හඳහනේ හත, අටට පාපයන් ආවොත් විවාහයට අසුබයි

මාර්තු 11, 2022

හත සහ අට යන භාවයන් ජන්ම පත්‍රයක අශුභ ස්ථාන වශයෙන් සැලකීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. මෙයට හේතුව 7 -8 යන සංඛ්‍යා දෙකේ පවතින අශුභ ස්වභාවයක් කාල පුරුෂයාගේ දේහය සම්බන්ධයෙන් බලන විට මූත්‍රාශය ලිඟු ප්‍රදේශය වස්ති මාර්ගය ආදි අපිරිසුදු ස්ථාන එම භාවයන්ගෙන් නියෝජනය වීමත් ය. භාවපල විග්‍රහය අනුව හත්වැන්න සහකාරිය හෝ සහකරු ගැනත් අටවැන්න මරණය ගැන කියයි. විවාහය සම්බන්ධයෙන් 7 -8 භාව දෙකට සම්බන්ධ වීමට හේතුව 8 න් කියවෙන මරණය විවාහයෙන් අවසන් වීමට ප්‍රධාන හේතුවයි. මේ නිසා විවාහය ගැන බැලීමේදී හත්වැන්න සහ අටවැන්න බෙහෙවින් පරීක්ෂා කළ යුතුය. හත සහ හත අධිපතියා විවාහයේ ප්‍රබල බලපුළුවන්කාරයා වෙයි. විවාහයක් අසාර්ථක කිරීමටත් හොඳින් පවත්වාගෙන යාමටත් ඔහුට අවකාශ තිබේ. මෙහිදී ඔහුගේ නෛසර්ගික පාප පුන්‍ය ස්වභාවයක් ලබන දෘෂ්ටි හා පලාපල තත්ත්වයන් නිරීක්ෂණය කළ යුතුවේ. 7 අධිපතියා 8 සිටීමද 7 -8 අධිපතීන් යෝගව සිටීම ද 7 අධිපති චන්ද්‍රයාගෙන් 8 වැන්නේ සිටීම ද ඉතාම බලවත් වැන්දඹු යෝග ලෙස දක්වා තිබේ. යුවතිපති දෙදෙනාගෙන් එක් අයකුට මරණය ගෙනදීම වැන්දඹු යෝගයේ අනිෂ්ට ප්‍රතිඵලයි.

 

හත , අට පාප පීඩිත වීම හේතුවෙන් විවාහය අසාර්ථක වන අන්දමේ ග්‍රහයෝග තත්ත්වය විමර්ශනයක් මිළඟට ඉදිරිපත් කරමු. නෛසර්ගික පාපියෝ සෙනසුරු රවි, කුජ, රාහු සහ කේතුය. අවපස සඳුද පාප සංයෝග වූ බුද පාප ගණයෙහි ලා ගැනේ. ශුභ ග්‍රහයින් වශයෙන් ගැනෙන්නේ ගුරු සිකුරු, දෙදෙනා පමණයි. විවාහ කාරණයෙහි සිකුරු මූලික වන නමුදු ඒ ගති ස්වභාවය අනුව පමණක් මෙලොව ඇතිතාක් සැපත්වලට සිකුරු ආධිපත්‍ය දරයි. එසේ නැතුව කෙනකුගේ විවාහයක් ඉටුකොට එය සාර්ථකව පවත්වාගෙන යාමට ඔහුට බලයක් නැත. කලත්‍ර කාරක හත්වැන්නාධිපතියා පාපියෙක් වූ කල (වෘෂභ, සිංහ, කටක, තුලා) රාශිවලින් උපන් අයට හත අධිපතියා හෙවත් විවාහ කාරකයා පාපියෙක් වෙයි. අවපස උපන් මකර ලග්න හිමියන්ට ද එසේම වෙයි. එකී ග්‍රහයා හතේම හෝ හත පෙනී සිටීම විවාහය සම්බන්ධයෙන් බරපතළ විපාක ගෙනදීමට හේතුවන බව ඔප්පු වී තිබේ. මීළඟට හතට වැටෙන පාප දෘෂ්ටි ගැනද බැලිය යුතුය.

සෑම ලග්න හිමියෙකුගේම හත්වැන්නට පාප දෘෂ්ටි එල්ලවිය හැකිය. කුජ ලග්නය හතර දොළහ (1,4,12) ස්ථානවලින් කොතනක හිටියත් හත්වැන්න දූෂිත වේ. ශනි ලග්නයේ සිටියත් එසේ පීඩිත වේ. රාහු කේතු ලග්නගත වීමද 7 වැන්න පීඩිත වේ. සෙනසුරු 1,5,10 යන ස්ථානයක සිටියත් එසේය. දෘෂ්ටි අනුව සිදුවන මෙය නිසා ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ පාපාංශක සමාන වීමට තරම් ප්‍රබල නොවී දුරස්ථව පැවතිය හොත් මරණය හෝ උසාවියෙන් කෙළවර වන විවාහයකට ජන්මියා ඇද ගැටීම ගැන සැකයක් නැත. 8 වැන්නට පාප දෘෂ්ටි එල්ල වූ පමණින්ම හෝ පාප ග්‍රහ සංයෝග වූ පමණින් විවාහය සම්බන්ධව බලපෑමක් ඇති නොකෙරේ. අටවැන්න විවාහය සම්බන්ධයෙන් බලපාන්නේ හත අධිපතියා එහි සංයෝග වී සිටියොත් පමණි. කුජ 7 හෝ 8 සිටීම භෞම දෝෂයයි. වෛධවය දෝෂය කියන්නේ එයටයි. මෙසේ වූ විට දෙදෙනාගෙන් කෙනෙකුට අකල් මරණයක් ගෙන දේ. එවිට වන්නේ ඒ විවාහය එතනින් කෙළවර වීමයි. 7-8 ස්ථාන දෙක අඟහරුගෙන් පීඩා වූ විට ඉක්මන් විවාහවලට පෙලඹීමද පසුව පසුතැවිලි වීමට ද සිදුවේ. ශනි ගෙන් පීඩා වූ විට ගෙදරටම නාකිවන අතර බොහෝ ප්‍රමාද වී විවාහය සිදු කෙරේ. සෙනසුරු 7 සිටීම වගේම අට වැන්නේ සිටීම ද නරක බව මෙයින් පැහැදිලි වේ. රාහු, කේතු නිතරම සප්තමව සිටින හෙයින් එක් අයකුගෙන් පීඩා වූ විට අනෙකා ලග්නගත වේ. මෙසේ හෙයින් විවාහය සම්බන්ධව ඉතා අනර්ථකාරි සිදුවීම්වලට මුහුණපෑමට සිදු වේ.

කිසියම් ජන්ම පත්‍රයක 1 - 7 භාවයන්හි මෙම ග්‍රහ යුවළ සිටියහොත් ගුරු 5 -9 යන ස්ථාන දෙකක සිටීමෙන් අරිටු විපාක බොහෝ දුරට අඩුවේ. එවිට හත අධිපතියා බලවත් වූයේ නම් ඉතා වාසනාවන්ත විවාහයකට මඟ පෑදේ. අව සඳු පාපියෙකු වුවත් 7 - 8 ස්ථාන ගත වූ විට විවාහයට බාධා ඇතිකරන්නේ නැත. සඳුගෙන් 7 වැන්න පාප පීඩිත වූ විට බලපෑම් ඇති කරයි. රවි හත්වැන්නට බොහෝවිට අහිතකරයි. එසේ වූ විට පුරුෂ ජන්ම පත්‍රයක නම් පුරුෂයා වීර්ය හීන පුද්ගලයකු වීම නිසා විවාහය අසාර්ථක වීමට හේතුවේ. රවි – ශනි යෝගව හත් වැන්නේ වීමද රවි – කුජ යෝගව අට වැන්නේ වීමද දිළිඳුකමින් හා අඟහිඟ කම්වලින් වෙළීගිය ස්වාමියා ඉතා දිළින්දෙක් වන විවාහය කට එළඹෙන බව කිව යුතුය. 7 -8 යන ස්ථාන දෙක පාපයින්ට සතුරු නීච ස්ථාන වී ඇත්නම් මේ තත්ත්වය තවදුරටත් අයහපත් වීමට හේතුවන බව වටහා ගත යුතුය.

රවි, කුජ , ශනි යන තිදෙනාම 7 -8 යන ස්ථානවලින් එකක සිටියේ නම් මුළු ජීවිත කාලයම අවිවාහකයකු වශයෙන් සිටින අතර අස්වාභාවික ලිංගික ක්‍රියාවලට පෙලඹී ශාරීරික හා මානසික වශයෙන් රෝගී බවට පත් වේ.

 

 

ඡ්‍යොතිෂවේදී

උපාලි සෙල්ලහේවා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.