වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඉඩම් ගෙවල් ලාබෙට ලැබුණට ගන්නෙ බලාගෙන
රටක උද්ධමනය වැඩිවනකොට සාධාරනව හරිහම්බ කරගත්දේත් විකුණන්ට සිදුවනවා. ඒ විකුනන්නෙ රටේ සම්මත මිලටත් වඩා අඩුවෙන්. ඒ ආර්ථික ප්‍රශ්න නිසා. ලාබෙට ලැබුන නිසා ඒ තරම් අඩු මිලකට ගන්නවා. දෙවරක් නොසිතා.
මේ කියන්න යන්නෙ හිමිකම් ඇති වුනත් නඩු කියලවත් අයිතිකරුවන් ඉවත් කරගන්න බැරි ඉඩම් ගෙවල් ගැන. ප්‍රායෝගිකව දෘෂ්‍යමාන අයගෙන් අයිතිය ලබා ගත්තත් අදෘෂ්‍යමාන අයව ඉවත් කරන්න ටිකක් කරදර වේවි. ටිකක් නොවේ ගොඩක් කරදර වේවි. ඉඩමක් හෝ නිවසක් ඔබ මුදලට ගත්තට ඒකේ ඇතුළේ අයිතිවාසිකම් කියන අය ඉන්නා බව නිකමට වත් හිතුවේ නැද්ද?
ඔබ අලුතින්ම මිලට ගත් ඉඩමේ තිබුණු ලොකු නිවසේ කාමර කීපයක්ම තිබුණ නිසා අඩු ගණනකට දුන්න නිසාත් ගත්තා හරි තමයි. මූල්‍යමය අතින් බලන කොට ලාභයි තමයි. මුදල් ලාභ විතරක්ම බලල මදි. තව ගොඩක් දේවල් පරීක්ෂා කරන්න තිබෙනවා. ඒ අය අඩු මුදලකට හදිසියේ දුන්නේ ඇයි කියලා නිකමට වත් බැලුවේ නැහැනේද? අලුතින් ගත් ඉඩමේ දෘෂ්‍යමාන අය පදිංචි වී හිටියොත් නඩු මඟින් හෝ ඉවත් කරන්න හැකි වුණත්, අදෘෂ්‍යමාන අය හිටියොත් ඒ අය ඉවත් කරන්න නඩුකාර හාමුදුරුවන්ට බැරි වේවි.
අක්කර 05 ක් විතර ඇති ඉඩමේ මේ නිවස තිබුණේ කුරුණෑගල - පොල්ගහවෙලට කිලෝමීටර් 18 ක් දුරින්. ඒ දවස්වල නම් හැතැම්ම 10 ක් 12 ක් විතර ඇති. තනිකර පොල් ඉඩමක්. ඉතා පාලු ස්වභාවයක් තමයි. මුළු ප්‍රදේශයම දැරුවේ. බස්රථ යන පාරට යන්ට පටු බොරලු, මැටි පාර දිගේ සැතපුම් 2 ක් විතර යන්ට ඕනෑ. වැස්ස දිනවලට ගොඩක් මිනිසුන් මේ පාර දිගේ ගමන් යාමෙන් වැලකුණේ සර්පයින් පාරට එන නිසා. මේ බොරලු පාර දෙපැත්තේ මාන පඳුරු වගේ පඳුරු ගස් සරුවට වැවී තිබුණා. මේ පඳුරු ඇතුළේ සර්පයින්ට හොඳ හෝතැන්නක්.
මේ පාර මිනිසුන්ගේ ප්‍රයෝජනයට ලක් වුණේ ඉතාම ටිකක් නිසා පාර දෙපැත්තේ මේ පඳුරු සුද්ධ කරන්න කවුරුන් ඉදිරිපත් වෙලා තිබුණේ ඉතාම කලාතුරකින්. අවශ්‍ය ගමනක් තිබුණා නම් පයින්ම ගියා මිස බයිසිකලයක් වත් කරත්තයක් වත් නැති තරම්.
මේ කියන ගෙදර පදිංචි වෙලා හිටියේ සයිමන් අප්පුහාමි හා ඔහුගේ භර්යාව ඩිංගිරි මැණිකෙ. ගමේ මිනිසුන් කතා කළේ “අප්පො” කියලා. එක පුතෙක් විතරයි හිටියේ. අප්පො කියන විදියට මෙහාට ආපු දවසේ ඉඳලම මේ ගෙදර එක එක ශබ්ද ඇසෙනවා. සමහර විට වහපු දොරවල් ඉබේ ඇරෙනවා. තමන්ම පත්තු කරපු ලයිට් ඉබේම නිවිල යනවා. මම කලින් හිතුවේ හුළඟට එහෙම වනව කියලා. පස්සේ පස්සේ එක එක නුපුරුදු ශබ්දවල් එන්ට පටන් ගත්තා. ඒ එක්කෙම සැර ගඳවල් එනවා උහුලන්න බැහැ. මම සාමාන්‍යයෙන් මේවට බයවන කෙනෙක් නොවේ. නමුත් දවසක් රාත්‍රී 10 ට විතර කවුදෝ ටැප් එක ඇරගෙන නානවා. ඒක දැකල ටිකක් බය වුණා. මට නින්ද යාගෙන එනකොට කවුරුහරි ගේ ඇතුලේ ඇවිදිනවා. එන්න එන්ම මේ කරදර වැඩි වෙලා ගෙදර කිසිම වගතුවක් නැතිවෙලාම ගියා. සමගිය නැතිවුණා. මේ කරුණු නිසාමයි මහත්තයෝ පුතා රට දාල යන්ට ප්‍රධාන හේතුව වුණෙ. මේ එකක් වත් අපේ හාමිනේට පෙනෙන්නෙ නැහැ.
ගුරුන්නාන්සේට ලැබුණු ආරාධනාවකට තමයි මම මේ ගමනට සම්බන්ධ වුණේ. ගුරුන්නාන්සේයි මමයි ගෝලයාත් මේ ඉස්තානයට එනකොට හවස 4 විතර ඇති. දැනුනේ හරියට සවස 6 වගේ. අපට ගැමි ආහාරවලින් සංග්‍රහ කළා. කුරක්කං වගේ දේවල් නිසා කන්නත් ටිකක් අමාරුයි. “අප්පෝ” කියන විදියට මේ ගෙදර කලින් හිටපු අයට මේක ලැබිල තිබෙන්නෙ භාර්යාවට දුරින් නෑකම් කියන අයගෙන්. ඒ අයට මේ ගෙදර ඉන්නම බැරි තැන තමයි අඩුගාණකට අපිට විකුණල තිබෙන්නෙ. ලාබෙට ලැබුන නිසා අපිත් අරගෙන හරියට කරදරයක් නැතුව හිටියේ මාස 03 යි. ඊට පස්සේ දිගටම ආපු කරදර නිසා හැම තැනින්ම ගුරුකම් කරන අය ගෙන්වලා බැරි වුණා තැන තමයි අපේ ගුරුන්නාන්සේට කියල තිබෙන්නේ.
තේ ටික බීල බුලත් විටක් කොටන ගමන්ම “අප්පෝ” විස්තර කතාව දිග හැරියා. මෙයා මේ ඉඩම ගන්න ඉස්සෙල්ලා මේ ඉඩමයි ගේයි අයිතිවෙලා තිබිල තියෙන්නෙ ඒ පළාතේ හිටපු ගම්මුලෑදෑනියෙකුට. පූරුවේ කළ කරුමෙකට මෙයාට දරුවො නැතිලු. එයාගේ පවුලක් එයාට කලින් මිය පරලොව ගිහිල්ලා. ඊට පස්සෙ මෙයාගේ බල පුළුවන්කාරකම් පෙන්වමින් ඉන්නකොට සුව නොවන දද කුෂ්ඨයක් ඇඟ හැමතැනම ආවලු. කොච්චර බෙහෙත් ගත්තත් කිසිම සුවයක් නොලැබුණ නිසාත් වේදනාව දරාගන්න බැරි වූ තැන මේ විශාල ගෙදර එක කාමරයක බාල්කයක එල්ලී මැරුණාලු. එදා සිට කාටවත් මේ ගෙදර පදිංචි වෙලා ඉන්න දෙන්නෙ නැහැලු. මේ කිසිවක් නොදත් නිසාත් ලාබෙට හම්බ වුණ නිසාත් මෙයා මේ ගේ ඉඩම ගත්තාලු.
මේ මිනිහා ඉන්න කාලෙ අසල්වැසි කාත් සමඟත් කිසිම ඇසුරක් වෙලා නැහැ. අඩුම තරමේ පොල් ගෙඩියක් වත් අහුලන්න කවුරුවත් මේ වත්තට ඇවිල්ල නැහැ. ඒ තරමට මේ මිනිසා ඉතාම තන්හාවෙන් ඉඳලා තිබෙන්නේ.
මේ වත්ත දිහා බැලුවාමත් මහා මූසල පාටයි. ගෙවල් දොරවල් සුද්ධ කරපු කාලයක් මතක නැහැලු. කාමර නම් ගොඩක් තිබුණට පාවිච්චි නොකළ කාමරත් තිබුණා. දරුවා රට ගියායින් පස්සේ සමහර කාමර විවෘත කරලවත් නැහැ. හුළං ටිකක්වත් වදින්න. අපි ගිහිල්ලා ඇය පැය බාගයක් විතර වත්තේ එහාට මෙහාට ගියා. අමුත්තක් දැක්කෙ නැහැ. ඊට පස්සේ කාමර කීපයක් බැලුවා. පුස් ගඟ හැරෙන්න විශේෂ දෙයක් තිබුණෙ නැහැ. ප්‍රේත දොළ උයන්න ගෝලයා වත්තේ පාළු තැනක ලිප හැදුවලු. ළිප නම් පෙරලලා තිබුණා කියල කිව්වා.
ගොම්මන් වෙලාවත් පසුවුණ හිංදා අපි ගෙදර කතාකරගත් පරිදි සවස 06.30 විතර ඇති, ගෝලයා ආරක්ෂක මුට්ටි වළලන්න වත්තෙ වල් හාරනවා අට කොනට. මම තුන්පට කපු නූල ඇද්දා ස්ථානය සීමා කරන්න. එක තැනකදි මට දැනුනා මගේ උරහිසට කව්දෝ කෝටුවකින් ගහනවා වගේ. එතකොටම ගෝලයා වල් හාරන්න ගෙනගිය නාරාසනයත් (යකඩේ) එතැන දමා පැන ආවා. “වළහාරන්න දෙන්නෙ නැහැ කවුදෝ කළු කෝට්බෑයක් ඇඳගත් කෙනෙක්” කියලා. ගුරුන්නාන්සේ ගොක් අතු, කෙසෙල් බඩ සුද්ධ කරනවා යහන් හදන්න. දැන් මටත් ගුරුන්නාස්ටත් විශාල ප්‍රශ්නයක්.
යාගය කරන්නත් බැහැ. නොකර හරින්නත් බැහැ. ගෙදරදි කතිකා කරගත් පරිදි ක්‍රමය අපි වෙනස් කළා. තීන්දු පුටුව මම මතුරන්නත්, දොළ මම ළඟ ඉඳගෙන ගෝලයා උයන්නත්, ආරක්ෂක ක්‍රියාදාමය හා යහන් තටු හැදීම ගුරුතුමා කරන්නත් පුහුල නා දෙහි සමඟ ගෙරිඔළුව අපි දෙදෙනාට කපා දැමීමටත් අපි තීරණය කර ගත්තා.
තීන්දු පුටුව (ප්‍රේත තටුව) මම මතුරන කොට මට වටහාගන්න පුළුවන් වුණ වෙලා තිබුණ දේ. ඒකම ගුරුතුමාටත් වෙලා තිබුණා. එවෙලේ අපි නොකිව්වට ටිකට තුළින් විවේකයට කෝපි කෝප්පය බොන වෙලාවෙදි තමයි මේවා කතා වුණේ.
දැන් වෙලාව රාත්‍රී 12 කනිසම පාස් වුණා විතරයි. දෙහි ටිකත් පුහලත් කපල ඉවරවෙලා ගෙරි ඔළුව කපන්න ගත්තා. පුදුමයක් කවුදෝ වහලට බොරලු කැට ගල් වගේ ගහනව දැනුනා. මේ සිද්ධිය අදෘශ්‍යමාන බව දැනගත් අපි නොකඩවා මන්ත්‍ර කියමින් ගෙරි ඔළුව කපන්න ගත්තා විතරයි මෙන්න බොලේ කවුදෝ අපි ගෙරි ඔළුව කපන්න ගිය කඩුව පස්සට අදිනවා. වැඩේ බැරෑරුම් බව දැනගත් ගුරුන්නාන්සේ නැගිට්ටා. සැර දිෂ්ඨි මන්ත්‍රවලින් දුම්මල මතුරා වත්තට ගහන ගමන් ගේ ඇතුළේ කාමරවලට දුම්මල මතුරා ගහන්න කිව්වා. හැම කාමරයකට වගේ දුම්මල ගැසූ මම පත්තුවෙලා තිබූ ගින්දර කීල (පන්දම) නොනිවී තබාගන්ට මම සමත් වුණා. මේ හැම වෙලාවෙම දුම්මල පොල්කටුව අරගෙන මා පස්සෙන් ගෝලයා මා ළඟින්ම ගියේ බය ඇති නිසා බව මට දැනුණා. එළිවෙන යාමය තෙක් යාගය කර පසුදා පහන් වන තුරුම කිසිම අඩුවක් නැතිව යාගය අවසන් කර මැතුරූ වැලි ඉඩමට ගේ කාමරවලට ඉසින්ට අප්පොට බාරදී අපි අපේ නිවස්වලට ආවා. පොරොන්දු මුදලට වඩා ලොකු වාසියකුත් වෙලා තිබුණා. ප්‍රේත භූත ආත්ම වස්තුවකට ගිජු වුණාම ඔහොම තමයි.
පාරම්පරික ගුප්තවිද්‍යාධර, ඡ්‍යොතිෂවේදී, මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න