ජුනි 04 ජුනි 10 දක්වා

ජුනි 4, 2021

මේෂ - මුදල් ගනුදෙනුවක්

පවුලේ වැඩි වගකීම් ප්‍රමාණයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. නිතර වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ඥාතියකු සමඟ මුදල් ගනුදෙනුවකට මඟ සැලසේ. සති අන්තයේ දී පවුලේ කෙනකු සමඟ සිදුවන බහින් බස්වීමක් දුරදිගග යන ලකුණු පෙනේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි.

අය 07 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ - විශ්වාසය බිඳවැටීමක්

ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩි කරන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 8, 9, 10 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අත මිට මුදල් ගැවසුනත් වැයපස අධිකවන කාලයකි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. වෙනදාට වඩා පිනට දහමට ලැදිවී කටයුතු කරයි. ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයකි. මවගේ හදිසි අසනීප තත්ත්වයකට රෝහල් ගතවීමක් සිදුකරයි. රැකියාවේ කටයුතු නිසා වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විශ්වාසය බිඳ වැටීමකට ඉඩ ඇති කාලයකි.

අය 06 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු -තීරණයක් සාර්ථකයි

මෙතෙක් නිරාකරණය නොවූ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. දුර ගමන් යෙදෙන කාලයක් වුවත් ඒ පිළිබඳ තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. අන් අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති සතියකි. අමතර මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම පරම්පරාගත දේපලක් සම්බන්ධ තීරණ ගැනීමේ දී දුර දිග සිතා බලන්න. පෙම් සබඳතාවයක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. ප්‍රමාද වූ තීරණයක් සාර්ථක වන ලකුණු පෙනේ.

අය 07 වැය 05

ජය අංකය 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ - මුදල්හිමිකමක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 11, 12, 1 යන භාවස්ථානවල සිදුවෙයි. හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ කලබලකාරී බවක් ඇති කරයි. තැන තැන ඇවිදිලි ඇති කරවන සතියකි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ඉඩම් ගනුදෙනුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. සතිය මැද කාලය වන විට තමාට හිමි වූ මුදල් ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. එහෙත් මානසික අසහනකාරී බවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. දරුවකුගේ කටයුතු නිසා ශාරීරික වෙහෙසීම් වැඩි කරයි.

අය 08 වැය 04

ජය අංකය 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා - දේපල හිමිකමක්

අවිවේකී ලෙස සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානව ගමන් කරයි. හදිසි විදෙස්ගතවීමකට මඟ සැලසෙන කාලයකි. දරුවකුªගේ නොසන්සුන්කාරී ගතිපැවැතුම් තමාට පීඩාකාරී බවක් ඇති කරයි. අඹු සැමි මත ගැටුම් ඇති කරන කාලයකි. නිවාස දේපල ඉඩකඩම් පිළිබඳ හිමිකමක් ඇති කරයි. පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් කටයුතු කීපයක වෙනස්කම් රැසක් සිදුකරයි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු කාලයකි.

අය 06 වැය 04

ජය අංකය 02

ජය වර්ණය - ලා දම්

සුබ දවස - සඳුදා

 

මකර - හිතවත්කම්අලුත් කරයි

හදිසි තීරණයක් හේතුවෙන් ගැටලු කීපයක් පැන නැගෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න. වෙහෙස ඇති ගමනක් යෙදෙන කාලයකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පැරණි හිතවත්කමක් අලුත් වන ලකුණු පෙන්නුම් කරයි. දේපල ගනුදෙනුවක් විසඳා ගැනීමට මග සැලසේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. අඹු සැමි මතභේදයකට කරුණු සැලසෙන කාලයකි.

අය 07 වැය 04

ජය අංකය 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන - වංචා ප්‍රයෝගයකට හසු වේ.

කලබලකාරී ගතිපැවැතුම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති කරන කාලයකි. එහෙත් වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. හදිසි හිතවතකුගේ හමුවීමක් සිදුකරයි. වාහනයන් මිලදී ගැනීමේ පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන සතියකි. සති අන්තය වන විට දී නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් කල් දමයි.

අය 07 වැය 04

ජය අංකය 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

තුලා අන්සතු වස්තු ලාබයක්

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. අන්සතු වස්තු ලාබයකට හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව අඩුවන බවක් පෙනේ. දරුලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් විය යුතු බවක් පෙනේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට වැඩිහිටි සහන පතමි. සති අන්තයේ දී හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් තමා නොසිතූ ගැටලුවකට හේතු වේ. විදෙස් උපකාරවලට හිමිකම් ඇති කාලයකි.

අය 06 වැය 03

ජය අංකය 06

ජය වර්ණය - රෝස

සුබ දවස - ඉරිදා

 

කුම්භ - ප්‍රභූ ඇසුරක්

යොදා ගත් සැලසුමක් අතර මඟ නවතා දැමීමට කටයුතු සැලසෙති. සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කරුණු සැලසෙන සතියකි. එමෙන්ම පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවේ. පෙම් සබඳතාවයකට මව්පිය ආශිර්වාද හිමිවන ලකුණු පෙන්නුම් කරයි. ඥාතියෙකුගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයකි. ප්‍රභූ පක්ෂය හා ඇසුරට අවස්ථාව සැලසෙන අතර නිතර සමාජ සේවා කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරන බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කටක -සෙම් රෝග

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. එහෙත් වෙනදාට වඩා කේන්ති ඇති කරන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී පරිස්සම් වන්න. ළඟම හිතවතකු සමඟ ඇති වී තිබූ මතභේදකාරී බවක් මඟහැරී යයි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා වැය පස අධික කරන කාලයකි.

අය 07 වැය 04

ජය අංකය 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘශ්චික - වැයපස අධිකයි.

අවිවේකී ලෙස සතිය උදාකරන මේ සතියේ සඳුගේ ගමන 5, 6, 7 යන භාවස්ථානවල සිදුවනු ලබයි. විශ්වාසවන්ත හිතවතකුගේ හැරයාමක් සිදුකරයි. දකුණු පාදයේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම ලේ විෂ වීමක් හෝ ශරීරයේ තුවාල ලප කැළැල් ඇතිවිය හැකි කාලයකි. මුදල් ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැය පස අධිකවීමට ඉඩ ඇත. දේපල සම්බන්ධව තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත.

අය 07 වැය 05

ජය අංකය 02

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන - අධ්‍යාපනික ජයග්‍රහණයක්

අලුත් ලැබීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් සැලසුම් කීපයකට අත ගැසීමට සිදුවන සතියකි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලට සම්බන්ධවීමේ දී දුරදිග සිතා බලන්න. මුත්‍රා ආසාදනයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. මේ දිනවල ජලාශ්‍රිත කටයුතුවලදී පරිස්සම් වීම වැදගත් වේ. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 වැය 05

ජය අංකය 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.