මැයි 10 සිට 16 දක්වා සතිය ඔබේ ලග්නයට...

මැයි 10, 2024

 

මේෂ

අලුත් ව්‍යාපාරයකට සැලසුමක්

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් සහිත සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තක් ඇරැඹීමට සැලසුමක් ඇති කර ගනී. නිතර සැපසම්පත් ලබා ගැනීමට වෙහෙසෙන බවක් පෙනේ. කෞතුක බඩුබාහිරාදිය මිලදී ගැනීමට ඉතා ළැදිකමක් දක්වයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. එමෙන්ම අතමිට සරුකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම ප්‍රමාද වූ අධ්‍යාපන කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. විදෙස් අධ්‍යාපනයකට ද සුදුසුකම් ලබන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන රත්පිත් රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙන්නුම් කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

අය 07 වැය 03

ජය අංකය – 09

ජය වර්ණය - නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

වෘෂභ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරක්

විශේෂ වාසි කීපයක් සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා දුර දිග බලා තීරණ ගැනීම යහපත් වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට අත ගසන කාලයක් වන අතර ඒවායින් වාසි කීපයක් සැලසෙන බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති නොසන්සුන්කාරි බව මගහැරී යන බවක් පෙන්නුම් කරයි. තනතුරු ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදේ. අලුත් ව්‍යාපාර සැලසුමකට අත ගැසීමට මඟ සැලසේ.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. අධ්‍යාපනික ගැටලු කීපයක් විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. වෙනදාට වඩා අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. ලේ විෂවීමේ රෝගී තත්ත්වයකින් පීඩා අත්කරන බවක් පෙනේ. එදිනෙදා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත්වන්න.

අය 06 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

මිථුන

පවුලේ දානමය කටයුත්තක්

උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා දුර ගමන් යෙදෙන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. සුළු සුළු ලාබ ලැබෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. හදිසි ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව සැලසේ. එහෙත් රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරි වන්න.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර ඒවායින් විශේෂ ජයග්‍රහණ හිමිකරන බවක් ද පෙන්නුම් කරයි. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි.

සෞඛ්‍යය

හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. එමෙන්ම කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

අය 06 වැය 06

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කටක

ගනුදෙනුවලින් වාසි

මෙතෙක් පැවැති වෙහෙසකාරි බව මගහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි දේපළ ගනුදෙනුවකින් වාසි අත්කරයි. පවුලේ කෙනකුගේ අසනීපයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණූ කීපයක් සිදු කරයි. පවුලේ පැවැති අර්බුදකාරි බවක් මගහැරී යන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. හදිසි ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. ආයතන ප්‍රධානීන් සමඟ ගැටලුකාරී බවක් ඇතිකර ගනී. උගත්කමට සරිලන රැකියා මාර්ග හිමිකරන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට විවිධ බාධා පැන නැගෙන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගෙන කටයුතු සිදු කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පතයි.

 

අය 06 වැය 03

ජය අංකය – 02

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

 

සිංහ

අවිවාහකයන්ට මංගල යෝග

අවිවේකී වූවත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දුරගමනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. එමෙන්ම අසල්වැසි මතභේදයකට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට නීති පිහිට පැතීමට සිදුවෙයි. ගෘහ ජීවිතයේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු ඉතා සැහැල්ලුවෙන් කරගෙන යන සතියකි. ඒ සඳහා විශේෂ පහසුකම් කීපයක්ද හිමි වීමට ඉඩ ඇති බවක් පෙනේ. සෞන්දර්යාත්මක මෙන්ම රූපලාවණ්‍ය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති නොසන්සුන්කාරි බව මගහැරී යයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වයක් ගැනීමට අවස්ථාව උදාවෙයි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස ගෙන දෙන කාලයකි. උදරගත ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි.

අය 05 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

කන්‍යා

අධ්‍යාපනික ජයග්‍රහණ

පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. නිතර දරුවකුගේ කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන කාලයකි. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයකට සහභාගි වීමට අවස්ථාව සැලසෙන සතියකි. අවිවාහකයන්ට සුබදායක කාලයකි.

රැකියාව

රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදු වේ. එමෙන්ම වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් හදිසි ලාබ හිමිකරන කාලයකි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. විශේෂ අධ්‍යාපනය ජයග්‍රහණයකට හේතු ඇති කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි.

සෞඛ්‍යය

පැවැති ශාරීරික අපහසුතා කීපයක් මගහැරී යයි. හදිසි අක්ෂි පරීක්ෂාවකට ලක්වීමට සිදුවන සතියකි.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා

 

තුලා

රැකියාවේ වරප්‍රසාද

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දේපළ ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදු වෙයි. වෙනදාට වඩා පිනට දහමට ලැදි කාලයකි.

රැකියාව

රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට සිදු වෙයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා කටයුතුවලට හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

විශේෂ අධ්‍යාපන චාරිකාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. උසස් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි.

සෞඛ්‍යය

වරින් වර හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන සතියකි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න. හදිසි වැටීම් තැලීම් වැනි සුළු සුළු අනතුරුවලට ලක්වීමට ඉඩ ඇති සතියකි.

 

අය 07 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

වෘශ්චික

උත්සව අවස්ථාවක්

අවිවේකී වූවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් සහිත දිනයකි. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මග සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගි වීමට අවස්ථාව සැලසේ. අසල්වැසි සුහදතාවයට කරුණු ඇතිකරන සතියකි.

රැකියාව

රැකියාවේ විවිධ වරප්‍රසාදවලට හේතු ඇති කරයි. මෙතෙක් විවිධ බලපෑම් ඔස්සේ කරගෙන ගිය රැකියාවේ කටයුතු සිතේ සැනසිල්ලේ කරගෙන යෑමට හැකිවන කාලයකි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. නිතර ගුරු දෙගුරුන්ගේ දෝෂ දර්ශනයකට ලක්වන කාලයකි. ගණිත අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණවලට හේතු ඇතිකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවන් පෙනේ.

අය 07 වැය 04

ජය අංකය – 03

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

ධනු

දරුවකුගේ ගැටලුවක් විසඳේ

සහෝදර මතභේදයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන සතියකි. මෙතෙක් පැවැති දරුවකුගේ ගැටලුවක් විසඳී යයි. අමතර ලැබීම් සතිය කාලයකි. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවලින් විශේෂ වාසි සැලසෙන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරන සතියකි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක පුවතක් අසන්න ලැබේ.

සෞඛ්‍යය

පැවැති අසනීපකාරි බව මඟහැරී යන බවක් පෙනේ. එහෙත් ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න. මෙතෙක් ගත් ඖෂධ මාත්‍රාවක් වෙනස් කිරීමට සිදු වෙන කාලයකි.

 

අය 06 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

 

මකර

දුර බැහැර ගමනක්

ගතට සිතට වෙහෙසකාරි බවක් ඇති කරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියකි. හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු කීපයක් සිදු කරයි. මවගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. දුර බැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු වෙනදාට වඩා සතුටුදායක අන්දමින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම කලා ක්ෂේත්‍රයේ රැකියා ලාබ පෙන්නුම් කරන කාලයකි. හදිසි තනතුරු ලාබයකට ද ඉඩකඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන බවක් පෙනේ. තරග විභාගවලට සම්බන්ධවීමෙන් සහතික සම්මාන හිමි කරයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම් ආදියට ඉඩකඩ ඇති සතියකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද සම්බන්ධවීමට සිදු වෙයි.

 

අය 06 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

කුම්භ

අතමිට සරු කරයි

අමතර සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ලැබීම් අතින් යහපත් සතියකි. නිතර පවුලේ සතුට සැනසීමට හේතු ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් සැලසුමක් සකස් කර ගනී. පැරැණි හිතවත්කමක් අලුත් කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

අලුත් පොත්පත් මිලදි ගැනීමක් වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදු වෙයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන සතියකි. විදෙස් ගත අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇතිකරන සෙම් ආමරුවක් , උගුර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. ඖෂධ පාවිච්චියේදි සැලකිලිමත් විය යුතු කාලයකි.

 

අය 08 වැය 06

ජය අංකය – 07

ජය වර්ණය – රතු

සුබ දවස – බදාදා

 

මීන

අලුත් හිතවත්කම් ඇති කරයි

 

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට උත්සාහ දරන සතියකි. නිතර දරුවකුගේ කටයුතු වෙනුවෙන් මෙන්ම දේපළ ගනුදෙනුවක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුරපළාතකට යාමට සිදු වන බවක් පෙනේ. තනතුරු වෙනසක් සිදු විය හැකි සතියකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා වෙහෙසකාරි ලෙස අධ්‍යාපනය කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. පාඩම් වැඩකටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යාමට වෙහෙසක් දරන බවක් පෙනේ. අලුත් විෂය ධාරාවක් ඉගෙනීමට සැලසුමක් සකස් කර ගනී.

සෞඛ්‍යය

වරින්වර ඇතිකරන උදරගත හෝ මූත්‍රා අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. එමෙන්ම පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.