වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ඉලක්කමට මේ හැටි බය ඇයි?
මා ප්‍රථමයෙන්ම සුබසෙත පාඨකයින්ට මතක් කරන්න උවමනායි අටේ ඉලක්කම ගැන කරුණු කාරණා ඉදිරිපත් කරන්න අදහස් කළේ ඇයිද කියා.
මා මීට අවුරුදු විසි අටකට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළුගල්කන්ද නම් වතුයායේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටි අවදියේ මේ පිළිබඳව සිදුවෙච්ච සත්‍ය කාරණයක් ඔබට පවසන්නටයි මා මේ සූදානම් වෙන්නේ.
මා සේවය කළ වතු සමාගමේ විශාල වත්තට අයත්ව තිබුණු අක්කර හතරක පමණ කුඹුරක් ඊට ටිකක් යාබදව පිහිටා තිබුණා.
ඒ දිනවල එම කුඹුර භාරව වැඩ කළේ කුමාරසිංහ නම් තරුණ මුරකරුය. එක්තරා කන්නයකදී ගොයම් කපා පාගා ඔහු විසින් කුරුනියෙන් වී මනින විටදී එකේ සිට හත දක්වා මැන, ‘අට හොඳ නෑ කියමින් කමතෙන් ගත් වී කුරුනියෙන්’ එකක් ගෙන වී ගෝනියට දැම්මේ ය. “ඇයි? අට හොඳ නෑ කීවේ’ යනුවෙන් මම එවිට මුරකරු කුමාරසිංහගෙන් ප්‍රශ්න කෙළෙමි.
එවිට ඔහු කියා සිටියේ, අනේ, සර් මේ පළාතේ හැමෝම වගේ ඔය අටේ ඉලක්කමට බයයි.මොනවා හරි මනින කොට වුණත් මනින්නේ අට හොඳ නෑ කියලයි. ඒ දිනවලත් මා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන උනන්දුවක් දැක් වූ නිසා ඉහත කී සිද්ධියෙන් පසු මා පෞද්ගලිකවත් අටේ ඉලක්කම ගැන පරීක්ෂණ පැවැත්වූවෙමි.
මේ පිළිබඳව විමසා බැලීමේදී ‘අට හොඳ නෑ, කියමින් වී මැනීම් කටයුතු කළ කුමාරසිංහ මුරකරු ද ඉපදී ඇත්තේ එක්තරා මාසයක 26 වෙනිදාය. අංක 26 තනි ඉලක්කමට ගත් විට 246 එකතුව අංක 08 යි.
අංක අට හිමිව උපත ලැබූ කුමාරසිංහට කරදරයක් වී ඇති ද කියා විමසූ විට ඔහු කියා සිටියේ කුඩා කල ලොකු අපලයකින් බේරුනු බවයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව නම් අටේ ඉලක්කමේ අධිපතියා සෙනසුරු ග්‍රහයාය. සෙනසුරු හොඳට හොඳ වගේම නරකට නරක සිදු කරන ග්‍රහ තරුවකි.
කෙසේවෙතත් සෙසු අංකවලට වඩා අංක අට වෙනස්කම් දක්වන එක්තරා ගණයේ පුදුම ඉලක්කමකි. මේ පිළිබඳව තවත් විස්තර කරනවා නම් සෙනසුරු කියන ග්‍රහයා අනික් ග්‍රහයින්ට වඩා ඔහුගේ ක්‍රියාව හරියටම කරයි. යමෙක් ඉහළටම ඔසවා (දියුණුවෙන්) තබන්නා වගේම ඒ ක්ෂණයකින්ම බිමට ඇද දමා කකුලක් හෝ කඩයි. නැතිනම් මරණයටම පත් කරයි. ඇත්තම ප්‍රකාශ කරනවා නම් අංක අට හිමියෝ උට්ඨාන වීර්යයෙන් යුතු සමහරවිට ලෝක පූජිත පුද්ගලයෝ වශයෙන් ද ජනිත වෙති.
ඒ බව කරුණු කාරණා කීපයක් ඔබගේ දැන ගැනීම පිණිස මෙහි සටහන් කර තබමි. මෙම අංකයෙන් ජන්මලාභය ලැබූ අයගේ චරිත ලක්ෂණ ද මෙසේය. මෙම අංකය හිමිව උපත ලැබූ අයට ඕනෑම දුකක් විඳ ගැනීමේ ශක්තිය ඇත. තර්කානුකූලව කතා කරනවා වගේම තමන්ගේ අඩු පාඩු වෙන අයෙකු පෙන්වා දෙනවාට කැමති නැත.
උක්ත කී කරුණු නිසා සමහරවිට තම හිත මිතුරන් පවා මෙබඳු අයගෙන් ඈත් වී වාසය කිරීමට ඉඩ ඇත. අංක අට හිමියන් ඇතැම්විට සමාජයේ පිළිකුලට භාජනය වෙන අවස්ථා කෙතෙකුත් ඇත. ආයතනවල අධ්‍යක්ෂකවරුන් ‘මැති ඇමැතිවරුන්’ ‘ප්‍රාදේශීය ලේකම්වරුන්’ ප්‍රවීණ නක්ෂත්ර කරුවන්’ තානාධිපතිවරුන් වගේම රටේ ජනාධිපතිකම් පවා හිමි කර ගැනීමට අංක අට හිමියන් සමත් වී ඇත. ඒ බව සනාථ කිරීමට කරුණු කීපයක් ද මෙහි ඉදිරිපත් කරමි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1916.04.17 වෙනි දින උපත ලබා ඇත. එමෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා 1899.01.08 වෙනි දින උපත ලබා ඇත. හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1906.09.17 වෙනි දින ජනිතව ඇත. තවද සෙනරත් පරණවිතාන ශූරීන් 1896.12.26 වෙනි දින උපත ලබා ඇත. මහා අපරාධකරුවෙකු වන වේලුපිල්ලේ ප්රභාකරන් ද ඉපිද ඇත්තේ 26 වෙනි දායකය. මෙබඳු උපත් ගැන තවත් සඳහන් කළ හැකි නමුදු අත්‍යවශ්‍ය කරණු කාරණා ගැන පමණක් ඉදිරිපත් කළෙමි.
ඉත්තෑකන්දේ ගාමිණී එදිරිසිංහ