ඔබේ ගෙදර දොර ජනේල වාස්තු විද්‍යානුකූලද?

සැප්තැම්බර් 1, 2023

 

නිවසක් ඉදිකිරීමේදී එයට අදාළ බොහෝ අවශ්‍යතාවන් ඉටු කිරීමෙහිලා දොරවල් හා ජනේල එනම් විවිධ ස්වරූප ගත් කවුළු සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ලබයි. ඒවා විටෙක අතිශය භෞතික භාවිතාවන් ලෙස ආලෝකය ලබාදීම, වාතාශ්‍රය සැපයීම, ප්‍රවේශය ආදී බොහෝ දේ සඳහා යොදා ගැනෙන අතර, නූතන වාස්තු විද්‍යා අර්ථයෙන් ගැනෙන ශක්තිමය ක්‍රියාවලි සඳහා ද අත්‍යවශ්‍ය සාධකයක්ව පවතින බව නිසැකයි.

උතුර – නැඟෙනහිර – ඊශාන යන දිශාවන් සඳහා ප්‍රමාණවත් කවුළු නොපිහිටුවීම කොතරම් බරපතළ වාස්තු වියවුලක්ද යන්න අපට මැනවින් වටහා ගත හැකි මට්ටමට නූතන බටහිර විද්‍යාවේ හා ඒ ආශි‍්‍රත ශිල්පයන් අනුව සැකසූ විවිධ මෙවලම් භාවිතයට පැමිණ තිබේ. එබැවින් අද වන විට කවුළු පිළිබඳ සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ කියැවෙන නිර්දේශයන් එතරම් සරල හා සැහැල්ලු ලෙස නොසලකා හැරිය හැකි නොවේ. එසේ හෙයින් අපට නූතන වාස්තු විද්‍යාවත්, පුරාතන සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයත් තුලනය කොට ගැනීමේදී පවා මෙකී කවුළු පිළිබඳ වාස්තු භාවිතය වඩ වඩාත් නිරවුල් කොට වටහා ගැනීමට සිදුවී තිබේ.

බොහෝ වාස්තු ශිල්පීන් පවා ජනේලයක් දොරකින් වෙන් කොට ගන්නා ආකාරය පිළිබඳව දක්වන්නේ අශාස්ත්‍රීය පැහැදිලි කිරීමකි. දොර හෝ ජනේල උළුවස්සේ හැළිස් දණ්ඩක් තිබුණු විට එය ජනේලයක් ලෙසත් එසේ නොමැති විට එය දොරක් ලෙසත් දැක්වීම ඉක්මවා දොරවල් හා ජනේල සංඛ්‍යාව නිවැරදි කිරීමට යැයි පවසමින් උළුවස්සට අමුතුවෙන් දැව කොටයක් (ලෑල්ලක් හෝ රීප්පයක් හෝ) යෙදීමට නිර්දේශ කරන ශිල්පීන්ද අප අතර වෙයි. එසේ නිර්දේශ සපයන්නන් නොදන්නා කරුණ නම් අපගේ පුරාණ උළුවසුවල පහළ දණ්ඩ අනිවාර්යයෙන් තිබූ බවත් ඉතිරි වී ඇති දැවමුවා, ඉදිකිරීම්වල මෙකී පහළ දණ්ඩ පෑගීමෙන්ම ගෙවී ගොස් වක්‍ර හැඩයකට පත්ව ඇති බවත්ය. මෙසේ හෙයින් පළමුව කළ යුත්තේ දොරක් ජනේලයකින් වෙන් කරන ශාස්ත්‍රීය බෙදීම හඳුනා ගැනීමයි. එය වන්නේ නිවසේ පිටට විවෘත වන පියන් සහිත වූයේ ජනේල බවත්, ඇතුළතට විවෘත වන පියන් සහිතව දොරවල් පිහිටුවිය යුතු බවත් අවධාරණය කළ යුතු වේ.

එසේම සමහර කවුළුවල රාමුවක් හෙවත් උළුවස්සක් නොමැති වීම ඒවා දොරවල් හෝ ජනේල ලෙස ගණනය නොකෙරෙන බවද සැලකිය යුතුයි. එවිට මෙකී රාමුව සකස් කර ගනු ලබන ද්‍රව්‍යය වැදගත් වන්නේද යන්න පිළිබඳවද දැන සිටිය යුතු වේ. දොරක හෝ ජනේලයක ඇති රාමුව හඳුනාගත යුත්තේ කෙසේද යන්නද මෙහිදී සියුම්ව සැලකිල්ලට ගත යුත්තේ විවිධ ද්‍රව්‍යවලින් තැනෙන උළුවසු අද භාවිතයේ ඇති බැවිනි.

මෙහිදී දොරක හෝ ජනේලයක උළුවස්සක් ලෙස සැලකීමට නම් එය බිත්තිය තනා ඇති ද්‍රව්‍යයෙන් නොතැනී තිබිය යුතු වේ. බිත්තිය තනා ඇත්තේ මැටියෙන් හෝ සිමෙන්තියෙන් නම් උළුවස්ස දැව හෝ ප්ලාස්ටික් වැනි වෙනත් ද්‍රව්‍යයකින් තනා ඇත්තේ නම් ඒවා උළුවස්ස ලෙස නිශ්චිතව කිව හැකියි. නොඑසේම අද බොහෝ ශිල්පීන් “දැව උළුවසු පමණක් සැලකිය යුතුය” යන නිර්දේශය අතිශයින් දෝෂ සහිත වෙයි. එයට ප්‍රධාන හේතුව වන්නේ ඇමෙරිකාව වැනි රටවල මෙන් දැවයෙන් බිත්ති පවා ඉදිකර ඇති අවස්ථාවේදීත් උළුවස්ස දැවයෙන් කළ විට එයද මෙකී වාස්තුමය වර්ගීකරණයේදී අදාළ කර ගැනීමට සිදුවීමයි. එය නූතන තර්කානුකූල ශක්තිමය විවරණයකින් යුතුව දොර ජනේල වෙන් කර ගැනීම වියවුල් කරනු ලබයි.

කෙසේ වෙතත් දොරකින් ප්‍රධාන වශයෙන් හා ජනේලයකින් අවශේෂ වශයෙන් දුර්වලව ගිය ශක්තීන් මුක්ත වීමක් සිදු කරනු ලබයි. එය සිදු වන්නේ නිවස ඇතුළතට ඉලක්කව සක්‍රියව විනිවිද අන්තරීක්ෂ ශක්ති ප්‍රවාහයෙන් දුර්වල වු කොටසක් පරාවර්තනය වීමත් බිත්ති ඔස්සේ පහළට ගලා ඒමත් සිදුවීමයි. මෙසේ බිත්ති ඔස්සේ පහළට ගලා යන දුර්වල අන්තරීක්ෂ ශක්තීන් විසින් මනුෂ්‍ය ශරීරයට විශේෂයෙන් මනුෂ්‍යයාගේ ශක්ති ශරීරයට (AURA) අහිතකර ස්වභාවයක් ඇති කරයි. එසේ වුවත් නිවැසියනට බිත්ති විනිවිද ඒ මේ අත යා නොහැකි නිසා එකී අහිතකර ශක්තීන්ගේ බලපෑමට මුහුණදීමට සිදු නොවේ. එහිදී මෙකී ශක්තීන් නිවැසියාගේ ශරීර ගත ස්ථානයන් බවට පත් වන්නේ බිත්ති හරහා ගමන් කරන මෙකී දොරවල් හා ජනේල බව දැන් වටහා ගත යුතුව තිබේ.

මෙසේ මුක්ත වන අශුභ ශක්තියේ ප්‍රබලතාව (STRENGTH) අවම කිරීමට පැරැන්නන් යොදා ගත් උපාය වන්නේ උළුවස්සේ ඉහළින් ප්‍රධාන වශයෙන් දෙපසට දිගු වන පරිදි දණ්ඩ යෙදීමයි. එයට උළුවස්සේ දෙකන ලෙස නම් කිරීමක් ද සිදු කෙරේ. මෙසේ යොදන කැන නොමැතිවීම දෝෂයක් ලෙස විශාල සැලකිල්ලක් අදත් දක්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. බිත්තියක මුල්ලකට වන්නට උළුවසු පිහිටුවීම නිර්දේශ නොකරන්නේද මෙකී කන කුඩා කිරීමට හෝ ඉවත් කිරීමට සිදුවන බැවිනි.

වර්තමානයේ අඳින බොහෝ සැලසුම්වල මේ දෝෂය සද්භාවයෙන් යෙදී ඇති බව පෙනේ. දොරක් විවෘත කිරීම සඳහා පොළොවෙන් විශාල ඉඩක් වැය වීම එය බිත්ති මධ්‍යයක පිහිටුවීමේදී සිදුවේ. (අංශක 180ක් පමණම දොර පියන චලනය කිරීමට සිදුවීමෙන් වන මෙකී බිත්ති මැදකට දොර පිහිටුවීම අද නොකරන තරම් බවද කිය යුතුයි. එහෙත් වාස්තු ශාස්ත්‍රය පිළිබඳව සැලකිල්ලක් ඇති නිවැසියන් මෙන්ම ශිල්පීන්ද අඩු තරමෙන් අඩියක් පමණ වත් ඉඩක් බිත්ති මුල්ලක සිට තබා උළුවස්ස පිහිටුවීම අදත් සිදු කරනු ලබයි. එවිට පෙර කී ප්‍රමාණවත් කනක් උළුවස්සෙහි නොතිබීමේ දෝෂය ඇති නොවේ. එසේ වුවත් මේ දෝෂ තත්ත්වය වඩාත් උග්‍ර කරමින් මහල් නිවාස ඉදිකිරීමේදී යොදා ගන්නා කොන්ක්‍රීට් කණුවලට හේත්තු වන පරිදි උළුවහු කන සපුරා කපා දමන අවස්ථාද දක්නට ලැබීමද ගැටලුවකි.

කෙසේ වුවත් උළුවස්සක් අප භාවිත කරනු ලබන්නේ එයින් ඉවතට හෝ ඇතුළතට යෑමට මිස එතැන රැඳී සිටීම සඳහා නොවේ. එබැවින් මේ දෝෂය අද බහුලව පැවතුණද එතරම් විශාල බලපෑමක් සිදු නොකරන බවද සැලකිය යුතුයි. පැරැන්නන් විසින් උළුවස්සසක් ඇතුළත රැඳී සිටීම අසභ්‍ය ලෙස බැණ වැදීමකට නිමිත්තක් සපයන බවද අපට මෙහිදී සිහිපත් වේ. බොහෝ විට උළුවස්සට බර යොදමින් ප්‍රධාන දොරෙන් ඈත බලා සිටින කාන්තාවනට පැරැන්නන් “කනවැන්දුම් වෙලා දැයි’ අවඥාවෙන් විමසන අයුරුද අපි දැක ඇත්තෙමු. එයින් නව පුරුෂයකු එන තුරු ඉන්නේ දැයි යන්නක් ද අදහස් වේ. මෙහිදී විවිධ අසැබි යෙදුම් ද එක් වන බැවින් එවැනි බැණ වැදීමකින් මතු එසේ රැඳීම තබා උළුවස්ස ඇල්ලීමට පවා පැරණි කතුන් නොපෙලඹෙන බව අපගේ අත්දැකීමයි.

එසේ වුවත් අද වන විට මෙකී දෝෂය මූලික දෝෂ අතරට ගෙන නොසලකන්නේ උළුවස්සේ රැඳී සිටීමේදී මිස එයින් අශුභ බලපෑමක් ඇති නොවන බැවිනි. එසේම අවධාරණය කළ යුතු අනෙක් කරුණ නම් දොරවල් ඔත්තේ සංඛ්‍යාවක් (දෙකෙන් බෙදූවිට එකක් ඉතිරි වන 3,5,7 ආදී) හා ජනේල ඉරට්ටේ (2,4,6,8 ආදී) සංඛ්‍යාවක් යෙදීම අනිවාර්ය කොට අනවශ්‍ය අවධානයක් ලබා දීම අවශ්‍ය නොවන බවයි. නව ඉදිකිරීමකදී මේ සම්ප්‍රදාය රැකීම යහපත් වුවත් එසේ මේවා යෙදී ඇති විට කඩා වෙනස් කිරීම නොකළ යුත්තක් බවත් මෙහිදී සැලකිය යුතු වෙයි.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.