පොරොන්දම් පරීක්ෂාවේදි බැලිය යුතුම නාටාංශක දෝෂ

ජූලි 8, 2022

ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයේ ඉතාමත් වැදගත් පාඩමකි පොරොන්දම් පරීක්ෂාව. තවද කිසියම් අවිවාහක යුවළකගේ වැදගත් සන්ධි ස්ථානයක් කිවුවත් වැරදි නැහැ. පොරොන්දම් පරීක්ෂාවෙන් පසු බොහෝදුරට විවාහය ස්ථිර වනවා. එසේ හෙයින් පොරොන්දම් පරීක්ෂාව ලකුණු මට්ටමකට ඉඩ නොදී ඉතාම කල්පනාකාරීව ඥානාන්විතව නම දැනුම උපයෝගීකර කළ යුතු වනවා.

බොහෝදුරට පොරොන්දම් බැලීමේදී බැලිය යුතුම නමුත් නොබලන කරුණු ගොඩක් තිබ්බා ඉන් එකක් තමයි නාටාංශක දෝෂ. සමහර පොත්වල මෙය නාශාංශක හැටියටත් නසාරාගි දෝෂ වශයෙනුත් හඳුන්වනවා. පොරොන්දම් බැලීමේදී බොහෝ දෛවඥ මහතුන් ග්‍රහ පොරොන්දම – විසි පොරොන්දම, අෂ්ඨ කූඨ නාඩිය පරීක්ෂාවෙන් පසු ප්‍රතිඵලය ලබාදෙනවා. එනම් ඔවුන්ගේ අදහස කියනවා හෝ ලියා දෙනවා. මේ සියලුම පරීක්ෂාවන් ලක් කරන්නෙ කිසියම් ලකුණු මට්ටමකට. සෑම පොරොන්දමකට එක හා සමාන ලකුණු මට්ටමක් ක්‍රියාත්මක කරනවා. ඒක නිවැරැදි නැහැ. මෙය උගත් යයි කියන බොහෝ දෙනකුට වරදින තැනක්. මේ පොරොන්දම් හැසිරීම ජීවිතයේ එක් එක් අවස්ථාවන්හිදී එක් එක් අයුරින් ක්‍රියා කරනවා. උදාහරණයක් වශයෙන් ආයු පොරොන්දමෙන් කරන්නෙ විවාහක යුවළගෙන් ප්‍රථමයෙන් ජීවිතක්ෂයට පත්වන්නෙ කවුරුන්ද යන්න මැන බැලීමයි. බැලිය යුත්තේ එය නොවේ. දෙදෙනාට හිමි ආයුෂ ප්‍රමාණයයි. ජන්ම පත්‍ර පරීක්ෂාවේදි බාල කාලයෙහි වැඩිපුර වශයෙන් බැලිය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ 8 වැනි රාශිය අෂ්ඨමයත් රෝගි ස්ථානය වන 6 වන රාශියත් 12 වැන්නත්ය. එනම් බාලාරිෂ්ඨ දෝෂ ගැන හෙළිකරන්නේ 6,8,12 නිසාවෙනි.

නමුත් දරුවා ඉගෙන ගන්නා කාලයෙදි පරීක්ෂා කළ යුතු වන්නේ 05 වැන්නෙන් මූලික ශිල්පය ගැනත් 11 වැන්නෙන් උසස් අධ්‍යාපනය ගැනත්ය. ඒ අධ්‍යාපන කටයුතුවලින් පසු ජන්මියා විවාහ වන කාලයට පත්වීමේදී බැලිය යුතු වන්නේ පොරොන්දම් පිහිටීමයි. මෙම අවස්ථාවේදී දරුවගේ සන්ධිස්ථානයක් පසු කරන බැවින් ප්‍රථමයෙන් දරු සම්පත්ද පරීක්ෂා කළ යුතුයි. දස පොරොන්දම් පරීක්ෂාවේදී ලිංග පොරොන්දම, යෝනි පොරොන්දම හා වෘක්ෂ පොරොන්දම් ගැන විශේෂ අවධානයක් දිය යුතුවේ. ඒ දරු සම්පත්වල මූලික අඩිතාලම වන බැවිනි. යම් හෙයකින් මේ පොරොන්දම් සමබර වුවත් විවාහය කෙටි කලකින් දෙදරා යෑමට බොහෝ සෙයින් ඉඩ ඇති නිසාය. දරු සම්පත් උදාකිරීමට නම් ලිංග, යෝනි, වෘක්ෂ පොරොන්දම් ශක්තිමත් වූවා සේ මෙම පොරොන්දම් ශක්තිමත් කිරීමට නටාංශක දෝෂ මැනවින් පරීක්ෂා කළ යුතු වන්නේය. තවද බහු විවාහ-සරාගි යෝග, වඳ යෝග සම්බන්ධවද මනා පරීක්ෂා කළ යුතුවනවා. ඉන් ප්‍රධාන වන්නෙ නටාංශක දෝෂයි. මේ නටාංශක දෝෂ හටගන්නේ කෙසේද? කුමක්ද? එසේනම් පොරොන්දම් පරීක්ෂණයෙදී මෙම දෝෂ ඉතා පරීක්ෂාවෙන් බැලිය යුතු වන්නේය.

ජන්මියකුගේ කේන්දරයේ රාශි දොළහ අතරින් එක් ග්‍රහයකුට රාශි දෙක බැගින් සමසේ බෙදේ. නමුත් රවි සඳු යනු ඡ්‍යොතිෂ සෞරග්‍රහ මණ්ඩලයේ මවුපිය දෙදෙනා බැවින් ඔවුන්ට හිමි වන්නේ එක් රාශියක් බැගින් පමණකි. එනම් රවිට සිංහ රාශිය හා සඳුට කටක රාශියයි. මේ අයුරින් මේෂ, වෘශ්චික රාශිවලට අඟහරු ග්‍රහයාද, මිථුන කන්‍යා රාශිවලට බුධ ග්‍රහයා ද, ධනු – මීන රාශින් ගුරු නැත්නම් බ්‍රහස්පතිටද, වෘෂභ – තුලා රාශින් සිකුරු ග්‍රහයාටද ශනිට මකර – කුම්භද වන්නේය.

මෙසේම ඡ්‍යොතිෂයේ නැකැත් 27 සමසේ නවාග්‍රහාධීන්ට බෙදා දී ඇත. ඒ ඒ නැකැත් එම ග්‍රහයන්ට අයිති වේ. එනම් මෙම කවියෙන් එය මනාව පැහැදිලි වේ. කැති, තුරුපල්, තුරුසල, දිවයුරුට, සය, රෙහෙන, හත සුවණ නිසයුරු හට දසය, මුවහිස්. සිත, දෙනට, කුජ හට සත්වසය අද, සා, සියාවස, රාහුට අටළොසය.

පුනවස්, විසා, පුවපුටු ගුරුට සොළසකි. පුෂ නුර තුරුපුටුප, ශනි දස නව වසකි. දෙට අස්ලිස, රේවතී බුධ සත්ළොසකි. අස්විද, මා , මුල, කේතුට සත් වසකි.

බෙරණ. පුවපල්ද පුවසල, නැකැත් තුන හිමිවෙයි. සිකුරු හට විසි වසකි. ඒ බව දැන ගන්න. මේ අයුරින් බලන කල රවි ග්‍රහයාට අයත් වන්නෙ කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් 3 යි. සඳු ග්‍රහයට අයත් වන්නෙ රෙහෙන, හත සුවණ යන නැකැත් තුනයි. අඟහරුවට අයත් වන්නේ මුවසිරස , සිත – දෙනට යන නැකැත් තුන හා අද – සා – සියාවස නැකැත් අයත් වන්නෙ රාහු ග්‍රහයාටයි. ගුරු ග්‍රහයාට අයත් වන්නෙ පුනාවස, විසා, පුවපුටුප, යන නැකැත් තුනයි. සෙනසුරාට අයිති වන්නෙ පුෂ, අනුර, උත්‍රපුටුප,නැකැත් ත්‍රිත්වයයි. බුධ ග්‍රහයාට හිමි වන්නෙ දෙට – අස්ලිස, රේවතී වන අතර කේතාට හිමි වන්නෙ අස්විද – මා – මුල යන නැකැත් තුනයි. එසේම සිකුරුට හිමි වන්නෙ බෙරණ පුවපල් හා පුවසල යන නැකැත් තුනය. ඡ්‍යොතිෂයේ ඇති නැකැත් 27 මෙසේ සමසේ ඒ ඒ ග්‍රහයන්ට බෙදී යයි. ඒ අනුවම ඒ ඒ අයිති වර්ෂ ගණන එකිනෙකින් හතරට බෙදූ කල කොටස් හතරෙන් පළමු කොටස පළමු පාදය ලෙසටත්, දෙවන කොටස දෙවන පාදය. ලෙසටත්,තෙවැනි කොටස තුන්වන පාදය ලෙසටත් සිව්වැනි කොටස සිව්වැනි පාදය ලෙසටත් හඳුන්වා දී ඇත. සෑම ග්‍රහයකුටම පාද 4 කි. උදාහරණයක් වශයෙන් පුනාවස, විසා, පුවපුටුප නැකැත් අයිති බ්‍රහස්පතිට අයත් වර්ෂ 16 කි. ඉන් පළමු වසර 4 පළමු පාදයයි. එනම් පුනාවස නැකතේ පළමු පාදයයි. උත්පත්ති ජන්මපත්‍රයේ මේ බව උගත් ඡ්‍යොතිර්වේදියා සඳහන් කර ඇත. මේ අයුරින් සෑම නැකතකටම පාද හතරක් ඇත. කිසියම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ ඔහු හෝ ඇය ඉපදී ඇත්තේ බ්‍රහස්පති නැත්නම් ගුරු ග්‍රහයාගේ පළමු පාදයෙන්ද, සෙනසුරු ග්‍රහයාගේ දෙවන පාදයෙන්ද, සිකුරු ග්‍රහයාගේ තුන්වන පාදයෙන්ද, රවි ග්‍රහයාගේ සිව්වැනි පාදයෙන් නම් ඔහුට හෝ ඇයට නටාංශක දෝෂය හිමිව ඇති බව දැනගත යුතුව ඇත.

මෙම නටාංශක දෝෂය ජන්මියාට බලපවත්නේ කෙසේද යන්න මීළඟ පැනයයි. එනම් ඕනෑම ජන්මියකුට ඉහත කී දෝෂය ලැබී ඇත්නම් ඔහු හෝ ඇය කාම සම්පත්තියට කිසිසේත් පොලඹවීම අවම කරයි. විවාහයෙන් පසුවද එම තත්ත්වය බලපායි. මෙම දෝෂය දරු සම්පත්වලදී බලපාවිද යන්න ඊළඟ පැනයයි. ඇත්ත වශයෙන්ම එම දෝෂය පළමු දරු සම්පතට හා උපරිම වශයෙන් දෙවන දරු සම්පතට බලනොපාන වුවත්, ඉන් අනතුරුව එම දෝෂය නිසා අනිත් පාර්ශ්වය අන් කෙනකුගෙන් කාම සම්පත්තිය බලාපොරොත්තු වන බව ඡ්‍යොතිෂ පොතේ සඳහන් වේ. එසේ කටයුතු කිරීමෙන් විවාහ ජීවිතයේ විශ්වාසය. සතුට රඳා පැවැත්ම පවුලේ අඬදබර ඇතිවීම බොහෝ විට සිදුවන කරුණකි. එසේනම් මෙම නටාංශක දෝෂය පැවැති ජන්මියාගේ විවාහ සංස්ථාව යහපත්ව පවත්වා ගෙන යෑමට කුමක් කළ යුතුද? එසේ නම් පොරොන්දම් පරීක්ෂාවේදී අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් මෙම දෝෂය සමතුලිත කිරීම කළ යුතු වන්නේය. මෙය පොරොන්දම් පත්‍රයේ ගණ පොරොන්දම සමතුලිත කරවන අයුරින්ම මෙම නටාංශක දෝෂයද සසැඳිය යුතු බව සඳහන් කරනු කැමැත්තෙමි. එසේ කිරීමෙන් යහපත් විවාහ ජීවිතයක් ගත කිරීම කළ හැකි බව නිවැරැදි ඡ්‍යොතිෂ කරුණක් බව සඳහන් කරමු.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.