ජන්ම පත්‍රයේ ධනයෝග හඳුනා ගැනීම

අගෝස්තු 2, 2019

කර්මානුරූපිව මෙලොව එළිය දකින මිනිසා තමන් ජන්මලාභය ලත් අවස්ථාවේ බලපෑ ග්‍රහබල දුබලතා හේතුවෙන් ඇතමෙක් හදිසි ධනලාභ ලබන අතර තවත් කෙනෙක් දිළිඳුකම උරුමකර ගෙන ඉතා දුක්ඛිත ජීවිත ගත කරති. තව කෙනෙකු දිළිඳු පවුලක උත්පත්තිය ලැබුවත් පූර්ව කුසල බල කර්මානුරූප හේතුවෙන් නිසි කාල වකවානුවලදී අදාළ ග්‍රහයින්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් හදිසි ධනලාභ උරුම කර දෙයි. මෙයින් අපට පැහැදිලි වන්නේ ග්‍රහයෝග හා බලපෑම් මූලික කර ගෙන ධන වාසනාව ජන්මියාට ලබා දෙන බවයි.

මෙහිදී අපගේ විශේෂ සැළකිල්ල යොමු කරනු ලබන්නේ කිසියම් ධනයක් ලබා දීමට හේතුකාරක වන ධනයෝග ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව විද්‍යාත්මකව කරණු අධ්‍යයනය කිරීමකි. විශේෂයෙන්ම මෙහිදි කේන්ද්‍රයේ ලග්නය, අයස්ථානය, ධනස්ථානය, අෂ්ටමස්ථානය හෙවත් අටවැන්න, ක්‍රිකෝණස්ථානයන් වන පස්වැන්න හා දසවැන්න පිළිබඳව අවධානය යොමු කරමින් එම ස්ථානවල පිහිටි ග්‍රහයින් ග්‍රහ සංයෝග එම ස්ථාන සම්බන්ධ ග්‍රහ දෘෂ්ඨි හා ග්‍රහ අවස්ථා සහ එකී ග්‍රහයන්ගේ බල දුබලතා පිළිබඳව මනා පරික්ෂාවක් සිදු කෙරෙනු ඇත.

මෙහිදි සැලකිය යුතු තවත් ප්‍රධාන කරුණක් නම් හදිසි ධනලාභ ගෙනදෙන යෝග කේන්ද්‍රයේ ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීම හෙවත් එම හදිසි ධනය ලැබීමට ඊට අදාළ ග්‍රහයින්ගේ මහ දශා හා අතුරුදශා හා විදශා පවතීද යන්නයි. එසේ නොමැතිව කේන්ද්‍රයේ, ධනයෝග තිබු පමණින් මුළු ජීවිත කාලය පුරාම ධනය ලබා දීමක් එමගින් අපේක්ෂා නොකළ යුතු ය.

ඇතමකු ප්‍රකාශ කරන්නේ තමන්ගේ කේන්ද්‍රයේ අසවල් ධනයෝග අසවල් වාසනාවන්ත ශුභ යෝග මෙපමණ ඇතත් තමාට කිසිම ධනයක් මේ වනතුරු ලබා දී නැති බවකි. එබඳු අවස්ථාවලදි ඡ්‍යොතිෂය හෑල්ලුවට සහ අවඥාවට පවා ලක්කර කතා කරනු අප අසා ඇත. මෙහිදී සිදුවී ඇත්තේ ධනයෝග කේන්දරයේ දෘෂ්‍යමාන වුවත් එම ග්‍රහයෝග බලයන් ක්‍රියාත්මක වීමේ ලා නිසි කාල වකවානු හෙවත් ඊට අදාළ ග්‍රහයින්ගේ මහ දශා හා අතුරු දශා එතෙක් ලබා නොතිබීම තුළින් වාසනාව මතුකිරීමට ඉඩප්‍රස්ථා නොලැබී යාම බවයි.

ජන්මියාගේ ජන්ම ලග්නය කුමක් වුවත් දෙවැන්න හා එකොළොස්වැන්න අධිපතීන් බලවත් වී එම ග්‍රහයින්ගේ මහදශාවක් හෝ අතුරු දශාවක් හෝ විදශාවක් ලැබු විට එම කාල සීමාව තුළ ධනලාභ ලබාදීමට බෙහෙවින් ඉඩ ප්‍රස්ථා තිබෙන බව ඡ්‍යොතිෂ නියමයයි. සමහර විට ස්වීප් ලොතරැයි දිනුමක් හෝ වෙනත් කවර වූ හෝ ක්‍රමයකින් හදිසි ධනයක් ලැබී මහා ධනවතකු වීමේ වාසනාව ලැබිය හැකිය.

කර්මස්ථානාධිපති හෙවත් දසවැන්නාධිපති පස්වැන්නේත්, සිවුවැන්නාධිපති දසවැන්නේත් තැන්පත්ව සිටියදී ඔවුන් නවවැන්න අධිපතියා විසින් දකිනු ලැබේද එය හදිසි ධනලාභ ගෙන දෙන යෝගයකි.

ධනස්ථානාධිපතියා හා අයස්ථානාධිපතියා එනම් 2 සහ 11 අධිපතියන් යම් හෙයකින් පරිවර්තනය වී සිටී නම් එයද ප්‍රධාන ගණයේ ලා සැලකෙන ධනයෝගයක් ලෙස සැළකේ. එක , පහ, හතර සහ දහය අධිපතියන් ක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටියදී භාග්‍යස්ථානාධිපති ග්‍රහයාගේ දෘෂ්ටිය එම ග්‍රහයින් වෙත ලැබීමද තවත් ධනයෝගයක් ලෙස සැළකේ. මෙහිදී හදිසි ධනයක් ජන්මියාට හිමිකර දීමට මෙම යෝගය ඉඩකඩ සලසයි.

එපමණක් නොව නවය අධිපතියා පස්වැන්නේත්, පස්වැන්න අධිපතියා නවවැන්නේත් වශයෙන් පරිවර්තන යෝගයක් තුළින්ද විශේෂ ධනයෝගයක් නිර්මාණය වන බවද සැලකිය යුතුයි. මෙම යෝගයන්ට අමතරව උපන් ලග්නය අනුවද එම කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ රටාවන් අනුවද හදිසි ධනලාභ ගෙන දෙන යෝග නිර්මාණය කෙරෙයි. ලග්නය මේෂය වී රවි පස්වැන්නේ ස්වක්ෂේත්‍රව සහ ගුරු 11 වැන්නේ සිටීමත්, 5 සහ 10 කුජ හා සිකුරු යෝග වී තිබීමත්, හදිසි ධනයෝග ලබා දීමකි.

එමෙන්ම ලග්නයේ කුජ ස්වක්ෂේත්‍රවී බුද, සිකුරු ශනි යෙදීමත් මේෂ ලග්නකරුට හදිසි ධනය ලබා දෙන යෝග බලයකි.

වෘෂභ, තුලා, ලග්න හිමියන්ට ලග්නයේ සිකුරු ස්වක්ෂේත්‍රවී බුද, ශනි යෙදීම හෝ එම ග්‍රහයින්ගේ දෘෂ්ටිය ලැබු විට එයද ධන යෝගයක් ලෙස සඳහන් කළ හැකි ය.

මකර, මිථුන, ලග්න කරුවන්ට සිකුරු පස්වැන්නේ ස්වක්ෂේත්‍ර වී ශනි අයස්ථානගතවීමත්, කටක ලග්නකරුවන්ට කුජ, ගුරු චන්ද්‍ර ලග්නයේ යෙදීමත් සහ එමෙන්ම පස්වැන්නේ ගුරු ස්වක්ෂේත්‍රවී එකොළොස්වැන්නේ බුද සහ කුජ යෙදීමත් කන්‍යා ලග්න හිමියන්ට හා තුලා ලග්න හිමියන්ට ශනි පස්වැන්නේ සිට බුද එකොළොස්වැන්නේ සිටීමත් ධනයෝග ලෙස දැක්විය හැකිය.

වෘශ්චික ලග්න හිමියන්ට ලග්නයේ කුජ ස්වක්ෂේත්‍ර වී බුද, සිකුරු ශනි යෙදීමත්, එමෙන්ම පහේ ගුරු ස්වක්ෂේත්‍රවී බුද, කුජ යෙදීමත් හදිසි ධනලාබගෙන දෙන යෝගයන් වෙයි.

එමෙන්ම ධනු ලග්න හිමියන්ට පස්වැන්නාධිපති දෙවැන්නේ පිහිටා දෙවැන්න අධිපති එකොළොස්වැන්නේ පිහිටීමත්, ලග්නාධිපති නවයේ පිහිටීමත්, ධන යෝගයකි. කුම්භ ලග්න හිමියන්ට දෙක අධිපති ගුරු එකොළොස්වැන්නේ පිහිටා පහ අධිපති එකොළොස්වැන්නේ පිහිටීම හදිසි ධනලාභ ගෙන දෙන යෝගයකි. පස්වැන්නේ සඳු ස්වක්ෂේත්‍ර වී ශනි එකොළොස්වැන්නේ සිටීමද හදිසි ධනලාභ පෙන්වීමකි. මෙම කවර වු යෝගයක් පිහිටා ඇතත් එය ක්‍රියාත්මක වනුයේ අදාළ ග්‍රහයින්ට අයත් එනම් ධනකාරක ග්‍රහයාට අයත් මහ දශාවකදී හෝ අතුරු දශාවකදී හෝ විදශාවකදි බව අවබෝධ කරගත යුතුයි. එසේ නොමැතිව යෝගය තිබූ පමණින් අපට අවශ්‍ය කාල වකවානුවලදී ධනය ලබා දීමක් සිදු කෙරෙන්නේ නැති බව නුවණින් අවබෝධකර ගැනීම අවශ්‍යය.

තවද යෝග වල බලය අඩුවැඩිවීම, ඒ ඒ යෝගයට කාරක වන ග්‍රහයින්ට ලැබෙන සුබ අසුබ දෘෂ්ටිවලට අනුව සිදු කෙරෙන බවත් සැළකිය යුතුය.

ධනකාරක ග්‍රහයින් 22 දෙර්කාණාධිපතියා වී දුබල තත්ත්වයට පත්වී ඇත්නම් හෝ එම ග්‍රහයා අයස්ථාන ගත වී නැත්නම් එයද යෝගයන්ගේ ධනකාරක බලය හීන කරවන්නකි.

මේ අනුව ධනයෝග කාරක ග්‍රහයින්ගේ දශා විදශාවක් ලැබ තිබියදී ජන්ම අවස්ථාවේ චන්ද්‍රයා සිටි රාශියට ගෝචර ගමනින් ශුභ ග්‍රහයින්ගේ බලවත් ශුභ දෘෂ්ටි ලැබීම කරණකොට ගෙන ධනයෝග ක්‍රියාත්මක කරවන කාලය නිර්ණය කළ හැකි ය.

මෙහිදී විශේෂයෙන් අවබෝධ කරගත යුතුව ඇත්තේ තම කේන්ද්‍රයේ ධනයෝග පිහිටා ඇතත් ඒවායේ බලය හීන කෙරෙන ඊට වඩා ප්‍රබල අශුභ යෝග ඇත්නම් එම ධන යෝගය අවශ්‍ය පරිදි ශුභ ලෙසින් විපාක නොදෙන තත්ත්වයට පත්විය හැකි බවකි. එහෙයින් ධනයෝග තිබු පමණින් අපට අවශ්‍ය වේලාවට ධනය ලබා දීමක් සිදු නොවිය හැකි බවත්, එම ධනයෝග ක්‍රියාත්මක වීමට ඊට අදාළ ග්‍රහයින්ගේ මහ දශා අතුරු දශාදිය ලබා තිබිය යුතු බවත් සහ ධනයෝග බලය වෙනත් අශුභ යෝගයකින් යටපත් වී විකෘති තත්ත්වයට පත්වී නොතිබිය යුතු බවත් ය.

 

ඡ්‍යොතිෂශූරී

ආචාර්ය ප්‍රභාත් ගමගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.