කටක ලග්නය හිමි කාන්තාව

ජූලි 22, 2022

 

කටක යන වචනයේ තේරුම කකුළුවා යන්නයි. කටක ලග්නයට අධිපති සඳු ග්‍රහයා වන අතර රාශි දොළහේ හතර වැන්න කටක රාශියයි. කටක ලග්නය සෞම්‍ය රාශිය හෙවත් ස්ත්‍රී ගණයට අයත් වෙයි. චර රාශියක් වූ කටකයෙන් උපන් අය විපතට භයවන ගතිය, වැඩි පරිස්සම හිතේ නිතර උස්පහත් වන ගතිය පෙන්නුම් කරන අතර ස්ත්‍රී රාශියක් බැවින් ඉදිරියට ගියත් සටන් නොකර සමාදානයෙන් කටයුතු කිරීම, ‌ගෙදර දොරට හිතවත්කම ඉවසිල්ල අඩු අතර තරහ වැඩි වේලාවක් පවතින්නේ නැත.

කටක ලග්නය වී සිංහ කන්‍ය යන නවාංශකයකින් ඔබ ඉපදී ඇත්නම් දෙර්කායනය කටක රාශියට අයත් වන අතර 22 වන දෙර්කාණාධිපති 8 වැන්න අධිපති සෙනසුරු ග්‍රහයා වනු ඇත. ලග්න කේන්දරයේ හත් වැන්න හා අට වැන්න අධිපති සෙනසුරු ග්‍රහයා පාප ග්‍රහයකු වුවත් කේන්දරස්ථානයක අධිපති වීමත් 8 වැන්නේ මූල ත්‍රිකෝණ අයිතියක් ද

ඇති බැවින් ද ලග්නාධිපති සඳු සෙනසුරු සමඟ සතුරු නොවීම මත තද බල පීඩා ඇති නොකරයි. සෙනසුරු ග්‍රහයා ලග්නයේ සිටීම මත ඉක්මනින් ප්‍රීතියට ‌මෙන්ම දුකට ද පත් වන අතර රහස් කටයුතු කිරීමට ද පෙළඹෙනු ඇත. දුක සැප දෙකෙහි ඒතරම් වෙනසක් නැතිව සිටින්නකු වන අතර කොතරම් කටුක දුකකට වුවද ඔරොත්තු දෙන ශක්තියක් ඇති අයකු ද වෙයි. ආගම ධර්මයට ද ලැදිව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි.

හතර වැන්න වූ තුලා රාශිය සෙනසුරු ග්‍රහයාගේ උච්ච රාශිය බැවින් තද බල කරදරයක් ඇති නොකළත් ගෙදර දොර කටයුතු වලට බාධා ඇති කරයි. දුක සැප දෙකෙහිදීම ඒක ලෙස කටයුතු කරන අයකු වන අතර ඉඩකඩම් දේපළ පිළිබඳ ගැටලු ඇතිවීමට ද ඉඩ තිබේ. ඥාතීනට උපකාර කරන ගතියක් පෙන්වයි.

ශනි 7 වැන්නට දිග් බල ග්‍රහයෙක් වන නිසා අසුබ පල ඇති නොකරතත් 22වැනි දෙර්කාණාධිපති වීම මත යම් යම් ගැටලු ඇති කරයි. ශනි 7 වැන්න විවාහය නොකඩයි.

එහෙත් කුජ හා යෝගව සිටීම ඒතරම් යහපත් නොවන අතර ස්වාමියාට විපත් පමුණුවයි. තමාට වඩා වයසින් වැඩි හෝ මොනයම් දෙයකින් හෝ වෙනසක් ඇති ස්වාමිපුරුෂයකු ලබයි.

සෙනසුරු හත් වැන්නේ සිටින කාන්තාවකට බොහෝ වි‌ට තමාට වඩා වයසින් වැඩි අයකු විවාහයට ලැබෙනු ඇත.

සෙනසුරු විසි දෙවැනි දෙර්කාණාධිපති වී පස් වැන්නේ සිටීම දරුවන් අඩු වීමට ද හේතුවක් වන අතර එක් දරුවකුට අපල ඇති කරයි. අංගවිකල වීමට වුවත් ඉඩ තිබේ. සෙනසුරු 8 වැන්නේ නම් කල් අල්ලන අසනීප,වාත අමාරු, ශරීරයේ සම දූෂ්‍ය වන අසනීප මෙන්ම දියවැඩියාව වැනි රෝග ඇති වීමටද ඉඩ තිබේ. හදිසි අනතුරු වලට ද භාජනය විය හැකියි.

10 වැන්නේ නම් වරින් වර තම වෘත්තිය වෙනස් කිරීමට සිදුවන අතර විවේකය අඩු අයෙක් වන අතර නිතර වෙහෙස මහන්සි වී වැඩ කිරීමටද සිදුවේ. කටක ලග්නය වී තුලා වෘශ්චික ධනු නවාංශකයකින් ඉපදී ඇත්නම් දෙර්කාණාධිපති 12 වැන්න අධිපති බුධ ග්‍රහයා වනු ඇත. 22 වැනි දෙර්කාණාධිපති වී දෙවැන්නේ නම් කතාවට බාධා ගෙන දෙන අතර කතාව ප්‍රමාද වීමට හෝ ඉඩ තිබේ. බුධ 4 වැන්නේ නම් නෑදෑයන්ගෙන් පිහිටක් ලැබීමට නොහැකි වන අතර නෑදෑයන්ගෙන් ඈත්ව කටයුතු කිරීමට

සිදුවේ. බුධ ග්‍රහයා 7 වැන්නේ සිටීම විවාහය පිළිබඳ ගැටලු ඇති කරන අතර විවාහය ප්‍රමාද වීමටද කරුණු යෙදෙනු ඇත. බුධ 6 වැන්නේ නම් ශරීරය එතරම් ශක්ති සම්පන්න එකක් නොවන අතර නහර දුර්වලතාවයක් හෝ ශරීරයේ සියුම් අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල දුර්වලකම් ඇති වීමටද ඉඩ තිබේ. 22වැනි දෙර්කාණාධිපති වී අට වැන්නේ සිටීමද යහපත් නොවන අතර නහර දුර්වලතා මෙන්ම ඔලුවේ අමාරු ආදිය ද ඇති කරයි. මාරක පාවා ඇති වීමට ඉඩ ඇත. බුධ මහදශා බුධ අතුරු දශා යහපත් නොවන අතර බදාදා දිනය සුබ කටයුතු වලට යොදා නොගනී.

කටක ලග්නය වී මකර කුම්භ මීන යන නවාංශකයක ඉපදී ඇත්නම් 09 වැන්න අධිපති දෙර්කාණාධිපති වන අතර හතර වැන්න අධිපති සිකුරු ග්‍රහයා 22 දෙර්කාණාධිපති

ග්‍රහයා වනු ඇත. සිකුරු මහ දශා අතුරු දශා මෙන්ම සිකුරාදා දිනය ද සුබ වැඩ වලට යහපත් නොවේ. සිකුරු හතර වැන්නේ සිටීමෙන් ගේ දොර කටයුතු වලට බාධා ගෙන දෙන අතර කොතරම් පිරීසුදුව ගේ දොර තබා ගැනීමට උත්සහ දැරුවත් එසේ කිරීමට නොහැකි වෙයි. තමා අතින්ම ගේදොර අපිරිසුදුතාවයට පත්වේ.

22වැනි දෙර්කාණාධිපති වී 6 වැන්නේ නම් ආහාර හරියාකාරව ශරීරයට පෝෂ්‍ය නොවීම හේතුවෙන් ඇඟ කෙට්ටු විය හැකි අතර ශරීර දුර්වලතාවයන් ඇති විමට ඉඩ තිබේ. සිකුරු 7 වැන්නේ නම් ස්ත්‍රී පක්ෂයේ අයගෙන් කරදර ඇති විය හැකි අතර විවාහය ප්‍රමාද වනු ඇත. එමෙන්ම විවාහය පිළිබඳ ගැටලු වලට මුහුණ දීමට සිදුවිය හැකි අතර විවාහ කැඩීයාමට ද හේතු ඇති කරයි.

22වැනි දෙර්කාණාධිපති 10වැන්නේ නම් රැකියාවේ කටයුතුවලට බාධාකාරී බවක් ඇති කරන අතර දියුණුව ටිකෙන් ටික ඇති කරයි.

ජ්‍යෙතිෂවේදිනී ගීතිකා සමරතුංග

සටහන ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.