වන දද කුෂ්ඨ සුව කරන කොණ්ඩදෙණියේ රහස් තෙල

ජුනි 21, 2024

හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ පන්සලේ නායක සීලරතන හිමියන් බෝමළුව ඇමැද බුද්ධ මන්දිරයේ සහ දේවමන්දිරයේ උදෑසන වත්පිළිවෙත් කොට පහන්සිළු දැල්වූවා පමණි.

කිරිසුදු වෑන් රථයක් කොණ්ඩදෙණිය පන්සලට පැමිණ බොහෝ අමාරු ලෙඩකු වත්තම් කරගෙන වෑන්රථයෙන් බැස්සවීමට උත්සාහ කරනු නායක හිමිපාණන්ට පෙනිණ.

“ඩිංගිරි බණ්ඩෝ” හුඟක් අමාරු ලෙඩෙක් වගේ අර එන පිරිසට උදව් කරන්න. හිමි අණ එලෙසම ක්‍රියාත්මක විය. බොහෝම අමාරු ලෙඩක් නිසාවෙන් පන්සල මැද එළන ලද පැදුරක තැන්පත් කෙරිණ.

“අවසරයි අපෙ නායක හාමුදුරුවනේ

අපි කුරුණෑගල වෑඋඩ ඉඳලයි ආවේ”

“මේ ලෙඩාට මොනවාද වෙලා තියෙන්නේ”

“මේ ඉන්නෙ අපේ ගෙදර උන්දෑ හාමුදුරුවනේ

මුලදී ඇඟේ කුඩාවට තැනින් තැන දද කුෂ්ට හැදුණා, පස්සෙ, පස්සේ ඒවා බිබිලි බවට පත්වෙලා ඇඟ පුරාම පැතිරුණානේ, ඊටත් පස්සේ ඒවා ලොකු වෙලා වණ තුවාල බවට පත්වෙලා සැරව ගලන්නත් පටන් ගත්තා. දන්න හැමතැනකින්ම පාහේ වෙදකම් කළා. ඒ කිසිවකින් ගොඩදාගන්න බැරි වුණා නොවැ. මට හරි දුකයි හාමුදුරුවනේ, හැම තිස්සේම මුළු ඇඟම කකියනවා කියලා කෙඳිරි ගාමින් ඉන්නේ. දන්න අඳුනන තැන්වලින් සෙත්ශාන්ති ගුරුකම් කළා. ඒ කිසිවක් හරි ගියේ නැහැ හාමුදුරුවනේ. දැන් කකුල් දෙකත් අත්දෙකත් ඉදිමිලා. තුවාලවලින් ගඳකුත් හමනවා හාමුදුරුවනේ. මෙයා රජයේ රෝහලකත්, ආයුර්වේදයේ රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ගත්තත් වැඩක් වුණේ නැහැ. බැරිම තැන තමයි ඔබ වහන්සේගේ පන්සලට ආවේ.”

“ඩිංගිරි බණ්ඩෝ... මේ ඇත්තන් එක්කගෙන ඔය ලෙඩා ආවාස ගේ පිටුපස ඇති ළිඳ ළඟට අරගෙන ගිහින් හොඳට නාවලා පිරිසුදු කරල ගේන්න. මම අලුත් තුවායක් එක්ක ඇඳුම් ටිකක් දෙන්නම් ඒවා අන්දලාම අරන් එන්න” හිමි අණ වහාම ක්‍රියාත්මක විය. ලෙඩාගේ තත්ත්වය බැරෑරුම් අඩියක පවතින බව හිමියන්ට වැටහිණ.

වහා ක්‍රියාත්මක වූ හිමියන් දේව මන්දිරයට පිවිස සිංහ තෙල් බඳුනට බලගතු මන්ත්‍රයක් ජපකොට ඉන් තෙල් බිඳක් පුළුන් රොදක තවරා ලෙඩාගේ නලලේ පිරිමදිමින් තවත් බලගතු මන්ත්‍රයකින් ජීවම් කරන්නට වූහ. එසේම එම ජීවම් කළ පිරිත් නූල ලෙඩාගේ කරට දමා දකුණතේ ද ගැට ගසා ආශිර්වාද කරන්නට වූහ. මෙතෙක් කෙඳිරිගාමින් සිටි මනුෂ්‍යයාට සුවපහසුව නින්ද යන්නට විය. ලෙඩාව නින්දෙන්ම ඔසවාගෙන වාහනයට ගොඩකරන්නට ඩිංගිරි බණ්ඩා ද උදව් කළේය.

“දැන් මගේ වැඩ අහවරයි” තව සතියක් දෙකක් යනකොට ලෙඩාට නිට්ටාවටම සනීප වෙයි.

ආහ්............මට අමතක වුණා. මේ තෙල් බෝතලය ගන්න, ඒක අවසන් වන තෙක් ඔය තුවාලවල පරිස්සමින් තවරල හොඳින් ඇප උපස්ථාන කරන්න.”

ගතවූයේ හරියටම සති දෙකක් පමණි. එදා වාරුවෙන් පැමිණි ලෙඩා නිට්ටාවට සුව වී සිය සැමියා සමඟ කොණ්ඩදෙණිය පන්සලට පැමිණ නාහිමි මුණගැසී පිං පෙත් පමුණුවන්නට වූවාය.

“අපේ නායක හාමුදුරුවනේ, මට පරම්පරාවෙන්, උරුම වූ පත්තිණි මෑණියන්ගේ වටිනා පිළිමයක් තියෙනවා. ඒක ඔබ වහන්සේට පරිත්‍යාග කරනවා.”

නායක හිමියන්ද එම ප්‍රතිමාව පිළිගෙන දේව මන්දිරයේ තැන්පත් කරන්නට කටයුතු කළහ. අද ද එම අගනා පිළිමය සුරක්ෂිතව දේව මන්දිරයේ දක්නට ලැබේ.

වත්මන් කොණ්ඩදෙණියේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියන් මුණගැසීමට ඇඹිලිපිටියේ සිට වයසක අම්මා කෙනෙක් පැමිණියාය.

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ. මගේ වැඩිමහල් පුතා හමුදාවේ සේවය කරල මෑතකදී විශ්‍රාම ගිහින් ගෙදර ආවේ. ඒ පුතා තමයි ගෙදර හැමදේටම උදව් පදව් කරගෙන හිටියේ. හිටිහැටියේම ඒ දරුවගේ ඇඟ පුරා කුෂ්ඨයක් හැදුණනේ. ඊට පස්සේ වැඩිකලක් ගතවුණේ නැහැ පුංචි බිබිලි ඇඟ පුරා දැම්මා. පස්සේ ඒවා ලොකු වෙලා පුපුරලා වණ තුවාල බවට පත්වෙලා සැරවත් එනවා...”

“ඉතින් අසනීප වුණු පුතාව එක්කගෙන නාවේ ඇයි?”

“අපොයි හාමුදුරුවනේ එයාට මෙච්චර දුර එන්න තරම් ශක්තියක් නැහැ” කඳුළු පිරි නෙතින් යුතුව රෝගියාගේ මව පැවසුවාය.

“කාරි නැහැ මම බලගතු මන්ත්‍රයක් ජීවම් කරල පිරිත් නූල් තුනක් දෙන්නම් කෝ.”

“අනේ අපේ හාමුදුරුවනේ මම පුතා වෙනුවෙන් නොකළ වෙදකමක් නැතිතරම්. කොළඹත් එක්ක ගෙන ගිහින් චර්ම රෝග විශේෂඥ දොස්තර මහත්වරුන්ටත්, පෙන්නුවා. ඒ කිසි ප්‍රතිකාරයක් වැඩක් වුණේ නැහැ හාමුදුරුවනේ. ආයුර්වේද බෙහෙතුත් කළා. මේ දවස්වල “සුබසෙත’ පත්තරේ යන ‘කොණ්ඩදෙණිය හාස්කම්’ ලිපිය දැකලයි ඔබ වහන්සේ මුණගැසෙන්න ඇඹිලිපිටියෙ ඉඳලම ආවේ.”

අනුරුද්ධ නායක හිමියන් ඒ උපාසක අම්මාට බලගතු මන්ත්‍රයෙන් ජීවම් කළ පිරිත් නූල් ලබාදුන් සේක. “මේ තෙල් තුවාලවල සෙමින් තවරන්න. පිරිත් නූල්වලින් එකක් පුතාව සම්පූර්ණයෙන් නාලා පිරිසුදු කරල කරට දාන්න. අනික දකුණු අතේ බඳින්න. ඉතිරි පිරිත් නූල ඇඳේ මෙට්ටයට යට කරන්න” අනුරුද්ධ හිමියන්ගෙ දෙපා නමස්කාර කළ ඇය කොණ්ඩදෙණිය පන්සලෙන් සමුගත්තේ මහත් බලාපොරොත්තු ඇතිවය.

ගතවූයේ සති දෙකක් තරම් කෙටි කාලයකි. හමුදාවෙන් විශ්‍රාම ගිය මේ රණවිරුවා කොණ්ඩදෙණිය පන්සලට තම මෑණියන් සමඟ පැමිණ අනුරුද්ධ හිමියන්ට නොසෑහෙන්නට ස්තූති කර පින්දී තිබිණි. අසාධ්‍ය ලෙඩකුට ජීවිත දානය ලබාදුන් වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති අනුරුද්ධ හිමියන්ටත් එම පණිවිඩය ලබාදුන් ලේක්හවුස් ආයතනයටත් “සුබසෙත” පුවත්පටත් එහිදී ප්‍රශංසා හිමිවිය.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.