විවාහ දොස් දුරු කරන පිරිතේ බලය

පෙබරවාරි 18, 2022

වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාගය විවාහයයි. අපට අවශ්‍ය ලෙස කළ යුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලබෙන විවාහය මිනිස් ජීවිතයේ අතිශයින් වැදගත් සාධකයකි.

එබැවින් සාර්ථක විවාහයක් සඳහා ස්ත්‍රියක හා පුරුෂයකු ගැළපීමේදී ඔවුන්ගේ කේන්ද්‍ර තුළ ඇති ග්‍රහ ගැළපීම් නොගැළපීම් දෙස දැඩි අවධානය යොමු කිරීම උගත් වැදගත් ඡ්‍යොතිෂවේදීයාගේ මහඟු යුතුකමකි. පොරොන්දමට පමණක් සීමාවී ග්‍රහ ගැළපීම් නොබැලීම තුළ අද වන විට ලංකාවේ දික්කසාද පෝලිම දිනෙන් දින දිගු වෙමින් පවතී.

විවාහය වනාහි ආත්මීය බැඳීමකි. සංසාරගත බැඳීමක සොඳුරු ඵලය විවාහයයි... විවාහය ආත්ම හතක බැඳීමක් බව හින්දුන්ගේ මතයයි. ආත්ම ගණනාවක් පාරමී දම් පුරමින් එකට එන සිදුහත් යශෝදරා විවාහය සසර දුකින් අත් මිදෙන අවසන් බවය තෙක්ම එකිනෙකා පතාගෙන ආ සොඳුරු බැඳීමකි. එය ගෞරවයෙන් සිහිකළ යුතුය.

මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහෛාත් උපත, ජීවිතයේ දෙවන උපත විවාහය වන අතර තෙවැන්න මරණය හෙවත් මනුෂ්‍යයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. විවාහය යනු

පුද්ගලයාගේ දෙවන උපතයි. පුද්ගල ජීවිතයේ සැපත මෙන්ම විපතද රැඳී ඇත්තේ විවාහය තුළයි. කෙනකුට විවාහය කරුමයකි. තවත් කෙනකුට විවාහය රාජ උරුමයකි. එසේම සාර්ථක පුරුෂයකු පිටුපස යහපත් ස්ත්‍රියක් සිටිනවා සේම සාර්ථක ගැහැණියක් පසුපස යහපත් පුරුෂයකු ද සිටිය යුතුය.

කෙනකුගේ විවාහය නිසි කලට නිසි ලෙසට නිසි වයසටම සිදු වෙනවා. විවාහ ජීවිතය අතිශය සාර්ථකයි. සියලු දේ ලැබෙනවා ඔවුන් සතුටින් සමඟියෙන් ජීවත් වෙනවා. විවාහයෙන් පසුව ටිකෙන් ටික දියුණුව සැලසෙනවා. වාසනාවන්ත දරු සම්පත් ලබනවා. ඒත් තව කෙනකුගේ

විවාහයේ මේ කිසිවක් නෑ. නිසි වයසත් ටිකෙන් ටික ගෙවිලා යනවා. රූපයෙන් අඩුවකුත් නෑ. දේපළ රැකියාව වැනි දේත් සම්පූර්ණයි. නමුත් විවාහ වාසනාව තවම ලැබී නැහැ. නමුත් අර සියල්ල නැති අයත් ඉක්මනින් විවාහ වෙලා නේද ?

මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවී තිබෙනවා. ඒක හරිම පුදුම සහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඉසිවරු අතට පත් කරන්නට ඇත්තේ ද යහපත් මිනිස් සමාජයක් ගොඩනැඟීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල් වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය ඇතුවයි. එම නිසා ජීවිතයේ දෙවන උපත ලෙස සැලකෙන විවාහය තුළට ද අපට මේ ඡ්‍යොතිෂයෙන් බොහෝ දේ උකහා ගත හැකියි. අප විසින් පෙර භවයේ සිදුකරන ලද කිසියම් අකුසල කර්මයක එල විපාක ලෙස මේ භවයේ විවාහ ජීවිතය අවුල් වීමට, බිඳ වැටීමට හෝ ප්‍රමාදයකට මුහුණ දීමට, උරුම නම් එකී කාරණා කල් වේලා ඇතිව දැන ගැනීමටත් එයට නිසි පිළියම් යෙදීමටත් හැකි සාධනීය හා විද්‍යාත්මක එකම ක්‍රමය තමාගේ ජන්ම පත්‍රයයි.

එය පළපුරුදු උගත් පින්වත් මුදල් මතම නොයැපෙන ඡ්‍යොතිෂවේදියකුගෙන් විග්‍රහ කර ගැනීම තුළ විවාහයක ආත්මගතවූත් සංසාරගතවූත් බැඳීම එකිනෙකාට ඇති හුරුපුරුදු බව මනා ලෙස හඳුනා ගත හැකියි. කර්ම චක්‍රය උපතේදී ම සටහන්ව ඇති ජන්ම පත්‍ර පරීක්ෂාව මගින් ද යහපත් විවාහ දිවියක් ගත කිරීම සඳහා දෙදෙනා අතර සංසාරික හුරු පුරුදු බවක් පැවතීම විවාහක යුවලගේ හෝ විවාහ වීමට අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍රවල ඇති ගැළපීම් නොගැළපීම් මගින් දෙදෙනාගේ ආත්මීය හුරු පුරුදු බව ද අනාවරණය කර ගත හැකිය......

එසේ නම්

විවාහ ප්‍රමාද වීම්, විවාහ ගැටලු, දික්කසාද වැනි විවාහ බිඳ වැටීම් වන්නේ ඇයි?

ඒකට මෙන්න මේ වගේ විවාහ දෝෂ රාශියක් බලපානවා

7 අධිපති හෝ සිකුරු 22 වන දෙර්කාණාධිපති වීම

භෞම දෝෂය - ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් 1 2 4 7 8 12 යන ස්ථානවල කුජ ග්‍රහයා සිටීම.

බේමදෘම දෝෂය

විෂ කන්‍යා යෝගය

කඩහන්දි යෝගය

වෛධව්‍ය දෝෂය

ස්ත්‍රී කේන්ද්‍රයේ පුරුෂ මර යෝග

පුරුෂ කේන්ද්‍රයේ ස්ත්‍රී මර යෝග

නාශාංශකදෝෂය

අති ධාවන කාම යෝග

බහු විවාහ දෝෂ

සිකුරු 7 අධිපති පාපකර්තරී වීම

සිකුරු 7 අධිපති 64 වන නවාංශකාධිපති වීම

වඳ දෝෂ

07-08 පරිවර්තන යෝගය

07 අධිපති 8 වැන්නේ සිටීම

විවාහ කාරක සිකුරු /7 අධිපති 6 8 12 රාශි ගත වීම

ශනි මංගල යෝගය (සෙනසුරු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දුෂ්ටියෙන් සිටීම)

චන්ද්‍ර මංගල යෝගය ( සඳු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දුෂ්ටියෙන් සිටීම )

ඒ අතරින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා 7 වැන්න හා විවාහ කාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ඡ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතුරින් 22 වන දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත් ලෙස සැලකේ. ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථාන අධිපති ග්‍රහයකු එම කේන්ද්‍රයේ ඉහත 22 වන දෙර්කාණාධිපති හා සම්බන්ධ වූ විට එම ස්ථාන ඵලවලට දැඩි බාධාකාරි බලපෑම් එල්ල වෙයි. විවාහ ස්ථාන වන 7 වැන්න හා සම්බන්ධ වූ විට එම විවාහ ඵලවලට එල්ල වන බලපෑම් පහත කේන්දර අනුසාරයෙන් සාකච්ඡා කරමු.

මෙම 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා විවාහ ස්ථානය වන 7 වැන්නේ තැම්පත් වීම, 7 අධිපති වීම, 7 වැන්නට දෘෂ්ටි හෙළීම හෝ 7 වැන්නා සමඟ යෝග වීම හා කුමන ආකාරයෙන් හෝ විවාහ ස්ථාන හා සම්බන්ධ වීම මේ සඳහා මූලික වෙයි.

මෙසේ තමන්ගේ කේන්ද්‍රය තුළ 22 දෙර්කාණාධිපති ග්‍රහයා විවාහයට අසුබ ආකාරයට පිහිටා විවාහය දෙදරා ගිය අවස්ථා මෙන්ම විවාහ දිවියට ඇතුළු වීමට වාසනාව නොලද අවස්ථාද අප වෙත පැමිණෙන සේවාදායකයන්ගේ කේන්ද්‍ර පරීක්‍ෂාවේදී බොහෝ ප්‍රමාණයක් හමු වී ඇත. විශේෂයෙන්ම සමහර අවස්ථාවල මෙම 22 වන දෙර්කාණාධිපති ඇතැම් ලග්න හිමියන්ට යෝග කාරක ග්‍රහයකු විය හැකි අතර කේන්ද්‍රයට බලවත්ව ද පිහිටා තිබිය හැකිය. එවැනි අවස්ථාවලදී මෙම 22 වන දෙර්කාණාධිපතියාගේ පාපී බව යම් ප්‍රමාණයකට අඩු වී සුබ ඵල ලබාදීමෙහි හැකියාවක් ඇත. එබැවින් 22 වන දෙර්කාණාධිපතියා සෑම අවස්ථාවකදීම අසුබව ප්‍රතිඵල ලබාදෙන ග්‍රහයකු ලෙස නොසැලකිය යුතු අතර ඒ පිළිබඳව ගැඹුරින් තර්කානුකූලව විමර්ශනය කළ යුතුය. එම නිසාවෙන් විවාහයක් සඳහා දෙදෙනකුගේ ජන්මපත්‍ර ගැළපීමේදී මෙම බාධාකාරී 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීම තුළ විවාහයේ ගැටලු හා ප්‍රශ්න අඩු ශ්‍රී සෞභාග්‍යයෙන් පිරි යහපත් විවාහ ජීවිතයක් අපේක්‍ෂා කළ හැකිය.

විවාහය සඳහා ඇතිවන ග්‍රහ බාධාවන් සමනය කළ හැකි අතර කළ යුතු ග්‍රහ ශාන්ති කර්ම මොනවාද යන්න පිළිබඳව ද අප සලකා බැලිය යුතුය. නිවැරැදි පෞද්ගලික කේන්දර පරීක්ෂාවක් තුළින් අපට විවාහය සඳහා ඇතිවන බාධා මොනවාද කියා ඉහත සඳහන් ආකාරයට හඳුනා ගත හැකියි. ඒ අනුව එයට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කළ යුතු අතර මේ සඳහා බෝධිපූජා, පිරිත් සූත්‍ර සජ්ඣායනය, සෙත්කවි ගායනා , නවග්‍රහ පූජා යන්ත්‍ර පැලඳීම්, මංත්‍ර භාවිතය, දේව පූජා වගේ ග්‍රහ ශාන්ති කර්ම ඉටු කළ යුතු වෙනවා. එවිට ග්‍රහ අපල දුරු කර ගත හැකියි.

ඉහත සඳහන් දෝෂ යෙදී ඇති නමුදු 7 වැන්න අධිපතියා බලවත් ද 7 වැන්නට කාරක වන සිකුරු බලවත්ව පිහිටා ඇත්ද අඹුදරු ජීවිත සම්බන්ධයෙන් බෙහෙවින් ප්‍රමුඛස්ථානයක් ගන්නා දෙවැන්නේ දී ඉහත සඳහන් දෝෂ බෙහෙවින් අහෝසි වනු ඇත.

පූර්ව ආත්මයන්වල අප විසින් සිදු කළ අකුසල කර්මයන් යටපත් කර අහෝසි කිරීමේ අති මහත් වූ මහඟු ශක්තියක් අප පිරිත් පොතේ එන සෙත් පිරිත් තුළ ගැබ්ව ඇත. කුජ දෝෂ, ශනි මංගල දෝෂ, ඇතුළු සියලු විවාහ ප්‍රමාද දෝෂ දුරු කිරීමේ ශක්තියක් අති ප්‍රබල දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤා්ජර පිරිත තුළ පවති.

පහත සඳහන් ආකාරයට ඔබත් මෙම අති ප්‍රබල දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤා්ජර පිරිත භාවිත කර සහනය සලසා ගන්න. ගව, සූකර ඇතුළු සියලු මස් මාංශ කෑමෙන් හා මත් පැන්, දුම් වැටි පානයෙන් මිදී පස් පවින් වැළකී ධාර්මික දිවි පෙවතක් ගත කරමින් පංචශීල ප්‍රතිපදාවේ පිහිටා සිට තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස වෙන් කරගත් වේලාවක් තුළ බුදුරජාණන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් හා ගිලන් පස තබා තෙරුවන් නමදින්න. ඉන් අනතුරුව මේ සමඟ ඇති අති ප්‍රබල දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤා්ජර පිරිත බුදුරජාණන් වහන්සේ වන්දනා කරන විට කියන්න.

ඉහත අසුබ දෝෂ ඇතිව විවාහය නිසි කලට සිදු නොවූ හා විවාහ වූ අය අතර ඇති විවාහ බාධා හා අසුබ සම්බන්ධතා ඇතිව දැනටමත් විවාහ වී සිටීනම් හෝ ප්‍රේම සම්බන්ධතාවක් පවතී නම් එම අය සඳහා නිසියාකාරව පහත සඳහන් අති ප්‍රබල නිවැරැදි ප්‍රතිඵල සහිත චූල ඡිනපඤ්ර පිරිතෙන් 1907 (යන්ත්‍රය) වතාවක් සුදු හඳුන් තෙල් හෝ රන් තැඹිලි තෙලින් ජපකර පැලඳි යුතුය. එම ක්‍රමය අනුගමනය කිරීම තුළින් 95% පමණ ආරක්‍ෂාව හා විවාහ ප්‍රශ්න සඳහා නිසි සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. මෙය අප අත්දුටු ප්‍රතිකර්මයකි.


දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤා්ජර පිරිත

දිසාසු දස භාගෙසු -

ඨිතා බුද්ධානු භාවතො

වෙරපිඅන්තරායාපි -

විනස්සන්තිඅසෙසතො

එවමාදි ගුණොපෙතං -

පිරිත්තං තං භණාමහෙ

පදුමුත්තරෝ පුරත්ථිමායං -

අග්ගිම්හිචෙච රෙවතො

දකඛිණො කස්සපො බුද්ධො -

නෙරුතෙ ච සුමංගලො

පච්ඡිමෙ ච සිඛි බුද්ධො -

වායව්‍යා මෙධංකරො

උත්තරො පියදස්සී ච -

ඊසානෙ දීපංකරො

පථව්‍යා කකුසන්ධො ච -

අකාසෙ සරණංකරො

අචිචන්තරායා සබ්බේ තේ -

සොක රොග භයාපි ච

විනස්සංතු සදා තුය්යං සබ්බ්රියා පථෙසු ච

යක්ඛාදී දෙවතාභී ච රාඡ චොරාරි අග්ගිහි

අමුනස්සෙහි සබ්බෙහි -

තිරච්ඡාන ගතෙහි ච

ඡාතා උපද්දවා සබ්බේ -

විනස්සන්තු අසෙසතො

සිරස්මි තෙ බුද්ධ සෙට්ඨො -

සාරිපුත්තො ච දකඛිණෙ

වාමයංසෙ මොග්ගල්ලානො -

තෙ පුරතො පිටකත්තයං

පචඡිමෙ තව ආනන්දො -

චතුද්දිසා ඛිණාසවා

සමන්තා ලොකපාලා ච -

ඉන්දදෙවො ච බ්‍රහ්ම ච

එතෙසං ආනුභාවෙන -

සම්බූපද්දවුපද්දවා

අනෙකා අන්තරායාපි -

විනස්සන්තු අසේසතො

ඉහත සඳහන් පිරිත කියන විට තමාට කියන විට (මේ) යන්නත් අන් අයට කියන විට (තේ) යන්නත් යොදා කියවිය යුතුය.

පහත සඳහන් දේවල් ද අනුගමනය කිරීම විවාහ දෝෂවලට සුබ දායක වනු ඇත.

හැකි සෑම විටකම තමා කන බත් පතෙන් මිටක් ඉඟිලී යන සතකුට කෑමට දෙන්න.

සිල්වත් භික්ෂූ, භික්ෂූණීන්ට, අසරණ පුද්ගලයන්ට දාන මාන දීම, සිවුරු, අට පිරිකර හා කහ කුඩ පූජා කිරීම ඉතාම ගුණදායක වනු ඇත.

ගලා යන ජලයේ ජීවත් වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.

කුරුල්ලන් ජෝඩු වශයෙන් නිදහස් කරන්න.

නෑදෑ හිතවතුන්ගේ හා යාළු මිත්‍රාදීන්ගේ මංගල උත්සව සඳහා ශ්‍රමයෙන්, ධනයෙන් තමන්ට හැකි පමණ උදව් උපකාර කරන්න.

විවාහ වන්නන්ට හිත සිතින් සුබ පතා උදවු උපකාර කරන්න. විවාහක අයට උදවු උපකාර කරන්න.

වෙහෙර විහාර තැනීමේදී ශ්‍රමයෙන් හා මුදලින් උපකාර කරන්න.

කුඩා දරුවන්ට රසකැවිලි, ආහාර, ඇඳුම් පැලඳුම්, පොත් පත් අවස්ථානූකූලව ලබා දීමෙන් උදව් උපකාර කරන්න.

මරණයට කැපවූ ගවයන් හා අනෙකුත් සතුන් නිදහස් කිරීමට උදව් උපකාර කරන්න. හිංසාවෙන් වැළකී හැකි සෑම විටම සියලුම සතුන්ට කෑම බීම ලබා දෙන්න.

ග්‍රහ ශාන්ති කර්මවල නිරත වන දිනවලදී හා අදාළ අපල කාරක ග්‍රහයාගේ අදාළ දිනවල නිර්මාංශ ආහාර ගැනීම ඉතාම සුබදායක වනු ඇත.

නැඟෙනහිරට හා දකුණට හිස දමා නිදා ගැනීම සුබ දායකයි. (වයඹ, ඊශාන, නිරිත සාමාන්‍ය සුබ වෙයි) ඔබත් ඉහත සඳහන් අති ප්‍රබල දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤා්ජර පිරිත නිසි ලෙස භාවිත කොට යහපත් ප්‍රතිඵල ඇති කර ගන්න.

 

 

ඡ්‍යොතිෂවේදී,

බණ්ඩාරගම,

සම්පත් එස් කල්පගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.