සෙනසුරුගේ ඉදිරිය කෙසේ වේද?

නොවැම්බර් 4, 2022

හඳුන්වා දී ඇති බොහෝ කරුණු මත බුද්ධ ධර්මයත්, ඡ්‍යෝතිෂයත් එක් ආකාරයේ ශාස්ත්‍ර ධර්මයන් බව උගත් ඔබ දන්නවා. බුදුදහම හේතුඵල ධර්මයක් වගේම හේතුඵල දර්ශනයක්. සම්මතයක් නැහැ. විශේෂයෙන්ම ඉන් ප්‍රයෝජන ගත හැක්කේ බුද්ධිමත් අයට පමණයි. ඒ වගේම තමයි ඡ්‍යෝතිෂය සම්මතයක් නැහැ. ග්‍රහ පිහිටීම මත නැතහොත් ග්‍රහචාරය මත ප්‍රතිඵල දෙනවා. ක්‍රියාව මත ප්‍රතිඵල නිසැකයි. යහපත් ග්‍රහ පිහිටීමකදී සුබ ප්‍රතිඵලත් අයහපත් ක්‍රියාවන්හිදී අසුබ ප්‍රතිඵලත් ලැබීම ඡ්‍යොතිෂයේ පදනමයි. මේ ග්‍රහයෝ කිව්වේ ග්‍රහ කිරණවලට.

 

ඡ්‍යෝතිෂයේ බොහෝ දෙනා, ඒ කිව්වේ ඡ්‍යෝතිෂය හදාරන හා ඡ්‍යෝතිෂය පරිහරණය කරන දෙපාර්ශ්වයම මේ සෙනසුරාට බයයි. ඒ කරුණු හරි හැටි නොදත් නිසා විය හැකියි. බොහෝ අයට සෙනසුරු කිව්වොත් මතක් වන්නෙ ඒරාෂ්ටක. ඒරාෂ්ටක නපුරු තමයි ඒ විතරක් නොවේ, ඇයි සෙනසුරාගේ නෛසර්ගික හතුරා රවි. මේ රවි තුලා රාශියේදි හෝ තුලා ලග්න හිමියන්ට දසා, මහදසා, අතුරු දසාවලදී මරණය පවා ඇති කරනවා. ඒක නිසා මේ සෙනසුරු ගැන අනවශ්‍ය බයක් ගන්න එපා. ඔය සෑම ග්‍රහයෙක්ම නපුරු වන්න කලින් පූර්ව තත්ත්වයෙදි සලකුණු කරනවා. එතකොට අවශ්‍ය පිළියම් කළාම හරි.

සෙනසුරුගෙන් ගෙනෙන යෝග

ශරීරයේ අංග උපාංගවලින් සෙනසුරුට අයිති යටිබඩ සෙනසුරුගේ ඒරාෂ්ටක මුල් කාලයෙදි යටිබඩින් රෝගය ආරම්භ කරනවා. එනම් සවසට යටිබඩ පිපෙනවා. ඒ කිව්වේ යටිබඩ පුරවා දමනවා. සෝඩා වැනි සරල බීමක් බිව්වාම ඒක ඇරෙනවා. සමහර අය සෝඩා වෙනුවට මත්පැන් පාවිච්චි කරනවා. අද දවසට ඒක සුව වුණත්, හෙටත් ඒ අයුරින්ම සිදුවනවා. හෙටත් අර විදියටම පානය කරනවා. ඔන්න මූලික ලක්ෂණ. මේ ආකාරයට සතියක් විතර යනකොට සෙනසුරු හොඳයි වස්තුව අල්ලනවා කියල තමයි පුරාණ ඡ්‍යොතිෂ පොත්වල සඳහන්. මේ රෝගය නිසා මරණය සිදුවීම නවත්වන්ට බැහැ. මෙසේ වන්නෙ හදිසි රුධිර පීඩනය කියල වෛද්‍යවරු කිව්වට සත්‍යයෙන්ම සිදු වන්නෙ වෙන එකක්.

සෙනසුරු ගැන පුරාණ ඍෂිවරයන් පැරණි පොත්පත්වල සඳහන් කර ඇත්තේ මේ විදියටයි. “නිත්‍යං විවාද වද භංධන රෝග පීඩා – භන්ධෝ සදා

විමුක්තං වර මිත්‍ර වෛරම් – අසානි රස්ත කෘභිනිශ්ඵල

නාස්ති භානිං – සර්ඝේරු සංභව දසා සුත රෝග්‍ය පෛනී”

මේ ශ්ලෝකයෙහි සඳහන් වන කරුණු කාරණා අවබෝධ කර ගත්තාම සෙනසුරු ගැනත්, සෙනසුරුගේ කාලයෙහි ලැබෙන පල විපාකත් තේරුම් ගන්න පුළුවන්. අනික තමයි සෙනසුරුගේ ඒරාෂ්ටක අපල කාලවලදී පලඳින්න නියම කර ඇති යන්ත්‍ර එනම් ශනි මුත්‍යජය, නීල මණ්ඩලය, මහා නවනාථය ඉතා හොඳ බව යන්ත්‍ර ශතකයේ සඳහන් වෙලා තිබෙනවා. මහා නවනාථය කිව්වට ස්කෝන් නවනාථය නොවේ හොඳේ. අනිත් ග්‍රහයන්ට වගේම සෙනසුරුටත් ආවේණික වූ නැත්නම් අයිති වූ රාශි දෙකක් තිබෙනවා. ඒ මකර, කුම්භ රාශි දෙක, මේ රාශි දෙකේ සෙනසුරු ගමන් කරන කොට උත්පත්තියේදී නරකක් නොමැති නම් මාරක ඒරාෂ්ටක දෙන්නෙ නැහැ. හැබැයි නපුරක් තිබුණොත් මකර අයිතිකාරයා කියල නැහැ මරල දමනවා. මේ ගතිගුණය තිබෙන්නේ සෙනසුරාට විතරමයි.

විවාහය ප්‍රමාදවීම

මේ සෙනසුරුගේ තවත් ලක්ෂණයක් කියන්නම්. ඕනෑම කේන්දරයක ලග්නයේ හෝ විවාහක ස්ථානයේ සෙනසුරුට අයිති නම්, හෝ ගෝචරය තිබේ නම් හෝ දෘෂ්ටියකට ලක්වේ නම් විවාහය ගොඩක් ප්‍රමාද කරනවා. එහෙම කරල අනවශ්‍ය කාල වකවානුවක විවාහය කරල දෙනවාමයි. සෙනසුරා තරුණ ගැහැනු ළමයෙකුට ඊට අඩු වයසැති පිරිමි ළමයෙකුත්, පිරිමි ළමයෙකුට ඊට වඩා වයසැති ගැහැනු ළමයෙකුත් ලබා දීම සිරිතක්. දැන් මේ ලක්ෂණවලින් පෙනෙන්නෙ සෙනසුරා ඉන්න රාශියට ආවේණික දේ කරල දෙනවාමයි. හැබැයි අවශ්‍ය වේලාවට නොවෙයි ප්‍රමාද වෙලා බව දැන් වැටහෙනවා ඇති. ඕනෑම ග්‍රහයෙකු පෙනී සිටින අවස්ථා තිබෙනවා. ඒ තමයි නීච අවස්ථාව, හතුරු – මිතුරු උදා නිවෘති හා වක්‍ර කියලා. මේවා සාමාන්‍ය අවස්ථා, ඡ්‍යොතිෂයේ සඳහන් කළාට. මේ අවුරුද්දේ එනම් 2022 හා 2023 පහත සඳහන් අයුරු බව දැනගන්න. 2022 වසරේ ජූලි 12 වැනිදා ඉංගී‍්‍රසි පැය 14.59 ට මකර රාශි හිමියන්ට සූර්ය මාස මිථුනට බලපෑම් කරනවා. එහෙනම් මිථුනයට සෙනසුරු හොඳයි. එතැන් සිට ජූලි 12 සිට ඔක්තෝබර් 23 දින තමයි තුලාවට එන්නේ.

සෙනසුරුගේ බලපෑම

මෙන්න මේ ටිකත් අවබෝධ කරගන්න ඕනෑ. 2022 ජූලි 12 මිතුනයේ සිට ඔක්තෝබර් 23 තුලාවට එනකොට ලිත්වල සඳහන් නූනත් කටක, සිංහ, කන්‍යා යන රාශි පසු කරගෙනයි තුලා රාශියට එන්නේ. මෙහෙම එනකොට සෙනසුරු කටක හා සිංහයට හතුරු ස්වභාවය ගන්නවා. මෙන්න මේ කාලයට, සෙනසුරු මහ දශා, අතුරු දශා ලබන අය ඉතා පරිස්සම් වන්න වේවි. ලග්නය කුමක් වුණත් සෙනසුරු යන රාශියේ ප්‍රතිඵල ගැන පරිස්සම් වන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමු. ලග්නය මේෂය කියලා. එහෙනම් කටක, සිංහ, කිව්වේ 3 හා 4 වන රාශින්. එහෙනම් 3 හා 4 රාශිවලින් ලැබෙන පලවිපාක ලැබෙනවා. විශේෂයෙන් මකර ලග්න ධනු /මීන ලග්න හිමියෝ ගොඩක් පරිස්සම් වන්න වේවි. මොකද කටක, සිංහ, එන්නේ අෂ්ටමයට එනම් 8ට. එතැනින් තමයි ආයුෂ ගැන කියන්නේ. කොහොමත් දන්නව නෙ. 6 වැනි රාශිය, 8 වැන්න, 12 වැන්න අශුභ රාශින් බව සුබට වඩා අශුභ මයි දෙන්නේ. කෙටියෙන් මතක තබා ගන්න. 2022 ඔක්තෝබර් 23 වනදා තෙක් ගොඩක් ප්‍රවේශම් වන්න. එතැන් සිට 2023 ජුනි 17 වනදා තෙක් හොඳයි. මේ දවස ඉඳලා නැවත 2023 නොවැම්බර් 04 වනතුරු ඉතා සුළු කරදර ඒවි. ඒවා සාමාන්‍යයි. තව විශේෂ එකක් කියන්නම ඕනෑ. රූප පෙට්ටියේ ජ්‍යෝතිෂ මහාචාර්යවරු වැහි වැහැලා. හේතුව නොදන්වා අසවලාට මේ දිනවල අර දිනවල මාරකයි කියනවා. ඒවාට බය වන්ට එපා. ඉතාම ස්වල්ප දෙනෙක් ඒ භය වීමට හේතුව කියනවා. ඒවා අපිත් අහගෙන ඉන්නවා. ඒවා ගැන විස්තර දැනගත්තට කමක් නැහැ.

අපි කොච්චර බැන්නත් සෙනසුරු තරම් යහපත් ග්‍රහයෙක් විශේෂයෙන් තවත් නැහැ. හැබැයි සෙනසුරා දෙන කාලයට විපත් කාලයට වඩා ප්‍රවේශම් වන්ට ඕනෑ. මේක ලියන්නේ දීර්ඝ අත්හදා බැලීමකින් පසුවයි. සාමාන්‍ය ග්‍රහයෝ දෙන්න ගත්තාම සුබ දේවල් විතරයි දෙන්නෙ. නමුත් සෙනසුරා යහපත්ව ලැබුවාම ඔබට නොදැනුවත්වම හොඳ දේ දෙනවා වගේම ඔබේ අයහපතට ලක්වන දේත් දෙනවා. නොදැනුවත්ව වැඩි ආශාව නිසා ඔබත් ගන්නවා. ඔන්න ඔබේ කල්පනා ශක්තිය ඕනෑ වන වෙලාව. සෙනසුරා දෙන පුරුදු කරන අවශ්‍ය දේ යහපත් දේ විතරක් ගන්න. එනම් මුදල් දේපොළ, ඇඳුම් පැළඳුම් ගන්න. ඒ සමඟම රේස්, සූදු, මත්පැන් පුරුදු, දුම්බීම වැනි දෑ අත්හදා බලන්නත් එපා. සෙනසුරා දෙන නරක පුරුදු අතහැරීමත් ලෙහෙසි නැහැ.

සෙනසුරු ඒරාෂ්ටකය

සෙනසුරාටත් ග්‍රහ අවස්ථා 12 ක් තිබෙන බව දන්නවනේ. ඉන් ‘ආගම අවස්ථාවේදී සෙනසුරු උදා වුණොත් ශරීරයේ තුවාලයක් සුව නොවන තැනට එනවා. සෙනසුරා ‘ආගමන’ අවස්ථාවේ හිටියොත් මීට වඩා දරුණු වෙනවා.

සෙනසුරුගේ නරකම අවස්ථාව තමයි ඒරාෂ්ටක කාලය. ඕනෑම ග්‍රහයෙක් එක පාරටම දරුණු වන්නේ නැහැ. පූර්ණ කාලයෙදි එක එක ලකුණු පෙන්වනවා. රවි නරක් වුණොත් වරින් වර හිස කැක්කුම් කරන, සනීප වන කාලය අඩු බව පෙන්වාවි. බුධ නරක් වුනොත් සැර පිපාසය ඒවි. ඒ වගේ සෙනසුරු ඒරාෂ්ටක කරන්න ප්‍රථම යටිබඩ පිපෙනවා. ඒ කිව්වේ යටිබඩ පුරවා දමනවා කියන්නේ ඒක මුලින්ම නවත්වා නොගතහොත් මරණය දක්වා දුර යනවා. විශේෂයෙන් සෙනසුරු යටි බඩින් මූලික ලක්ෂණ පෙන්නලා ඉතාම ඉක්මනින් හෘදය වස්තුව හිර කරනවා. ප්‍රවේශම් වන්න සෙනසුරු කටකයේ, සිංහයේ, මේෂ ලග්නයේ යනකොට ප්‍රවේශම් නූනොත් ප්‍රතිඵල භයානක වනවා.

සෙනසුරු නරක් වුණොත් එක පාරටම යන්ත්‍ර දමන්න ඕනෑ නැහැ. හැර ගිය නුගගස්වලට ගොම්මන් වේලාවට පොල්තෙල් පහන් දල්වන්න. කෙම්මුර දිනවලට ගිතෙල් පහන් දල්වා කිරිබත් කපුටන්ට කන්න දෙන්න. බේරා ගන්න බැරිම වුණොත් යන්ත්‍රය දමන්න. කොහොම හරි සෙනසුරුගෙන් ප්‍රවේශම් වන්න.

 

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.