලිකයාගේ අත යොදා ලබා ගන්නවා වෙනුවට අඟල් 31ක් හෝ වෙනත් අගයක් ගැනීම සම්මතයක් ලෙස යොදා ගන්නා බව පෙනේ. මෙය සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රය අනුව බැලුවද සිද්ධාන්ත අමු අමුවේ උල්ලංඝණය කිරීමකි.

එයින් පසු වඩුරියන අනුව අය, වැය ආදී කරුණු පිළිබඳ වීජිය ගණිතමය ක්‍රම ගණනාවක් අහේතුකව දක්වමින් සිදු කරන කාර්ය “ඒකා දශා පොරොන්දමට” අනුව ගණ පිණ්ඩය සීහුම් කිරීම ලෙස ගෞරවනීයව භාවිතයට ගන්නා අවස්ථාවේ දී පෙර සිදු කළා මෙන් නිවසේ වර්ගඵලය (වපසරිය) වෙනස් කිරීමේ නිර්දේශයන් ඉදිරිපත් කිරීම ශිල්පීන් විසින් බොහෝ විට සිදු කරනු ලබයි.

මෙසේ “එකොළොස් පොරොන්දමට” ප්‍රමුඛ තාවය ලබාදීමට යෑමත් නිවෙසක නිවැරැදි මධ්‍යය සොයා ගැනීමට ඇති නොදැනීමත් නිසා තම සේවාලාභීන් බරපතළ උපද්‍රවයන්ට හෙළන වාස්තු ශිල්පීන්ද බොහෝවිට අපට හමු වේ. ඉහත සිදුවීමේ දී මෙවැනි වියවුලක් ඇති වූ බවද සිහිපත් කරමු.

හෘදයාබාධයෙන් සුවය ලබා ගැනීම සඳහා නිවැසියන් කරන ලද වියහියදම් නිසා තවදුරටත් නිවෙසේ බිත්ති කඩා බිඳ එහා මෙහා කිරීමට යෑම පහසු නොවන බවද ඒ වන විට කතාබහෙන් අපට වැටහී තිබුණු බැවින් එකී “නිවෙසේ කැඩුම් බිඳුම්” විසඳුමට අමතරව පිරමීඩ මෙවලම් යොදා නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්තිය කළමනාකරණය කිරීමේ ක්‍රමයට නිර්දිෂ්ට විසඳුමද ඔවුන් වෙත ලබා දුනිමු. වියදම සැසඳීමේදී කඩා බිඳ සැකසීමට යන මුදලට වඩා ඉතා අඩු වියදමක් සහිත පිරමීඩ යොදා දෝෂ නිවාරණයට ඔවුන් උනන්දු වන බව පෙනිණි.

මෙකී මූලික බරපතළ දෝෂයට අමතරව ඇති ඉතිරි දෝෂ කීපය සඳහා ද එවැනිම පයිරා වාස්තු හෙවත් පිරමිඩ ආශි‍්‍රත විසඳුම් අවසානයේ යෝජනා කරනු ලැබීමු.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.