වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
යුග දිවියේ රස නීරස කරන ග්‍රහ විෂමතා
සාම්ප්‍රදායික ඡ්‍යොතිෂය අනුව විවාහ සීහුම් බලා සිදුකරන ලද විවාහ විශාල සංඛ්‍යාවක් කැඩී බිඳී ගිය අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. ජන්ම පත්‍ර පිරික්සීමේ දී කුජගේ ද බලපෑමක් ඇති බැව් අනාවරණය වී ඇත. මේ සෑම කේන්ද්‍රයකම හත අධිපති ග්‍රහයා හා කුජගේ සම්බන්ධයක් ඇති බැව් පැහැදිලිය. හත අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නැකැත් හිමියන්ද කුජට සම්බන්ධ බව පෙනේ.
මේ පිහිටීම් අතර හතේ පාපියෙක් ද විය. ඒ අනුව හතේ සිටි පාපියා නිසා විවාහය කැඩී ඇතැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත් එය එසේ වී නැත. එකී හැම කේන්ද්‍රයකම හතේ පාපී දෝෂ මැකෙන අයුරු ගළපා තිබේ. මේ අනුව බලනවිට හත අධිපතියා හා ඔහු සිටි නැකැත් හිමියාද කුජ හා යෝගවීම හෝ දුෂ්ඨියක් නිසා සම්බන්ධවීමෙන් හතේ පාපියකු සිටීමත් නිසා විවාහය කැඩී ඇති බැව් නොවේද? ඇදුරන් එතරම් ගණන් නොගන්නා විවාහයට විශේෂයෙන්ම විවාහයට බලපාන ග්‍රහ පිහිටීමක් නම් ඕනෑම කේන්ද්‍රයක ලග්න හිමි ග්‍රහයා 7 වැන්නේ සිටීමයි. එසේ සිට පාපී දෘෂ්ටි ලැබූ බොහෝ දෙනකුගේ විවාහය කැඩී ඇත. පාප දෘෂ්ටි නොලද අයගේ යුගදිවි වෙනස් නොවේ. හත අධිපති 6, 8, 12 පිහිටීම අයහපත්ය. යුග දිවිය නීරස වේ. එකවරම සෙනසුරු ඒරාෂ්ඨකය යෙදීම අසුබයි. එය දරුවන්ට අහිතකරයි. හත අධිපතියා අටේ සිටීම අට අධිපතියා හතේ සිටීමද පරිවර්තනය සුබ නැත. යුගදිවිය සාර්ථකත්වයට පත් නොවේ.
බ්‍රහස්පතී හත් වැන්නට සුබ වන්නේ සුබ තත්ත්වයෙන් සිටීමෙන් පමණි. එසේ නොවීමෙන් යුග දිවිය අසාර්ථක වනු ඇත. දුර්වල ගුරු හතේ සිටීම උග්‍රතම පාපියකු සිටීමක් වැනිය. අධ්‍යාත්මික වූවත් නීචවීම යුග දිවියට එතරම් ධනාත්මක නොවේ.
කුජ හතේ සිටින කේන්ද්‍රවලට ගුරු හතේ සිටීම ගැළපීම් ඇති බැව් ද දක්වා තිබේ. ස්ත්‍රී කේන්ද්‍රවල රවිගේ පිහිටීම සහකරුට බලපානු ඇත. රවි දුර්වල කේන්ද්‍ර හිමි කාන්තාවන්ගේ සැමියන් බොහෝ විට මැදිවිය ඉක්ම යෑමටත් පෙර රෝගී වේ. සිකුරු නීච පිරිමින් හා බිරියන් සමඟියෙන් සිටී නම් වෙනත් ග්‍රහ බලයක් නිසා විය යුතුයි. අඬ අඬා පැණි කන තැනට පත්වනු ඇත.
නීච භංග නොවූ සිකුරු සිටි කේන්ද්‍ර හිමියන් සැමගේම වාගේ බිරියන් සැමියා පහත් කොටස සලකයි. හේතුවද ගුප්තයි. කෙසේ වුවත් සිකුරු නීච වූවන්ගේ යුගදිවි සාර්ථක නොවේ. අසමගියෙන් කල් ගෙවයි. කිසිදු සෞන්දර්යය රස බවක් නොමැත. මෙහිලා හත අධිපතියා නපුංශක ග්‍රහයින්ගේ නැකැත්වලද සිටි විටත් එම නැකැත හිමියාද නපුංශක ග්‍රහයකුගේ නැකැතක සිටි විටත් දාරක සම්පත් අහිමිවේ. මෙහිලා සඳහන් කරන්ට යෙදුණේ සමස්තයක් ලෙස ග්‍රහ හැසිරීම් රටාවට අනුබද්ධව යුගදිවියේ රස නීරස ඇතිවන ආකාරය ගැන විමසා බැලීමකි. තවත් බොහෝ කරුණු කාරණා පරිදි යුගදිවියට බලපෑම් ඇතිවන ග්‍රහ විෂමතා ලක්ෂණ ඇත්තේ ය.
ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී. හෙන්රි බෙම්මුල්ල