රහස් ඉරියව් කියන රහස්

ජූලි 8, 2022

ඇඹිලිපිටිය උඩවලව ප්‍රදේශයේ නක්ෂත්‍රය ගැන දැනුමක් ඇතුව සිටි හපන්වි ආතා නමැති පැරණි ගොවි මහත්තයෙක් ලද අත්දුටු සිදුවීම් මීට වර්ෂ කීපයකට ඉහත මා වෙත සපයන ලදින් බුද්ධිමත් ‘සුබසෙත’ පාඨක භවතුන්ගේ ප්‍රයෝජනය පිණිස එම කරුණු මෙහි සඳහන් කරමි.

වලස් සංවාසය

මෙය දුර්ලභ දර්ශනයකි. මෙය දුටු අයට යහපත් ඵල ඇති නොවේ. පවුලේ අසමඟිකම්,ඥාති මිත්‍රාදීන් අතර විරුද්ධවාදිකම් ඇතිවේ. දුටු අය හෝ පවුලේ අයකුට රෝග බියක් ඇතිවිය හැකිය.

හා සංවාසය

දැකීම හිතේ සතුට ඇති කරයි. යහපත් මිත්‍ර සමාගම්වලට තුඩු දේ. ශරීර සෞඛ්‍යය වර්ධනය වේ. මිල මුදල් ලැබේ.

වඳුරු සංවාසය

මෙය දැකීම සුබ නැත. දුටු අයට කොතෙකුත් කරදර හිරිහැරවලට හා බාධකවලට මුහුණ පාන්නට සිදුවේ. පාප මිත්‍ර සේවනයට ද තුඩු දේ.

අශ්ව සංවාසය

සතුටුදායක ආරංචි ලැබීම සිදු වෙයි. නව හිත මිතුරු සම්බන්ධතාවන්, ගොඩ නැඟේ.මෙය දුටු අයට උසස් අයගෙන් මෙන්ම පවතින රජයෙන් ද සැලකිලි ඇතිවේ. එමෙන්ම යහපත් අර්ථ සිද්ධිය ද ගෙන දේ.

මීගව (කුළුමී) සංවාසය

මෙය දුටු අයට අනේකවිධ අමිහිරි සිදුවීම් ඇතිවේ) දුටු අයගේ පවුලේ අයකු තදබලව රෝගාතුර වීමට ඉඩ තිබේ. ළඟම නෑයෙකුගේ වියෝවීමක් ද සිදු වීමට වැඩි අවකාශයක් තිබේ. බෝධි පූජාවක් තැබීමෙන් මෙයින් සිදුවිය හැකි විපත් මඟ හරවා ගැනීමට පුළුවන්කම ඇතිවේ.

පරවි සංවාසය

දුටුවිට හිතේ සතුට ඇති කෙරේ. දුටු අය විවාහක කෙනකු නම් එකිනෙකාගේ සමඟිය වර්ධනය වේ. ළඟදීම නෑයෙකුගේ පැමිණීමක් පෙන්නුම් කෙරේ. ඒ අයගෙන් උපකාර ලැබේ. තවද පි‍්‍රය සම්භාෂණ ආදියට සහභාගි වීමට ද ඉඩ ප්‍රස්ථාව ලැබේ. ඉතා යහපත්ය.

ගිරා සංවාසය

මෙය දැකීම මධ්‍යම පල ගෙන දෙයි. නමුත් වගා කටයුතුවල යෙදෙන්නකුට නම් එම කටයුතු සෑහෙන දුරට සරුවේ.

ගේ කුරුලු සංවාසය

මෙය දුටු අයට යහපත් අයගේ ආශ්‍රය ඇතිවේ. මිත්‍ර සමාගම් වර්ධනය වේ. ගමන් බිමන් අධික වේ. හැම දෙයක් ගැනම උනන්දුව ඇතිවේ. ප්‍රබෝධමත් ලෙස දවස ගෙවන්නට අවකාශය ඇති කෙරේ.

සැළලිහිණි සංවාසය

මෙය දැකීම විනෝදකාමී ගමන් බිමන්වලට සහභාගි වීමට ඉඩකඩ ලබා දෙයි. නිරන්තරයෙන්ම හිතේ සතුට මෙන්ම පවුලේ සමඟිය ඇති කෙරේ. සම්භාවනීය පුද්ගලයකුගේ ආශ්‍රයට තුඩුදේ. එම අයගෙන් ද උදවු උපකාර ලැබේ. දිගු කාලයක් ශුභ පල ඇති කෙරේ.

කොවුල් සංවාසය

දුටු අයට ඉහත කී ප්‍රතිඵලම ඇති කෙරේ. අශුභ නැත.

නයි, සැපිනි සංවාසය

ඉතා දුර්ලභම දර්ශනයකි. මෙය දුටු අයට බලාපොරොත්තු හදිසි ධනයක් ලැබීමට වැඩි අවකාශයක් තිබේ. පවුලේ පී‍්‍රතියක් සමඟියත් ඇති කෙරේ. ඉතා යහපත් කාලයක් උදාවේ. තවද දුටු අය විවාහකයකු නම් දරු සම්පත් ලැබීමට ද හේතු වාසනාව තිබේ.

පිඹුරු සංවාසය

මෙය ද කලාතුරකින් දැකිය හැකි දර්ශනයකි. දුටු අයට තමන් පදිංචි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යන්නට සිදුවේ. භූමි ලාභවලට ද තුඩු දේ. දුටු අය කෘෂිකර්ම ආදි කටයුතු අභිනවයෙන් ආරම්භ කරන්නේ නම් ඉන් සතුටුදායක ප්‍රතිඵල ලද හැකිය. තවද සතුරෝ ද මිතුරුවන කාලවකවානුවක් වේ. එමෙන්ම හැම දෙනාගේම ප්‍රසාදයට ලක්වේ.

දුටු අයට උපරිම ලෙසම ප්‍රතිඵල ඇති කෙරේ. තවද මේ සම්බන්ධයෙන් සෑම කාරණායක්ම තම තමන් දුටු වෙලාවේ හැටියට ශුභ හෝ අශුභ පල ගෙන දේ.

කොටින්ම ශුභ හෝරාවක් වුවහොත් ශුභ කාරණයක් පිළිබඳව නම් ශුභ පල වැඩි වීමක්, වගේම අශුභ කාරණයක් ගැන නම් පවතින හෝරාවේ හැටියට එහි ඵල අඩු වැඩි වීම සිදුවන බව අවබෝධ කර ගන්න.

ඉත්තෑකන්දේ, ගාමිණී එදිරිසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.