උපන් ලග්නය අනුව පැතුම් සඵල කරන දිශා

ජුනි 30, 2023

උමා ජ්‍යොතිෂයෙන්

ධනු, මීන ලග්න හිමි ඔබේ ජයභූමිය දැන ගැනීමට දැන් ඔබට අවස්ථාවයි. එය ඊසාන දිසාවයි. පෙර පවසන ලද න්‍යාය ධර්ම අනුගමනය කොට ඔබගේ දෛනික කටයුතු සඳහා ඒවා භාවිත කළ හැකිවේ. මකර කුම්භ රාශි සඳහා ජය බිම බටහිරයි. බොහෝ දෙනා බටහිරට බිය නමුත් සමහරුනට බටහිර තරම් වාසනාවන්ත භූමියක් තවත් නොමැත්තේම ය.

අපි සැමදෙනා විවිධ අරමුණු අභිමතාර්ථ සාධනය කරගනු පිණිස උත්සාහ කරමින් සිටින්නෙමු. සමහර වෛද්‍යවරුන් මුණගැසීමෙන් පමණක්ම සමහර රෝග සුව වේ. එය වෛද්‍යවරයාගේ අත්ගුණය යැයි කියනු ඔබ අසා ඇතිවාට සැකයක් නැත. සමහර අවස්ථාවල කොතැනට ගියත් සුවයක් නම් නොලැබේ. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ රෝගියාට ප්‍රතිකාර කිරීමේදී රෝගියා දිශා ගත කළ යුතු අන්දම ප්‍රතිකාර කාලය ආදිය සනිටුහන් වී ඇති නමුත් කාර්යබහුල ජීවන රටාව නිසා මේ සියල්ල ජන සමාජයෙන් බැහැර වෙමින් පවතී. මේ සියලු දැනුම ‘ජයභූමිය’ යන සංකල්පය යටතේ විග්‍රහ වේ.

සාමාන්‍ය ඡ්‍යොතිෂය, මහ ඡ්‍යොතිෂය තුළද ‘ජයභූමිය’ ඉගැන් වේ. ඔබ විශ්වාස කළත් නොකළත් ඔබට හිමි ලග්න රාශියක් වේ. ඔබ උපදින කොට නැඟෙනහිර ක්ෂිතිජයේ උදාවෙමින් පැවති තාරකා මණ්ඩලයට අනුව රාශි නාම තීරණය වී මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ සහ මීන යන රාශි දොළොසින් එකක් ඔබේ ලග්නය බවට පත්වේ. මෙය සූක්ෂම නක්ෂත්‍රය නැතහොත් උමා ඡ්‍යොතිෂය සමඟ මුසු වී ඔබේ ලග්නයට හිමි සුබ දිසාවක් ජය දිසාවක් තීරණය කෙරේ. එවැනි ක්‍රම රැසක් උමා ඡ්‍යොතිෂය ඇසුරු කරන සංඛ්‍යා විද්‍යාව ඇසුරෙහිද ස්වර ශාස්ත්‍රය ඇසුරෙහිද ඉගැන්වේ. එසේ ඔබේ ලග්නයට අදාළ ජයභූමිය හඳුනාගත් කල්හි එම දිග බලා කටයුතු කිරීම, එම දිසාවට පිටත්වීම, එම දිසාවේ සිටීම ආදි සියල්ල ස්වකීය ජයග්‍රහණය සඳහා මඟ පවසනු ඇත.

ඔබ මේෂ හෝ වෘශ්චික ලග්න හිමියකු වී නම් ඔබගේ ජයභූමිය දකුණ වනු ඇත. ග්‍රහ අපල බාධක ආදිය ඇතිවිටක බෝධිය, චෛත්‍යය හෝ වන්දනීය ස්ථානයෙහි දකුණු දිසාවෙහි සිට වන්දනා කිරීම විශේෂ වේ. සෙත් කවියක් කියවන විටද එය එසේ කළ හැකිය. එවිට ඔබ මුහුණ උතුරු දෙසට යොමා ඇති බව අවබෝධ විය යුතුය. මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් ඇත. බෝධියක්, චෛත්‍යයක්, ශිව ලිංගයක්, ප්‍රතිමාවක් හෝ වශයෙන් කේන්ද්‍රීය ස්ථානයකදී ඔබ දකුණු දිසාවේ සිට උතුර බලා සෙත්කවි කියැවීම, වන්දනා කිරීම යහපත් ප්‍රතිඵල ගෙනදීමට සමත් වන්නේ නමුදු, කේන්ද්‍රීය ස්ථානයකින් බැහැරව ඔබ කටයුතු කරන විට දකුණු දිශාව බැලීමම ඔබේ ජයට හේතුවනු ඇත. බුද්ධිමත්ව නැණැසින් විමසා මෙය තව බොහෝ කාර්යයන් සඳහා භාවිත කළ හැකිවේ.

වෘෂභ හෝ තුලා රාශි ඔබේ ලග්නය බවට පත්ව ඇත්නම් ඔබේ ජයභූමිය ගිනිකොන දිග රැඳෙනු ඇත. ඔබට අපල උපද්‍රව ඇතිවිටක බෝධියෙහි, චෛත්‍යයෙහි හෝ දෙවොලෙහි ගිනිකොන දිග සිට වයඹ බලා වන්දනා කළ හැකිය. කන්නලව් කළ හැකිය. නිවසේ සිට ඔබ ඔබේ ධනාත්මක වැකි ලියන්නේ නම් කියන්නේනම් එය ගිනිකොන බලා සිදු කළ හැකිය.

මිථුන, කන්‍යා රාශීහු ලග්නය බවට පත්වූ ඔබගේ ජයග්‍රාහී භූමිය උතුරට යෙදෙනු ඇත. ඔබේ නිවසට උතුරු දිගින් ඇති දෙවොලක්, විහාරයක්, පල්ලියක් ඔබේ පැතුම් මුදාහැරීමට තෝරාගත හැකිය. කටක රාශිය ලග්නය වූ ඔබට ඒ සඳහා සුදුසුතම දිශාව වනුයේ වයඹයි. පෙර කියන ලද තොරතුරු මැනැවින් අවබෝධකරගෙන කටයුතු කළ හැකිය.

සිංහ රාශිය ලග්නය වූ ඔබගේ ජයභූමිය නැඟෙනහිරට යෙදේ. ඔබ යෝග අභ්‍යාසවල යෙදෙන්නෙක් නම් උදෑසන නැඟෙනහිර බලා එකී අභ්‍යාසයන්හි යෙදීමෙන් ඒවා සමෘද්ධිමත් කරගත හැකිවේ. මේ පිළිබඳ තව රහස් බොහෝය. ඔබ ඔබේ නිවෙසේ ගිනිකොන දිශාවේ සිට නැතහොත් ඔබ යෝගා සිදුකරන ස්ථානයේ ගිනිකොනට බරව නැඟෙනහිර බලා අභ්‍යාස සිදුකිරීම වඩා ප්‍රතිඵල ගෙනේ. මෙහි කී ගිනිකොන දිසාව ඔබට ගැටලුවක් මතු කරන්නට ඉඩ ඇත. එය සඳහන් කරන ලද්දේ මෙම න්‍යායන් වඩ වඩාත් අලංකෘත වන ව්‍යතිරේක පවතින බව පෙන්වා දීමටය.

ධනු, මීන ලග්න හිමි ඔබේ ජයභූමිය දැන ගැනීමට දැන් ඔබට අවස්ථාවයි. එය ඊසාන දිසාවයි. පෙර පවසන ලද න්‍යාය ධර්ම අනුගමනය කොට ඔබගේ දෛනික කටයුතු සඳහා ඒවා භාවිත කළ හැකිවේ. මකර කුම්භ රාශි සඳහා ජය බිම බටහිරයි. බොහෝ දෙනා බටහිරට බිය නමුත් සමහරුනට බටහිර තරම් වාසනාවන්ත භූමියක් තවත් නොමැත්තේම ය. බොහෝ අසනීප සඳහා මුහුදේ ස්නානය යහපත්ය. ආරක්ෂිතව බටහිර මුහුදේ ස්නානය මකර කුම්භ ලග්න හිමියන්ට ඵලදායක වේ.

මෙසේ ඔබට ඔබේ දෛනික අවශ්‍යතා සඳහා ලග්න ජයභූමි සංකල්පය යොදා ගත හැකිය. තවදුරටත් ඔබගේ ප්‍රතිඵල පෝෂණය කරගනු වස් ඊට එකතු කරගත හැකි සරල ප්‍රයෝග කීපයක් ඉදිරිපත් කරන්නෙමු. ‘ප්‍රයෝග‘ යන වදන ඇසූ පමණින් ඔබට “බොරුව“ මතක් වේ නම් ඔබේ මනස නිශේධනාත්මක විය හැකිය. ඖෂධ ප්‍රයෝග යනු උසස් අයුරින් ඖෂධ යෙදීමයි සංකලනයයි. මෙසේ ඔබට නැකැත් ප්‍රයෝග භාවිත කළ හැකි බැව් සිහිපත් කරමි.

මේෂ, වෘශ්චික ලග්න හිමියන්ට රතු මල්, රතු කොඩි, භාවිත කළ හැකිය. වෘෂභ, තුලා ලග්න හිමියන්ට සුදු සුවඳ මල් මෙන්ම සුදු කොඩි උදව් කරගත හැකිවනු ඇත. කොළ පැහැති පුෂ්පයන් අවමය. ඔබට එවැනි අවස්ථාවක කොළ පාට මල් වට්ටියක කහ පාට මල් පූජා කළ හැකිය. මේවා විශේෂ සංයෝජනය, නුවණ ඇත්නම් මේ ලිපියෙහි රහස් බොහොමයක් ඇති බව අවබෝධ වනු ඇත. කටක ලග්න හිමියන්ට සුදු මල් ප්‍රශස්ත වන අතර, දියෙහි පිපෙන මල් විශේෂයි. සිංහ ලග්න හිමි ඔබට රේණු අධික මල් වර්ග භාවිත කළ හැකි අතර, සුදු රන්වන් පාට යෝග්‍ය වේ. ධනු, මීන ලග්න හිමියන් සඳහා කසාවන් පුෂ්ප, කසාවන් කොඩි පූජාකොට පැතුම් පැතීම, වන්දනාව සුදුසු වනු ඇත. අවසාන වශයෙන් මකර සහ කුම්භ හිමි ඔබට ගැළපෙනුයේ නීල වර්ණැති මල් සහ කොඩිය. දැන් ඔබ මල් සහ කොඩිවලින් නැවතිය යුතු නැත. සිහිය මෙහෙයවා වර්ණ දිසා සංයෝජනය භාවිත කළ යුතුය. නිසි කලට, නිසි දිගට, නිසි වර්ණ භාවිත කරමින් යමක් පූජා කළේද එසේ පූජාකොට යමක් ප්‍රාර්ථනය කළේද එය ඉටුවීමේ සම්භාවිතාවිය අධිකය. එය සූක්ෂම වශයෙන් යෙදුණේ නම් ප්‍රතිඵලය 99%ක් විශ්වාස වේ. අජීවි වස්තූන් කෙරෙහිද මෙම දිශා බලය භාවිත කළ හැකි බැව් පැවසිය යුතුය. ජීව අජීව දෙවර්ගයටම ජය භූමිය ක්‍රියාත්මක වන බවය ඉන් අදහස් වනුයේ.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.