කිල්ල යනු කුමක්ද?

මැයි 21, 2021

ආගන්තුක විෂබීජය ශරීරගත වුවොත් ලේවල ඇති සුදුරුධිරාණු සටන් කරන්නට පටන් ගන්නවා. මෙම විෂබීජය පරාජය කිරීමට දෙවර්ගයම විනාශ වන අතර දකින්නට ලැබෙන්නේ විශාල සැරව ගොඩකි. ඒ දකින ඔබ අදහස් කරන්නේ මළ ගෙදර ගොස් කිළි අහුවුන බවයි.

 

අනාදිමත් කාලයක පටන් මිනිසුන් තුළ ව්‍යවහාරයේ පවතින මතයක් ලෙස ‘කිල්ල’ යන ආකල්පය මුල් බැස ගෙන ඇත. අද සමාජයේ පවා ඇතැම් අවස්ථාවල කිල්ල යන වචනය භාවිත වේ . මෙහි විද්‍යාත්මක පැත්ත ගැන නොදැන ව්‍යවහාර කළ ද යම්කිසි ගුප්ත අර්ථයක් එහි ගැබ් වී ඇත. එහි විද්‍යාත්මක පැති තුනක් ඇති බව කිව යුතුය.

 

මළකිල්ල, මාස්කිල්ල ,වැදුම්ගෙයි කිල්ල හා කොටහලු කිල්ල ලෙස ගැමියෝ සලකතත් පැරණි වෛද්‍ය ග්‍රන්ථවල පවා මේ ගැන විස්තර කර ඇත.

‘ප්‍රථමාර්තව මනු දීනං

ප්‍රසූතං ත්‍රිංශද්වේ

මෘත්‍යු දොෂංත්‍රිණි

මාසා අන්‍යත්තු ස්නාන මෙවච”

පළමු කොට මල්වරකිල්ල දින 14 ක් ද, වැදූගෙයි කිල්ල දින 30ක් ද මළ කිල්ල මාස 3 ක් ද මාස් කිල්ල ස්නානය කරන තුරු ද පවතින බව ඉහත සඳහන් ශ්ලෝකයෙන් කියැවේ. ඉතාමත් අනාදිමත් කාලයේ පටන් මෙම කිල්ල ගැන සැලකිලිමත්වූ බව මෙයින් පෙනේ. විශේෂයෙන් ඉන්දියාවේ හින්දු භක්තිකයින් මෙම කිල්ල ගැන ඉතාමත් බියෙන් හා ප්‍රවේසමෙන් ක්‍රියා කළ බව කිව යුතුය. කිල්ලක් වූ කල ගැහැනු උදවිය ගෙයක් තුළ රඳවා ගන්නා අවස්ථා ද බොහෝය. මන්දයත් ඔවුන් දෙවියන් පිහිට අය දින්නේ ඉතාම පිරිසුදුවෙන්ය. කෝවිල කහ දියර ඉස සිදු කරන්නා දේව මෙහෙය ඉතාම විශිෂ්ට අයුරින් සිදු කෙරෙන නිසා කිල්ලට හසු නොවී දේව පුද පූජා පැවැත්වීම ඒ අයගේ චාරිත්‍රයකි.

දේවස්ථාන පවිත්‍ර ස්ථාන වලදී කෙරෙන යන්ත්‍ර මන්ත්‍ර ජප කරන අවස්ථාවලදී පවා කිල්ල නොවදින තරමට ප්‍රවේසම් වූ බව කිව මනාය. කිල්ල එතරම් ශුභ දෙයක් නොවන බවත් ඉන් මිනිසාට ද සෙතක් නොවන බව ඔවුන් අවබෝධයෙන් දැන සිටින නිසා විය යුතුය.

මළගෙදරකට තුවාලයක් ඇති අයෙක් අපේ රටේ ද යාමට එතරම් උනන්දුවක් නොදක්වන්නේ තම තුවාලයට කිලි අහුවී වැඩි වන නිසාය. (වණ)

විවෘතව තුවාල ඇති පුද්ගලයා තුවාලය ආවරණය කරගෙන ගියා නම් තුවාලයට විෂබීජ ඇතුළු නොවන්නේය. තුවාලය නො බැඳ මළ ගෙදරකට ගොඩ වී දින 2 -3 කින් තුවාලය වැඩි වන්නේ බැක්ටීරියා (විෂබීජ) ඇතුළු වීමෙනි. ඒ සිද්ධිය සත්‍ය කථාවකි. මෙවැනි අවස්ථාවලදී ගැමියෝ පවසන්නේ තුවාලය දරුණු අතට හැරී ඇත්තේ මළ ගෙදරදී කිලි අහුවුන නිසා බවය. මෙහිදී සිදුවී ඇත්තේ කුමක්ද?

කෙනෙක් මැරුණාම ශරීරය ටිකින් ටික සීතල වෙනවා. ශරීරයේ උණුසුම සමඟ ජීවත්වූ බැක්ටීරියා ක්‍රමයෙන් වායුවට එක් වෙනවා. මෙම බැක්ටීරියාවලට රැදෙන්නට (වර්ධනය) සුදුසු තැනක තැම්පත් වෙනවා. මෘත ශරීරය ඇති තැන පමණක් නොව ඒ අවට ද සිටින්නාවූ ඕනෑම කෙනෙකුට මෙම විෂබීජය ශරීරගත වෙනවා. කිල්ල වෙනුවෙන් ව්‍යවහාර වන්නේ මේ සිද්ධාන්තයයි.

මෙම ආගන්තුක විෂබීජය ශරීරගත වුවොත් ලේවල ඇති සුදුරුධිරාණු සටන් කරන්නට පටන් ගන්නවා. මෙම විෂබීජය පරාජය කිරීමට දෙවර්ගයම විනාශ වන අතර දකින්නට ලැබෙන්නේ විශාල සැරව ගොඩකි. ඒ දකින ඔබ අදහස් කරන්නේ මළ ගෙදර ගොස් කිළි අහුවුන බවයි. විෂබීජ නාසය මගින් පෙණහලු කරා ගමන් කරනවා. කන බොන දෑ මගින් ඇදුම් පැලඳුම් මගින් බැක්ටීරියා අපේ ශරීරගත වෙනවා. මෙය පුදුමයක් නොවේ.

කාන්තාවට සිදුවන ඔසප් කාලවලදී මෙන්ම ප්‍රසූත කාලවලදී පිට වන රුධිරය කිලි යනුවෙන් සමාජ මතයක් බවට පත්ව තියෙනවා. වැදූගෙයි කිල්ල, මාස් කිල්ල යනුවෙන් අපේ පැරණි උදවිය ප්‍රකාශ කරනවා. අපිරිසුදුකම් මෙහිදී ප්‍රධාන තැනක් ගැනීම විශේෂයි. මේ අවස්ථාවලදී ආහාර පාන ගැනීමේදී මස් වර්ග, මාළු වර්ග, කිලි ගණයට ඇතුළත් වෙනවා. විශේෂයෙන් ඌරු මස්, සහ මාළු වර්ග අතරින් තෝර මාළු, මඟුරු මාළු වැනි දෑ මේ කිලි ගණයට ඇතුළත් වෙනවා .ලෙඩ රෝග අතරින් සරම්ප, පැපොල, ජලභීතිකා වැනි රෝගවලට ඉහත කී මස් , මාළු දීමෙන් සමහරු වැළකී සිටීම සත්‍යයකි.

එසේම යන්ත්‍ර මන්ත්‍ර පැලඳීමෙන් පසු ඉහත සඳහන් කිලි යයි සම්මත මස් වර්ග ගැනීමෙන් වැළකී සිටීමට එම ගුරු ඇඳුරන් උපදෙස් දෙන්නේ එමගින් කිලි ජනිත වී ඒවායේ ඇති අද්භූත බලවේගයට හානියක් වන නිසාය. මෙම උපදෙස් පැහැර හැරීමෙන් නැති උවදුරු ඇති වීමට ද ඉඩ ඇති බවත් නිරෝගී අයකු රෝගියකු වීමට ද ඉඩ ඇත.

ස්වසන පද්ධතියේ රෝග, චර්ම රෝග ආසාදන බෝවන රෝග යන්නෙන් පෙළෙන අය මෙවැනි අවස්ථාවන්ට හෝ පෙළ ගැසී සිටින අය අතරට රැස්වීම කල්පනාකාරි වීම යහපති. විශේෂයෙන් මළ සිරුරක් අනවශ්‍ය ලෙස ස්පර්ශය,සිබීම, වැලඳ ගැනීම නොකරන ලෙස තරමට ඔබේ ශරීර සනීපයට හේතු වේ. වැඩිහිටි අය කෙසේ වෙතත් වෙනත් අත දරුවන් මෙවැනි විෂබීජ ඇති ස්ථාන වලින් ළං නොකිරීමට වගබලා ගත යුතුය. වැඩිහිටියකුගේ ශරීර ප්‍රතිශක්තිය අත දරුවකුට නොමැති බැවින් ප්‍රතිශක්තිය පහළ මට්ටමක පැවතීම නිසා රෝග වැලඳීමේ ප්‍රවණතාව වැඩිය. එසේම ගැබිනි මව්වරුන් ද ප්‍රවේසම් වීම නුවණට හුරුය. කෙසේ වෙතත් මළ ගෙදරක හෝ සුසාන භූමියක සිට නිවසට පැමිණෙන ඔබ පිරිසුදු වී නිවසට ගොඩ විය යුතුය.

ගැමි වහරේ මුල්බැසගත් කිල්ල යනු කුමක් දැයි ඔබටම පැහැදිලි වනු ඇත. එසේ නම් ඉන් වන අයහපත ගැන වටහා ගෙන ප්‍රවේසම් වීම හොඳයි. අපේ ඇසට නොපෙනෙන මෙවන් ක්‍රියාවන් නුවණින් අවබෝධ කර ගෙන අනවශ්‍ය රෝගවලින් මිදීමට අදහස් කරගන්න.

 

 

සැකසුම

වෛද්‍ය

එන්.කේ.එස්. කුලසූරිය

අරන්දර, අටාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.