ජනනායකයන් බිහිකරන තුලා ලග්නය

නොවැම්බර් 12, 2021
 
විශ්ව කේන්දරය වූ මේෂ ලග්නයෙහි 7 වැන්න වූ තුලාව විශ්වයේ පැවැත්මට සහයෝගයක් දක්වන රාශියකි. එහෙයින් තරාදියක් අතින් ගත් මිනිසෙක් සංකේතවත් කරන තුලා ලග්නයෙන් ජන්මලාභය ලබන බොහෝ ජන්මීන් එක් පසෙකට බර නොවූ සමබර මානසිකත්වයෙන් යුත් යම් යම් ප්‍රශ්නවලදී නිවැරදි විනිශ්චයකට එළඹිය හැකිය. අපක්ෂපාත තීරණයක් නොගන්නා අයවලුන් වෙති. 
 
මෙකී ගති ලක්ෂණයන් හේතුකොටගෙන තුලා ලග්න   හිමියන් ජීවත් වන සමාජයේ පිරිසකට, ගමකට, නගරයකට, පළාතකට, රටකට නායකයන් වන්නේ නිරායාසයෙනි. මෙලෙස තුලා ලග්න හිමියන් නායකත්වයට නැඹුරුවීමට හේතු වන ප්‍රධාන කාරණය වන්නේ පොදු ජන කාරක ග්‍රහයන් දෙදෙනෙක් වන සෙනසුරු සහ සඳු යන ග්‍රහයන් දෙදෙනාගෙන් සෙනසුරු පොදු ජනතාව නිවේදනය කරන භාවයක් වන සිව්වැන්නවූ මකරයට අධිපති වීමත් සඳු නායකත්වය නිවේදනය කරන භාවයක් වන 10 වැන්න හෙවත් කර්ම ස්ථානයට අධිපති වීමයි. ඒ හැර තුලා ලග්නයට අධිපති වන සිකුරු ග්‍රහයා කරුණාවන්ත බව, ප්‍රසන්න බව, මනා පෙනුම, ත්‍යාගශීලිබව, ඇහුම්කන දෙන යන ගති ලක්ෂණ නිවේදනය කිරීම ද තුලා ලග්න හිමියන්ට නායකත්වය ලැබීමට හේතු භූත වන අනෙක් කාරණය වන්නේය. 
එසේ වුවත් මිනිසාගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කිරීමට අංක 1 ට ම මහෝපකාරිවන ගුරු ග්‍රහයා තුලා ලග්නාධිපති සිකුරුට සතුරු ග්‍රහයෙක් වීමත් තුලා ලග්න කේන්දරයේ ගුරුගේ බලය දුර්වල කරන උපචය භාවයන් 2 ක් වන 3 වැන්න වූ ධනුවෙන් 6 වැන්න වූ මීන රාශියන්හි ගුරු අධිපතිවීම හේතුකොටගෙන තුලා ලග්නයෙන් ශ්‍රේෂ්ඨ ජන නායකයන් මෙන්ම වචනාර්ථයෙන් ශ්‍රේෂ්ඨ යැයි කිව නොහැකි එහෙත් සිය රණ ශූර බව බළකාමය නිසා ජනනායකත්වයක් ලබා ගත් ජනනායකයින් ද තුලා ලග්නයෙන් ජනිත වන්නේය. ඒ අනුව තුලා ලග්න කේන්දරයට යෝග්‍ය.....සෙනසුරු ග්‍රහයා ලග්නය හෝ 4 වැනි භාවයේ පතිතව පිළිවෙළින් උච්ච හෝ මූල ත්‍රිකෝණ බලය ලබා සස නම් පංච මහා පුරුෂ යෝගය උදා කළ විට දී හෝ 7 අධිපති අඟහරු 4 වැන්නෙහි හෝ 7 වැන්නෙහි පතිතව පිළිවෙළින් උච්ච හෝ මූල ත්‍රිකෝණ බලය ලබා රුචක නම් පංච මහා පුරුෂ යෝගයක් යෙදුනු කල එවන් ග්‍රහ බලයක් ඇති තුලා ලග්න හිමියා රටකට, නගරයට ,පළාතකට, ගමකට හෝ අවම වශයෙන් සමිති, සමාගමකට නායකයෙක් වන්නේය. මෙකී කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ කේන්දර සටහන් කිහිපයක් අධ්‍යයනය කරමු. 
1 සටහන 
 
උපත 1926/08/13 සිකුරාදා දහවල් 11.10 ක්‍රියුබාවෙදී මකර නවාංශකයෙන් හත නැකතේ 4 වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් උපත්තියේදී සඳු මහ දශාව ඉදිරියට වර්ෂ 00 මාස 03 දින 08 ක් ශේෂව තිබුණි. 
අංක 1  උදාහරණ කේන්දරය අයත් වන්නේ 1959දී ගරිල්ලා ප්‍රහාරයකින් කියුබාවේ බලය අත්පත් කර ගෙන දශක 4 කට වඩා වැඩි කාලයක් කොමියුනිස්ට් පාලනයක් ගෙන ගිය කියාබානු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝටය.
එම තුලා ලග්න කේන්දරයේ මා ඉහත විග්‍රහ කර ඇති පරිදි සෙනසුරු ග්‍රහයා ලග්නයේ උච්ච වීමෙන් සස නම් පංච මහා පුරුෂ යෝගයත් 7 අධිපති අඟහරු ග්‍රහයා 7 වැන්නෙහිම පතිතව මූල ත්‍රිකෝණ බලය ලැබීමෙන් රුචක නම් පංච මහ පුරුෂ යෝගයක් යෙදී ඇත. ලග්න වර රැසක් වීමත් පංච මහ යෝගයට සම්බන්ධ කුජ, ශනි, ග්‍රහයන් දෙදෙනා වර රැසක යෙදීමත් කොමියුනිස්ට් නායක පිදෙල් කස්ත්‍රෝට දශක 4 කට වැඩි කාලයක් එරට පාලනය කිරීමට හැකි වූ අතර, මෙකී යෝගයකට සම්බන්ධ කුජ සහ ශනි ඔවුනොවුන්ට සම සප්තවම සිටීමෙන් අග්නි මරුත යෝගයක් උදා කර තිබීම නිසා රාජ්‍ය බලය ගරිල්ලා ප්‍රහාරයකින් අල්ලා ගැනීමටත් කෲර පාලනයක් ගෙන යෑමටත් හේතු විය. 
2 සටහන 
 
උපත 1925/10/13 උදේ 09.00 එංගලන්තයේදී මේෂ නවාංශකයෙන් මා නැකැතේ 2 වන පාදයෙන් උපත ලබා ඇති හෙයින් උපතේ දී කේතු මහ දශාව ඉදිරියට වර්ෂ 03 කුත් මාස 11 කුත් දින 10 කුත් ශේෂව තිබුණි.
දෙවෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ, අයෝම කත යන අනවර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ මහා බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල අගමැතිවරියක් වන මාග්‍රට් තැචර් මහත්මියටය. එම  තුලා ලග්න කේන්දරයේ මහජනතාව නිවේදනය කරන 4 වැන්නාධිපති සෙනසුරු ලග්නයේ උච්චම සස නම් පංච මහ පුරුෂ යෝග සමඟ සේනක යෝගය උදා කරමින් සිටින්නේ මිත්‍ර ක්ෂේත්‍ර භාග්‍යස්ථානාධිපති බුධ සමඟය. එම ග්‍රහ බලය එතුමියට මහජන ඡන්ද බලයෙන් එරට අගමැති වරිය වීමට හැකි වූ අතර, වසර 11 ක් බ්‍රිතාන්‍ය අගමැති ධූරය හොබවමින් බ්‍රිතාන්‍යය යුරෝපා මහද්වීපයේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කිරීමට හැකි වූ අතර, සිය පාලන කාලය තුළදී බ්‍රිතාන්‍යය තුළ ඇතිවූ ත්‍රස්තවාදි ප්‍රශ්නත් විදේශ රටවල්වලින් ඇති වූ සතුරු ප්‍රශ්නත් ඇයට සාර්ථක ලෙස මර්දනය කිරීමට හැකි විය. 
3 සටහන 
 
උපත 1889/04/20  සවස 6.30  ජර්මනියේදී තුලා නවාංශකයෙන් පුවසල නැකතේ 3 වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සිකුරු මහ දශාව ඉදිරියට වර්ෂ 16 යි මාස 04 යි දින 06 ක් ශේෂව තිබුණි.
පහත දැක්වෙන තුන්වෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ දෙවන ලෝක යුද්ධයේදී මහා මිනිස් සංහාරයක් ඇති කළ නාසිනායක ඇඩෝලොෆ් හිට්ලර්ටත් පහත දැක්වෙන ඇඩෝලොෆ් හිට්ලර්ගේ තුලා ලග්න කේන්දරයේ ලග්නාධිපති සිකුරු මෙන්ම ජන්ම නක්ෂත්‍ර අධිපති සිකුරු 7 වැන්නේ සිටින්නේ බුද්ධියට කාරක බුධ සමඟ රුචක නම් පංච මහා පුරුෂ යෝග උදා කළ 7 වැන්නාධිපති අඟහරු සහ මෙපුර පාල නම් යෝගය උදා කළ 11 වැන්නාධිපති වූ උච්ච රවි සමඟය. එම ග්‍රහ බලය මහා බලකාමයක් මෙන්ම කෲර  මානසිකත්වය ඇති වීමට හේතු භූත වූ ග්‍රහ බලයකි. ඒ හේතුකොටගෙන හිට්ලර් මුළු ලෝකයේම බලය අත්පත් කර ගැනීමට කටයුතු කළ නමුත් තුලා ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන සෙනසුරු 10 වැන්නේ එනම් රාජ්‍ය ස්ථානයේ සතුරු වීමත් භාග්‍ය ස්ථානාධිපති බුධ 7 වැන්නේ රවිට අස්තවීමත් හේතුකොටගෙන හිට්ලර්ගේ එම උත්සාහය ව්‍යාර්ත වූ අතර, පරාජය හමුවේ ඔහු සියදිවි හානි කර ගත්තේය. ඒ අනුව පාරුක් රජ, 6 වෙනි ජෝර්ජ් රජ, මහා අක්බර් අධිරාජයා , කනෂෙව් , ජෙනරාල්, ඩෙන්සිල් කොබ්බෑකඩුව, පිලිප් ගුණවර්ධන  ,අතල් බිහාරි වජ්පායි ,වින්සන්ටන් චර්චිල් , ජෝසප් ස්ටාලින් වැනි දෙස් විදෙස් රාජ්‍ය නායකයන් තුලා ලග්නයෙන් ජන්ම ලාභය ලබා ඇති අතර, එයින් පැහැදිලි වන්නේ තුලා ලග්න නායකයන් බිහි කරන ලග්න විශේෂයක් බවයි. 
 
ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.