උපන් නැකැතින් ‍ෙහළිවන කෙනකුගේ චරිත ලක්ෂණ

ජනවාරි 7, 2022

යම් කෙනෙක් මෙලොව ජනිත වූ මොහොතේ ක්ෂිතිජයේ පිහිටා තිබූ ග්‍රහ තාරකාවන්ට අනුව ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය සැකසේ. ඒ අනුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ උපන් වේලාවට අනුව නැකැත් හිමිවේ.

 

අස්විද නැකැත

මෙම නැකැතින් උපත ලැබූ අයට ධන සම්පත් ලැබීමේ වාසනා ගුණය ඇත. දුටුවන් පිනවන රූප ශෝභාවක් හිමිය. යහපත් කතා විලාශයක් ඇත. දේව භක්තියෙන් ජීවත්වෙන ඔවුන් කිසිවකුගේ සිත් රිදවීමට අකමැතිය. වැඩිහිටියන්ට සලකන උසස් ගුණයෙන් යුතු ඉවසන සුළු ගති පැවතුම් ඇත.

බෙරණ නැකැත

මෙම නැකැතින් උපන් අය සැපවත් සුන්දර හා නීරෝගි සැහැල්ලු ආහාරපාන අනුභව කරන්නෝ ය. කාමුක හැඟීම් වැඩි වශයෙන් බලපාන අයයි. බොහෝ විට නුවණැත්තන් ලෙස ක්‍රියා කරයි. මෙම නැකැතින් උපන් කාන්තාව දුෂ්ටය. චරිතය අපිරිසුදු ය. නිතරම අන් අය සමඟ උරණ වන නපුරු ගති පැවතුම් ඇත.

කැති නැකැත

කැති නැකැතින් උපන් අය අධික මානයෙන් යුතු නොඉවසනසුළු අයයි. බුද්ධිමත්කමින් උසස් සමාජය් ඉහළ තනතුරු හා ගරු නම්බුනාම ලැබීමට වාසනාව ඇත. ත්‍යාගශීලීය. මෙම නැකැතින් උපත ලබන කාන්තාවට දුර්වල ශරීරයක් හිමිය. මෙවැනි කාන්තාවන්ට සමාජය හිතකර නොවේ. සැපින්නක් සේ් නිතර කිපෙන සුළු ය.

රෙහෙණ නැකැත

රෙහෙණ නැකැතින් උපත ලද අය නිර්මල හදවතකින් යුතු ක්‍රියාශීලී අයයි. පියකරු පෙනුමකින් කාගේත් ගෞරවය දිනා ගන්නෝ වෙති. මෙවන් අය මාපියන්ට වඩාත්ම ආදරය කරයි. කාන්තාවක් නම් තම ස්වාමිපුරුෂයාට ඉතා ආදරයෙන් හා භක්තියෙන් යුතුව සලකන්නීය. ආගමට වඩාත් ළැදිය.

මුව සිරස නැකැත

මෙම නැකැතින් උපන් අය චපල ගති ඇති, ධනවත්, උත්සාහවන්ත, බුද්ධිමත්, සාමකාමී අයයි. ඡ්‍යොතිෂයට ඇලුම් කරයි. මෙම නැකැතින් උපන් කාන්තාවගේ කතා විලාශය කාගේත් දෙසවන් පිනවන සුළුය. ආත්ම ගෞරවය සිය ප්‍රාණය මෙන් ආරක්ෂා කරයි. අවංකබව අගය කරන ඔවුන් ස්වාමිපුරුෂයාට ඉමහත් භක්තියක් ඇත.

අද නැකැත

අද නැකැතින් උපන් අය කිපෙන සුළු ගතිය නිතර දක්නට ඇත. අති පණ්ඩිතයකු මෙන් කතා කිරීමට දක්ෂය. දේවභක්තියෙන් යුත් මොවුන් අධික ලෙස වියදම් කිරීමට මැළි නොවේ. සෙම්, පිත් වැනි රෝග පීඩාවන්ගෙන් පෙළීමට සිදුවේ. වැරදි ක්‍රියාවන් අවබෝධ කිරීමෙන් නිසි පරිදි කටයුතු කිරීමට දක්ෂය.

පුනාවස නැකැත

උගතුන්, බුද්ධිමතුන්, නැණවත් හා සමාජයේ ගරු නම්බුනාම ලබන අය මෙම නැකැතින් උපත ලබයි. ඔවුන් තමන්ගේ ආත්ම ගෞරවය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන බැවින්, හොර, බොරු වංචා ආදිය බෙහෙවින් අපි‍්‍රය කරයි. ඒවා දැඩි ලෙස හෙලා දකිති. ආගමික හා සමාජ සේවා වැනි කටයුතුවලට ළැදිය.

පුෂ නැකැත

මෙම නැකැතින් උපන් අය මිහිරි වචන කතා කරයි. දීර්ඝායුෂ විඳීමේ වාසනාව ඇත. අන්‍යයන්ට සංග්‍රහ කිරීමට දක්ෂය. පියකරු රූසපුවක් හිමි ඔවුන් ඡ්‍යොතිෂයට ළැදිය. උපන් වර්ෂ 13, 16, 19, 27, 64 යන වර්ෂවල නම් තදබල අපල පෙන්වයි.

 

අස්ලිස නැකැත

අස්ලිස නැකැතින් උපන් අය පාප ක්‍රියාවන්ට ළැදිය. අහංකාරකම හා කුහකකම හැමවිටම හිතේ දරාගෙන සිටියි. මෙම නැකැතින් උපන් කාන්තාව කාන්තිමත් නෙත් ඇත්තියකි. යහපත් ගුණධර්මවලින් පිරි ඇය අහිංසකය. වස්තු සම්භාරයකට හිමිකම් කියන්නීය.

මා නැකැත

මෙම නැකැතින් උපන් අයට බොහෝ වස්තු සම්පත් ලැබීමේ වාසනාව ඇත. හැමවිටම ආත්ම ගෞරවය ආරක්ෂා වන අයුරින් ක්‍රියා කරයි. එකමුතුකම අගය කරයි. තමාට හතුරුකම් කළ අය සමඟ ද සහයෝගයෙන් කටයුතු කරයි. සැප විඳීමට වාසනාව ඇත. උපන් වර්ෂ 5, 7, 10, 13 වර්ෂවල රෝගාබාධවලට හේතු වේ.

පුවපල් නැකැත

සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට මෙම නැකැත හිමි අයට වාසනාව ඇත. ඉගෙනීමට ඉමහත් දක්ෂතාවයක් දක්වයි. මෙම නැකැතින් උපන් කාන්තාව යහපත් දිවිය සතුටින් ගත කරන්නීය. වාසනාවන්ත එමෙන්ම කෙලෙහිගුණ දන්නෝ වෙති.

උත්‍රපල් නැකැත

ප්‍රතිපත්ති නිසි ලෙස රකින අය වෙති. ධන ධාන්‍යවලින් ද ඔවුනට අඩුවක් නොවේ. කාර්යශූරය. මෙම නැකැතින් උපත ලද කාන්තාව සියලු සැප සම්පත් ළඟා කරන්නීය. තම ගෘහ ජීවිතය මනාසේ ආලෝකමත් කරගනී. නිරෝගී සිරුරක් හිමි ඇය ඥාතීන්ගේ ද සැළකිලි ලබන්නීය.

හත නැකැත

මෙම නැකැතින් උපන් අයට මහා ඥාන ශක්තියක් ඇත. සුව පහසු ජීවිතයක් ගත කිරීමේ වාසනාව හා විද්‍යා ශාස්ත්‍රයන්හි මනා දැනුමක් ඇත. කාන්තාවන්ගේ නම් අත් පා අවයවවල අමුතු කෝමල ගතියක් ඇත. ධාර්මික දිවියක් ගත කරන්නීය. නෙත්වල දීප්තිමත් ගතියක් දිස් වේ.

සිත නැකැත

දුටුවන් පි‍්‍රය කරන රූප සම්පත්තියක් ඇත. හැමවිටම සාධාරණත්වය අගය කරයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය අගය කරයි. මෙම නැකැතින් උපන් කාන්තාව වටිනා කනකර ආභරණ පළඳින්නියකි. චරිතය එතරම් ශුභදායක නොවේ. පුරපස හා අවපස තුදුස්වක දිනවල උපත ලද නම් ශුභයි.

සා නැකැත

සත්‍ය කතා කරන සතුරන්ගෙන් ජය ලබන අයෙක් වෙයි. බොහෝ අය ඇසුරු කරන නිසා කා අතරත් සැලකිලි ලබයි. මෙම නැකැතින් උපන් කාන්තාව බොහෝ වස්තු සම්භාරයකට උරුමකම් කියන්නීය. ආත්ම ගෞරවය ප්‍රාණය මෙන් ආරක්ෂා කරන්නීය.

විසා නැකැත

මෙම නැකැතින් උපන් අය බොහෝ ධාර්මිකය. සමාජ සේවය හා සුබ සාධක වැඩවලට ඇප කැප වී ක්‍රියා කරයි. කාන්තාවක් නම් මනා රූ සපුවකින් යුත් කෝමල ගති පැවතුම් ඇත. විනයානුකූල චරිතය ඇයට ආභරණයක් බඳුය.

අනුර නැකැත

මෙම නැකැතින් උපන් අය ඉතාමත් නිහතමානී කාගේත් පැසසුම් ලබන අය වේ. තැන්පත් ගති ගුණවලින් යුක්තය. කාර්යශූර ගතියක් පෙන්නුම් කරයි. කාන්තාවක් නම් ධන සම්පත් හිමි ඉතා වාසනාවන්ත දිවියක් ගත කරන්නී ය.

දෙට නැකත

බුධ ග්‍රහයට අයත් දෙට නැකැතින් උපන් අය ඉතාමත් බුද්ධිමත් වෙති. කතාවෙන් මෙන්ම ලිවීමේ ඉගැන්වීමේ දක්ෂයෝ වෙති. තැන්පත් ගති ගුණ ඇති ඔවුන් තම ජීවිතය කරදරකාරි බවින් තොරව තම අඩුපාඩුකම් සපුරාගෙන දිවි ගෙවන්නෝය. එසේ වුවත් දෙට නැකැතින් මල්වරවූ කාන්තාවෝ ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන්නෝය. බොහෝ විට වරදෙහි බැදෙන ඔවුන්ගේ දරුවන්ද අවාසනාවන්තය. අකීකරුය.

මුල නැකැත

මෙම නැකැතින් උපත ලද අය හුදෙකලාව සිටීමට කැමතිය. ඉගෙනීමට දක්ෂතාවයක් ඇතත් ඉන් ප්‍රයෝජන ගැනීමට වාසනාවන්ත නොවේ. කඩිසරකම හා ක්‍රියාකාරීත්වය අඩුය. හැමවිටම උදාසීනව කටයුතු කරයි.

පුවසල නැකැත

මෙම නැකැතින් උපන් අය බලවත් අධිෂ්ඨාන ශක්තියකින් යුතු යහපත් කටයුතු කෙරෙහි හැමවිටම යොමුවන සත්‍ය වචන නිතර කතා කරන අය වේ. පළල් ඇස්වලින් හා මනා ශරීරයකින් යුක්තය. තරමක අහංකාර ගතියක් ද ඇත.

උත්‍රසල නැකැත

මෙම නැකැතින් උපන් අය සමාජයේ කීර්තියට ලක්වෙයි. පී‍්‍රතිමත් විනෝදකාමී දිවියක් ගත කරයි. ශූර වීර කම්වලින් ජනයා අතර ප්‍රසිද්ධ වෙයි. කාන්තාවක් නම් සිය ස්වාමි පුරුෂයාට උසස් අන්දමින් සලකන්නීය. ලස්සන දූ දරුවන් ලැබීමට වාසනාව ඇත.

සුවන නැකැත

දුරදිග බලා කටයුතු කරන ගුණ ගරුක අයෙක් වෙයි. ගුප්ත ශාස්ත්‍ර ආදියට මහත් ලැදිකමක් දක්වයි. මෙම නැකැතින් උපත ලද කාන්තාව නියම නාරි ලාලිත්‍යයෙන් හෙබි දුටුවන් මන පිනවන්නියකි. ඥානවන්තය. චරිතය ද ඉතා යහපත් ය.

දෙනට නැකැත

මෙම නැකැතින් උපන් අය ඥානවන්තය. ක්‍රියාශීලීය. ස්ථානෝචිතප්‍රඥාවෙන් යුක්තය. ආත්ම විශ්වාසයෙන් යුතුව හැමවිටම ක්‍රියා කරයි. නිදහස තදින් අගය කරන ඔවුන් පටන්ගත් කාර්යයක් වෙතොත් එය කෙසේ හෝ අවසානය දක්වාම කරගෙන යයි.

සියාවස නැකැත

තමන්ගේ ආගම පිළිබඳව මහත් භක්තියක් ඇත. අන්‍යයන් අතර ප්‍රශංසා ලබයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු ය. කාම සම්පත් කෙරෙහි උදාසීන බවක් දක්වයි. එය පාලනය කර ගැනීමේ හැකියාවක් ද ඇත.

පුවපුටුප නැකැත

පි‍්‍රය මනාප ගති පැවතුම් ඇත. බාහිර පෙනුමෙන් මෙන්ම අභ්‍යන්තර ගුණධර්මවලින් ද පිරිපුන් අය වෙති. ඥාණ වන්තය. ඉගෙනීමට ද දක්ෂකමක් පෙන්වයි.

උත්‍රපුටුප නැකැත

මෙම නැකැතින් උපන් අය තම මතයටම අනුව ක්‍රියා කරයි. දරදඬු සිත් ඇත්තෝ වෙති. දුක් කරදර දරා ගැනීමේ ශක්තිය ඇත. අරපිරිමැස්මෙන් කටයුතු කරන හෙයින්, මසුරු බවක් ද පෙන්නුම් කරයි. රහස් රැක ගැනීමේ ශක්තියක් ඇත.

රේවතී නැකැත

මෙම නැකතින් උපන් අයට රූමත් ශරීරයක් හිමිව ඇත. ධනවත්, භවභෝග සම්පත් ඇති අයයි. ගෞරවණීය ජීවිතයක් ගත කරයි. කාන්තාවක් නම් ඇයගේ රූපශ්‍රීය කාගේත් සිත් ගන්නා සුළුය. ධන ධාන්‍ය හිමිවීමේ භාග්‍යය ද හිමිය.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.