පඤ්චාංගය නිවැරැදිව හඳුනා ගනිමු

ජනවාරි 17, 2025

පංචාංගය යනු වෛදික ඡ්‍යොතිෂයෙහි කාලය බෙදා දැක්වීම හා හඳුනා ගැනීම සඳහා ඡ්‍යොතිෂයේදී භාවිත කරනු ලබන අංග පහකින් යුතු නියමයකි. එය හිරු හා සඳුගේ පිහිටීම් අනුව ගණනය වේ.

උපන් කේන්ද්‍ර සෑදීමේදී හා ශුභ මුහුර්ත සෑදීමේදී යොදාගන්නේ පංචාංගයයි. ඒ අනුව දිනයෙන් ආයුෂ වර්ධනයද නැකතින් පාපය දුරු කිරීමද තිථියෙන් සැපයද යෝගයෙන් නිරෝගී බවද කරණයෙන් සාර්ථක බවද නිරීක්ෂණය කෙරෙයි.

 

පඤ්චාංගය

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී පඤ්චාංගය ඉතාම වැදගත් වේ. පඤ්චාංගය යන වචනය අනුව එය අංග 5කින් යුතු බව තේරුම්ගත යුතුය. පඤ්චාංගය නම්,

1.දිනය

2. නැකත

3. තිථිය

4. යෝගය

5. කරණය යන කොටස් පහය.

 

දිනය

රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි ආදි ග්‍රහයන් 7 දෙනා මුල්කොට ඉරිදා පටන් සෙනසුරාදා දක්වා දවස් 7 දක්වා තිබේ. පඤ්චාංග ලිත්වල මේ දින සඳහා යොදා ඇත්තෙත් ර,ච,කු, බු, ගු, ශු, ශ ආදී වශයෙන් දින හතේ මුල් අකුරු පමණි.

 

නැකැත

ඡ්‍යොතිෂයේ නැකැත් 27ක් දැක්වේ. නැකැත නක්ෂත්‍රය යනුවෙන්ද හැඳින්වේ. ඡ්‍යොතිෂ නක්ෂත්‍රය යනුවෙන් හඳුන්වන්නේ එය නැකැත් මුල්කොට සාදා ඇති ශාස්ත්‍රයක් නිසා විය යුතුය. ඡ්‍යොතිෂයේ කවර කරුණකට නමුදු නැකතේ සම්බන්ධතාවක් ඇත. රාශියක් යනු ද නැකැත් කිහිපයක එකතුවකි. නැකත් 2 1/4ක් රාශියක් ලෙස සලකනු ඇත. එදිනෙදා නැකත් චන්ද්‍රයාගේ ගමන මුල්කොට චන්ද්‍රචාරය නමින් ලිතේ දක්වා ඇත. නැකත් 27 පිළිවෙළින් මෙසේය.

1. අස්විද 2. බෙරණ

3. කැති 4. රෙහෙණ

5. මුවසිරස 6. අද

7. පුනාවස 8. පුෂ

9. අස්ලිස 10. මා

11. පුවපල් 12. උත්‍රපල්

13. හත 14. සිත

15. සා 16. විසා

17. අනුර 18. දෙට

19. මුල 20. පුවසල

21. උත්‍රසල 22. සුවන

23. දෙනට 24. සියාවස

25. පුවපුටුප 26. උත්‍රපුටුප

27. රේවති යනුවෙනි.

තිථිය

පඤ්චාංගයට අයත් තුන්වැනි කරුණ වන්නේ තිථියයි. සූර්යයාගේ හා චන්ද්‍රයාගේ ගමන අනුව තිථි නම් කරනු ලැබේ. පොහොය දින වෙන්කර ඇත්තේ මේ තිථි අනුව වේ. සූර්යයා යම්කිසි රාශියක හා චන්ද්‍රයා හා එකම අංශකයක ගමන් කරන්නේද එදින අව පසළොස්වක හෙවත් අමාවක වේ. මෙය මාසෙ පෝය යනුවෙන්ද හැඳින්වෙයි. සූර්යයාට අංශක 180ක දුරින් සඳු සිටින දිනය පුර පසළොස්වක දිනය ලෙස සැලකේ. මේ තිථි ගැනෙනුයේ චන්ද්‍ර මාස ක්‍රමය අනුවය. එනම් මාසය පුර පක්ෂය හා අවපක්ෂය ලෙස බෙදා එක් පක්ෂයකට තිථි පහළොස බැගින් යෙදෙනු ඇත.

තිථි 15 මෙසේය

1.පෑළවිය 2. දියවක

3. තියවක 4. ජලවක

5. විසේනිය 6. සැටවක

7. සතවක 8. අටවක

9. නවවක 10. දසවක

11. එකොළොස්වක 12. දොළොස්වක

13. තෙළෙස්වක 14. තුදුස්වක

15 පසළොස්වක හෝ අමාවක

යනාදී ලෙසිනි.

මේ තිථි පුර අව භේදයකින් තොරව කොටස් පහකට බෙදේ. එය නන්දා, භද්‍රා, ජයා, රික්තා, පූර්ණා යනාදී ලෙසිනි.

 

යෝගය

ඡ්‍යොතිෂය අනුව පඤ්චාංගයෙහි දැක්වෙන හතර වැනි කරුණ නම් යෝගය වේ. යෝගය යනු එක්වීමයි. සූර්යයාගේ හා චන්ද්‍රයාගේ දුර ප්‍රමාණ දෙක එකට එක්වූ කල ගැනෙන ස්ථානය මුල්කර ගනිමින් යෝගය හැඳින්වේ. සූර්යයා මේෂ රාශියේ අංශක 0 සිට ගත කළ දුර ප්‍රමාණය හා චන්ද්‍රයා මේෂ රාශියේ අංශක 0 සිට ගත කළ දුර ප්‍රමාණය සමඟ එක් කළ රාශි චක්‍රයේ කිසියම් තැනක් නියෝජනය කරයි.

පංචාංගයේ දැක්වෙන යෝග විසි හත මෙසේය.

1. විෂ්කම්භ 2. ප්‍රීති

3. ආයුෂ්මන් 4. සෞභාග්‍ය

5. ශෝහන 6. අතිගණ්ඩ

7. සුකර්ම 8. ධෘති

9. ශුල 10.ගණ්ඩ

11.වෘද්ධි 12.ධෘම

13.ව්‍යාඝහාත 14. හර්ෂණ

15.වජ්‍ර 16.සිද්ධි

17.ව්‍යාතිපාත 18. වාරියන්

19. පරිග 20.ශිව

21.සිද්ධ 22.සාධ්‍ය

23.ශුභ 24.ශුභ්‍ර

25.බ්‍රහ්ම 26. මහේන්ද්‍ර

27. වෛද්‍යෘති

මෙම අංශක ගණන 27න් බෙදූ විට ගත වෙමින් ඇත්තේ, කී වැනි කොටස්දැයි බලා ඒ අනුව යෝගය නම් කරනු ඇත.

මෙහිදී ඒ ඒ යෝගයන්ගේ නම් 1 සිට 27 දක්වා අනුක්‍රමයෙන් දක්වා තිබේ. සෑම පඤ්චාංග ලිත් පිටුවකම අදාළ දිනයන්හි යෝගය ගෙවෙන වේලාව දක්වා ඇත.

පංචාංගයට අයත් වන යෝග විසි හතෙන් අසුභ යෝග දහයක් ද ඡ්‍යොතිෂයේ දී දැක්වෙයි.

1. විෂ්කම්භ -දියුණුව ගෙන නොදීම

2. අතිගන්ඩ -අතරමග කඩාවැටීම

3. ශූල -සතුරු පීඩා

4. ගණ්ඩ -කඩා වැටීම්.

5. ධෘති- දියුණුවට බාධා

6. ව්‍යාගාත -සතුරු පීඩා

7. වජ්‍ර- පිරිහීම

8. ව්‍යාතිපාත -ධන හානිවීම

9 .පරිග -ශක්තිය පිරිහීම

10. වෛදෲති-ධනය හානිවීම

යනාදිය වේ.

කරණය

පඤ්චාංගයට අනුව කරණ එකොළසකි.

1. බව 2. බාලව

3. කෞලව 4. තෛතිල

5. ගරජ 6. වණිජ

7. විෂ්ටි ආදි වශයෙන් 7ක් ද

8. ශකුණ 9. චතුෂ්පාද

10. නාග 11. කිංස්තුංග

යනුවෙන් 4ක් ද වේ.

මුලින් සඳහන් කරන ලද කරණ 7 චර කරණ වශයෙන්ද අවසාන කරණ 4 තිර කරණ වශයෙන්ද දැක්වේ.

චන්ද්‍ර මාසයක් තුළ දී තිථි තිහක් (30) ඇත. මේ අනුව මෙකී තිථි තිහ තුළ කරණ දෙක බැගින් පවතින අතර එකී චන්ද්‍ර මාසය තූළ කරණ අවස්ථා 60ක් ඇත. එම කරණ ලබා ගෙවී යන අයුරු පඤ්චාංග ලිතේ සඳහන් වේ. හැමවිටම පුර පෑළවිය ලැබූ කල මුලින්ම උදාවන කරණය කිංස්තුංග වන අතර ඉන්පසු බව, බාලව, කෞලව ආදී වශයෙන් කරණ ලබා ගෙවී යළිත් විෂ්ටි කරණයෙන් අවසන්වේ. ඉන්පසු ආරම්භ වන්නේ බව, බාලව ආදී කරණයන්මය. එම චර කරණ හත චන්ද්‍ර මාසයක් තුළ දී එක් කරණයක් අට වරක් බැගින් උදාවන බව මේ අනුව වටහා ගත යුතුය.එය තවත් ලෙසකින් පැවැසුවහොත් එක් චන්ද්‍ර මාසයක් තුªළදී චර කරණ 7න් එකක් 8 වරක් උදාවන බවය.

ඉහතින් දැක්වූ පරිදි පඤ්චාංගයට අදාළ කරුණු පහ පිළිබඳ ලිතේ පඤ්චාංග පිටුවක් බලා අවබෝධ කර ගන්න.

පංචාංග දෝෂ

හිරු සඳු ඇතුළු ග්‍රහ මණ්ඩලය සහ නක්ෂත්‍ර තාරකා පද්ධතිය මඟින් පෘථිවි තලය මත ඇති කරන කිරණ ශක්තීන්ගේ විෂම දේ පංචාංග දෝෂ ලෙස සරලව හැඳීන්විය හැකිය. පංචාංග දෝෂ දහයක් ප්‍රධාන වශයෙන් ඡ්‍යොතිෂයේ ඉගැන්වේ. එම දසමහා දෝෂ ඡ්‍යොතිෂයේ මෙසේ ගෙනහැර දක්වයි. දග්ධ- දැවෙන සුලු බව, මර -විනාශය, විශ්ටි -ස්ථම්භනය, කාණ - අන්ධකාරය, රික්තා - හිස් බව, විෂ- විෂ බිය, අග්නි- ගිනිබිය, ශකට- කරදර පීඩා, භූමි ශුක්‍ර- පීඩා, ශූල- හිස්බව ලෙසද දෝෂ තිබෙන අතර තවත් විවිධ සම්මතයන් තිබේ.

මේ දස මහා දෝෂ එකක් හෝ පවතින දිනෙක සුබ වැඩ ආරම්භ නොකළ යුතු බව ඡ්‍යොතිෂ මතයයි.

 

ආචාර්ය

ජී. ඇම්. ගුණපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.