ගිනි අනතුරු දෙන ග්‍රහයෝ

සැප්තැම්බර් 1, 2023

කෙනකුගේ මරණය ගැන කියැවෙන්නේ කේන්ද්‍රයේ අටවැනි භාවයෙනි. එය කුමන ආකාරයකින් සිදුවේ ද යන්න තීරණය වන්නේ අටවැනි කොටුවේ සිටින ග්‍රහයන් හා ඊට බලපාන ග්‍රහ බලපෑම් අනුව බව ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි.

යම් අයකුගේ කේන්ද්‍රයක අටවැන්නේ රවි ග්‍රහයා සිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ මරණය ගින්නෙන් සිදුවන බව කියැවේ. එහෙත් එය මේෂ ආදී ලග්න වශයෙන් ගැනීමේ දී එය රාශිය අනුව තීරණය වෙයි. මේෂයෙන් උපන් අයකුගේ අටවැන්න වෘශ්චික ලග්නයයි. එය කුජට අයත් වෙයි. කුජ හිමි වෘශ්චික රාශියේ රවි සිටීමෙන් තමන්ගේ නෑදෑයන් හා සමඟ අඬදබර කිරීමෙන් ඔවුන් විසින් කරන ලද ගිනි තබා ගැනීමකින් මරණය සිදුවිය හැකිය. අනෙකුත් ග්‍රහ බලපෑම් මත එය එළිවීමට හෝ එසේ නොමැතිව එය සදාකාලිකවම රහසක් හෝ වීමට පුළුවන.

වෘෂභ ලග්නයෙන් ඉපදුණ අයකුගේ අටවැන්න ධනු රාශියයි. ධනු රාශිය හිමිවන්නේ ගුරුටය. රවි, ධනු රාශියේ සිටි පමණින්ම ගින්නෙන් හානි නොවේ. ගින්නෙන් විනාශ වන බැව් පැරණි පොත්වල සඳහන් වූවත් සමහර අවස්ථාවල එවැනි දේවලින් ගැලවෙන අවස්ථාද ඇත. ඒ රවි, ධනු රාශියේ සිටින හේතුවෙනි. ඵලය වන්නේ කීපවතාවක්ම ගිනි තබා ගැනීමයි. තමන් විසින් තමා ගිනි තබා ගත්තත් මරණය සිදු නොවේ. ගැලවීමට කටයුතු සැලසේ.

වෘෂභයෙන් ඉපදී රවි අටේ සිටියේ නම් ඔහු හෝ ඇය විනාශ වන්නේ නැතිනම් මරණය සිදු වන්නේ පිපිරීම් වැනි දෙයකිනි. බෝම්බ පිපිරීම් නිසා ගින්නෙන් හානිවන බව කීවට ගිනිකූරකින්ද නැතිනම් වෙනත් ගින්නකින්ද යන්න සොයා බැලීම ග්‍රහචාරය අනුව දූරදර්ශීව විමසිය යුත්තකි.

මිථුන ලග්නයෙන් උපත ලැබූ අයගේ රවි අටේ සිටීම ගින්නෙන් මරණයට හේතුවේ. අටවැන්න ශනි හිමි මකර රාශියයි. එවැනි අය බොහෝවිට දරුමල්ලන්ගේ හෝ තමන්ගේ සහකාරියගේ කරදර බාධක සිත්තැවුල් නිසා කැලෑවක් වැනි තැනකට ගොස් රහසිගතව තමන් විසින් තමන්ටම ගිනි තබාගෙන මරණයට පත්වීමට බොහෝවිට ඉඩ ඇත. එහෙත් මරණය ගින්නෙන් සිදු වූවාට මරණය ග්‍රහබල මත ඇති කරගත්තේ තමාමය. හේතු වූයේ තමන්ගේ පවුලේ අයමය.

කටක රාශියෙන් ඉපදීමේ දී අටවැන්න ශනි හිමි කුම්භයයි. මෙවැනි අය මරණයට පත්වන්නේ ද සාහසිකයකුගේ වෙඩි පහරිනි. සිංහ රාශියෙන් ඉපදුණ අයකුගේ අටවැන්න මීනයයි. මීන රාශිය අයත් වන්නේ ගුරුටය. මෙවැනි අය ජීවත්වීමට මාර්ගයක් නොමැතිවීම නිසා බොහෝවිට මරණයට පත්වේ. මරණය සිදු වන්නේ ගිනි තබාගෙනයි. එහෙත් තමා පදිංචි ස්ථානයකම කාමරයක දොරගුළුලා ගිනි තබාගෙන විනාශවනු ඇත. එසේම තමා ගිනි තබා ගන්නට හේතු වූ කරුණු කලින් ලියා තැබීම ඔවුන්ගේ සිරිතකි.

කන්‍යා රාශියෙන් ඉපදුණ අයකුගේ අටවැන්න මේෂ රාශියයි. කුජ හිමි මේෂ රාශියේ (අටේ) රවි සිටීමෙන් ගින්නෙන් විනාශ වන්නේ තමන්ගේ අසල්වැසියන් සමඟ හෝ වෛර කර ගැනීමෙනි. පසුව එය දුරදිග යෑමෙන් ඇසිඩ් වැනි පිළිස්සෙන දෙයක් දමා ගැනීමෙන් මරණය සිදු වන්නේ පිළිස්සීමකිනි.

තුලා රාශියෙන් ඉපදුණ අයකුගේ අටවැන්න වෘෂභයයි. වෘෂභය අයත් වනුයේ සිකුරුට ය. එහිදී රවි අටේ (වෘෂභයේ) සිටීමෙන් මරණය සිදු වන්නේ බොහෝ කලක් ආශ්‍රය කළ පෙම්වතකු හෝ පෙම්වතියක් ලබා ගැනීමට නොහැකිව සමාජයෙන් පැමිණෙන නින්දා අපකීර්තිය දරා ගැනීමට නොහැකිව තමන් විසින්ම භූමිතෙල්, පෙට්‍රල් වැනි දෙයක් ඉස ගැනීමෙන් ගිනි තබා ගැනීමෙනි.

වෘශ්චිකයෙන් ඉපදුණ අයගේ අටවැන්න බුධ හිමි මිථුන රාශියයි. මිථුනයේ රවි සිටීම අනුව ඔහු හෝ ඇය වෙඩි තබා ගැනීමෙන් මරණයට පත්වේ. ධනු රාශියෙන් ඉපදුණ අයගේ අටවැන්න සඳු හිමි කටක රාශියයි. කටක රාශියේ රවි සිටීමෙන් තමන් නොදැනුවත්වම කුප්පි ලාම්පුවක්

පෙරළීම හෝ තමාගේ අත්වැරදීමකින් හෝ සතුරකු විසින් කරන ලද වංචා සහගත දෙයකින් හෝ ගිනි තබා ගැනීම නිසා මරණයට පත්වෙයි.

මකර රාශියෙන් උපන් අයගේ අටවැන්න රවි හිමි සිංහයයි. සිංහයේ රවි සිටීමෙන් විදුලිය වැදීම වැනි දෙයකින් මරණය සිදුවන අතර මෙය තමා නොදැනුවත්ව වුවත් වෛරක්කාරයකුගේ පළිගැනීමක් වනු ඇත.

කුම්භ රාශියෙන් ඉපදුණ අයගේ අටවැන්න බුධ හිමි කන්‍යාවයි. රවි අටේ සිටීමෙන් මරණය සිදු වන්නේ විශාල දේපළ අර්බුදයක් මත ඇතිවන රහස් සතුරු කරදරයකින් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමීමෙනි.

මීනය - මීන රාශියේ සිට අටවැන්න තුලාවයි. කිවි හිමි තුලා රාශියයි. තුලා රාශියේ (අට) රවි සිටීමෙන් සිදු වන්නේ පෙම් සටනකි. එය අන් අයට හෙළිවීම නිසා හෝ ස්වාමියාගෙන් බිරිඳට හෝ බිරිඳගෙන් ස්වාමියාට හෝ මරණය සිදුවිය හැකියි.

කිසිම අවස්ථා විශේෂයක් නොමැතිව වුවත් රාහු අඟහරු, සෙනසුරු අටේ සිටියොත් හෝ අමුතු ලෙසකින් මරණයට පත්වෙයි. ආයුධ පහරකින් හෝ හදිසි තුවාලයකින් හෝ විය හැකිය. නැතිනම් අමුතු ආකාරයේ අසනීපයකිනි.

නිද්‍රා අවස්ථාගත වූ හෝ ශයනාවස්ථාන ගතවූ යම් ග්‍රහයකු පාපයන් සමඟ එක්ව අටේ සිටියොත් එකල උපන් අය සතුරන්ගේ කිපීමෙන් ඔවුන් අතින් මරණයට පත්වේ. මෙසේ සිටි ග්‍රහයකු ශුභ ග්‍රහයන් සමඟ හෝ ශුභයන් විසින් දක්නා ලදුව අට අධිපතියාත් සමඟ සිටියොත් ජීවිතයේ අවසාන කාලයේ දී දියේ ගිලී මරණයට පත්විය හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.