වාසනාව ගලාගෙන එන්න ඉඩමේ ඊසාන දෙසින් ළිඳ කපන්න

අප්‍රේල් 22, 2022

නව නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේ දී යම් භූමි පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් ය. කාර්ය බහුලත්වය හා ආර්ථිකමය හේතු නිසා මේ කාරණය ගැන බොහෝ දෙනෙක් එතරම් තැකීමක් නොකළත් සතුට, සෞභාග්‍යය පිරි වාසනාවන්ත නිවෙසක් බවට ජීවත් වන නිවෙස පත්කර ගැනීම සඳහා භූමි දෝෂ අවම කර ගැනීමට වාස්තු විද්‍යානුකූල කාරණා ගැන අවධානය යොමු කළ යුතු ය.

ඉඩමක් මිල දී ගැනීමේ දී එයට ජලය ලැබෙන ක්‍රමවේදය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. නළ ජලය නොලැබෙන්නේ නම් අනිවාර්යයෙන් ම ඉඩමේ ළිඳක් කපාගත යුතුය.

භූමි ලක්ෂණ අනුව ජලය ඇත්දැයි පරීක්ෂාකාරී වීම

ඉඩමේ බුරුත, කුඹුක්, බෙලි, ඇත්දෙමට‍, කොහොඹ, ඇට්ටේරිය වැනි ශාක වර්ග වැවී ඇත්නම් ඒ භූගත ජලය තිබෙන බවට අනුමාන කළ හැකි සාධකයකි. යම් ස්ථානයක කුස තණ වැවී ඇත්නම් එවැනි තැන්වල ද ජලය පවතින බවට පි‍ළිගැනේ. එසේම ගල් කැටවලින් යුක්ත තඹ පැහැති පොළොවේ ජලය ඇති මුත් එම ජලය කහට රසයෙන් යුක්ත විය හැකිය.

තිඹුල්වන් පැහැයෙන් යුතු පසෙහි ජලය හුණු රසයෙන් යුතුවේ. නමුත් හොඳීන් ගහකොළ වැවුණු පොළොව ප්‍රණීත රසයෙන් යුතු ජලය ලබාදේ. ගස්වැල්වලින් පිරී ගිය රතු මැටියෙන් යුතු පොළොවේ ගල්වලට යටින් දිය උල්පත් ගලා බසින බව පැරණි මතයයි. කෙසේ වෙතත් අද වනවිට නවීන තාක්ෂණික ක්‍රම භාවිත කර ඉඩමේ ජලය ඇති තැන් පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකි වුවත් එවැනි පරීක්ෂාවක් කිරීමට පෙර පැරණි ක්‍රම උපකාර කර ගැනීමෙන් අපට ඉඩම් තෝරා ගැනීමට පුළුවන.

භූගත ජල මට්ටම හඳුනාගැනීම

ජලය නොමැති ප්‍රදේශයක වුවත් වේවැල් පඳුරක් දක්නට ඇත්නම් එම ස්ථානයට අඩි 4 1/2ක් බටහිරින් අඩි 10 1/2ක් ගැඹුරින් ජල උල්පතක් ඇති බව විශ්වාස කෙරේ. දඹ ගසක් වේ නම් එතැන් සිට අඩි 4 1/2 ක් උතුරින් අඩි 10 1/2ක් ගැඹුරින් ජලය පවතින බව වාස්තු විද්‍යානුකූලව පිළිගැනේ.

ළිඳක් කැපීමට සුදුසු දිශාව

ඉඩමක ළිඳක් කැපීම සඳහා සුදුසුම දිශාව වන්නේ ඊසාන දිශාවය. ඊසාන දිශාව නිවෙසකට සම්පත් ගලා එන දිශාව ලෙස ද වාස්තු විද්‍යාවේ හඳුන්වා දී ඇත. ඊසාන යනු වාස්තු පුරුෂයාගේ හිස සංකේතවත් කරන ප්‍රදේශයයි. එම නිසා එම දිශාවේ පිහිටි ළිඳෙන් ලැබෙන ජලය සම්පතක් සේ සැලකේ. නළ ළිඳකට වුව ද මෙම සිද්ධාන්තය මෙලෙසින් ම අදාළ වේ.

ළිඳ ස්ථානගත කර ගැනීම

ළිඳක් කැපීමේ දී ඉඩමේ හා නිවෙසේ කතිර රේඛාවන්ට නොකැපෙන පරිදි ස්ථානගත කළ යුතුය. එසේම ළිඳ කෙළින් ප්‍රධාන දොර නොයෙදිය යුතුය. මුදුන් පරාල හෝ යට ලී බාල්ක එක එල්ලේ ළිඳට යොමුව තිබීම ද සුදුසු නැත. එසේම ඉඩමේ බ්‍රහ්ම පාදයේ ළිඳ කැපීම ද නොකළ යුතුය.

මීට අමතරව ළිඳක් කැපීමේ දී සැලකිලිමත් විය යුතු තවත් වි‍ශේෂ කාරණාවන් ගණනාවක් පවතී. එනම් අවට පරිසරයේ පවතින වැසිකිළි වළවල්, අපද්‍රව්‍යය‍ බැහැර කරන ස්ථාන, අවිධිමත් ආකාරයේ රසායනිකයන් බැහැර කරන ස්ථානවල අවම වශයෙන් අඩි පනහකවත් පරතරයක් තිබිය යුතුය. අවිධිමත් ආකාරයේ ජල මූලාශ්‍රවලට හානිවන පරිදි සිදු කෙරෙන ඕනෑම ආකාරයේ අපද්‍රව්‍යය බැහැර කිරීමක් පරිසර දූෂණයක් වන අතර ඒ සඳහා නීතිමය පියවර ගැනීමට ඔබට අයිතියක් ඇත. එය ඔබ සතු වගකීමක් ද වේ.

ගර්භණී මවක් නිවසේ සිටින විට ද, මල්වර වූ දැරියක් නිවසේ සිටින විට හා මල්වර වී ටික කලක් ගතවනතුරු ද, ළිං කැපීම සුදුසු නොවන බව වාස්තු විද්‍යානුකූල මතය වේ. එසේම තද නියං කාලවල දී හා අධික වර්ෂා කාලයේ දී ළිං කැපීම යෝග්‍ය නොවේ. නිවෙසේ අත්තිවාරමට වඩා ළිඳේ අත්තිවාරම පහත් විය යුතු අතර නිවස දෙසට මුහුණලා වතුර ඇදීමට සිදුවන පරිදි ළිඳ සකස් කිරීම දෝ‍ෂ සහිතය.

කෙසේ වෙතත් වර්තමානය වනවිට අධික නාගරීකරණ වීම නිසා මේ කරුණු සියල්ලම ඉටුවන පරිද්දෙන් ඉඩමක ළිඳ කැපීම ප්‍රායෝගික නොවීමට බොහෝදුරට ඉඩ ඇත. නමුත් හැකිතාක් දෝ‍ෂ හා අශුභ කාරණා මඟහරවා ගනිමින් ළිඳ කපා ගැනීම සඳහා නිසි උපදේශනයන් ලබා ගැනීම ප්‍රතිඵලදායකය.

කීර්ති එස්. කුමාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.