පලාපල කීමේදී වැදගත් වන සියුම් රේඛා

දෙසැම්බර් 20, 2024

ඉතා නිවැරැදිව අතක් බලා පලාපල කීම හස්ත රේඛා ශාස්ත්‍රඥයකු සතු විශේෂ දක්ෂතාවක් කියති. එසේ පලාපල කීමේදී අතක් ඉතා සියුම්ව පරීක්ෂා කළ යුතු වේ. මෙහිදී ප්‍රධාන රේඛා හා ග්‍රහ මණ්ඩල පමණක් බලා පලාපල කීමෙන් තමා අදහස් කරන පරිදි නිවැරැදි පලාපල කීම අපහසුය.

මේ නිසා අතක පිහිටන සියුම් රේඛා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. ඒ සඳහා බලපාන සියුම් රේඛාවන් මොනවාද හා ඒ මඟින් කියවෙන සුබ හා අසුබ පල මොනවාද කියා මේ ලිපියෙන් විස්තර කරමි.

එම සියුම් රේඛාවන් මොනවාද? සුඛ රේඛාව ගුප්ත කතිරය, සොලමන්ගේ මුද්ද, ශනි චක්‍රය, හෙවත් ශුක්‍ර මේඛලාව කුජ රේඛා, විවාහ රේඛාවන් දේශාටන රේඛාව, සහෝදරපල රේඛා හා දරුපල රේඛා, පරහිත් දර්ශන රේඛාව, ශාස්ත්‍රීය රේඛා, ඇඟිලිවල වැටෙන සියුම් සුළි සලකුණු, මණිබද්ධ රේඛා, නිය පොතුවල පිහිටීම, ඇඟිලිවල පුරුක්වල වැටෙන රේඛා හා ලප, දූපත්, කොඩි සලකුණු සේසත්වල පිහිටීම වැනි සියුම් රේඛා සලකුණු, සැලකිල්ලට ගෙන පලාපල කීමෙන් තම සේවාදායකගේ බලාපොරොත්තු වන කරුණු කිව හැකි බව අපගේ දිගුකාලීන අත්දැකීම් වේ. සුඛ රේඛාව රූප සටහන බලන්න. එහි අංක 1 සලකුණින් පෙන්වා ඇත්තේ සුඛ රේඛාවයි. මේ සුඛ රේඛාව ජීවන රේඛා අගින් පටන් ගෙන දෙවැනි කුජ මණ්ඩලයේ දී මඳක් වමට බරව පිහිටයි.

මේ සුඛ රේඛාව ඉතා දුබලව, තුනීව, ඇදව කැඩී තිබීම විවිධ වූ ලෙඩ රෝගවලට ලක් වීමට හේතු වේ. ඇතැම් අයගේ මෙය කොහෙත්ම නොපිහිටන බව පෙනෙන අතර අනිකුත් රේඛා සැලකිල්ලට ගෙන වැලඳෙන රේඛා පිළිබඳව අවබෝධයන් ලැබිය යුතු ය. 2 ගුප්ත කතිරය, රූප සටහනේ අංක (2) න් පෙන්වා ඇත්තේ ගුප්ත කතිරයයි. මෙය පිහිටන්නේ මහා චතුරශ්‍රය තුළය. මෙය ද ඉතා වැදගත් රේඛාවකි. බොහෝ ඡ්‍යොතිෂවේදීන්, හස්ත රේඛා ශාස්ත්‍රඥයන්, මන්ත්‍රවේදීන්, කපු මහතුන් වැනි ගුප්ත විද්‍යා කටයුතුවල යෙදෙන අයට පිහිටන විශේෂ රේඛාවකි. මෙය අබලව පිහිටීමෙන් ඒ අය බාගෙට ඒ පිළිබඳව උගත් අයයි. (3) සොලමන්ගේ මුද්ද, මෙය පිහිටන්නේ ගුරු මණ්ඩලය තුළ අඩ සඳක රේඛාවන් පරිද්දෙනි. මෙය බොහෝ පිහිටන්නේ සමාජ සේවකයන් හා සුවිශේෂ ගෞරව බහුමානයට ලක් වූ පුද්ගලයන්ටය.

ගුරු මණ්ඩලයෙහි බලදුබලතාවයන්ට අනුව මෙහි පලාපල වෙනස් වේ. මීට ළඟ ශනි චක්‍රය පිළිබඳව විමසා බලමු. (4) අංකයෙන් පෙන්වන්නේ ශනි චක්‍රයයි. මෙය පිහිටන්නේ හෘදය රේඛාවට ඉහළිනි. ගුරු හා බුධ මණ්ඩලය අතර කලාපය තුළ පිහිටයි. මෙය තරමක් ගැඹුරුව පැහැදිලිව පිහිටීමෙන් ඉතා උසස් සුබපල උදාකරයි. බොහෝ ගායන ශිල්පීන්, වාද්‍ය ශිල්පීන් ඇතුළු කලාකරුවන්ට මේ රේඛාව පිහිටන අතර තැනින් තැන කැඩී කැපී පළුදුව පිහිටීමෙන් පුද්ගලයා සුරාවට, දුරාචාරයන්ට යොමු වේ.

මීළඟට කුජ රේඛා පිළිබඳව විමසා බලමු. (5) කුජ රේඛා දෙකක් හෝ තුනක් වැටීම ඉතා සුබයි. බොහෝවිට ත්‍රිවිධ හමුදාවන්හි රැකියා කරන අයටත්, සුවිශේෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් පිහිටන රේඛාවන්ය. අනතුරදායක රැකියා කරන අයටත් මේ රේඛාව පිහිටනු ඇත. රේඛාවන් අතර මඟ කැඩී පළුදුව තිබීමෙන් විවිධ අනතුරු සතුරු පීඩාවලට ලක් කරවන පිහිටීමකි. මිළඟට විවාහ රේඛාවන් පිළිබඳව අවධානය යොමු කරමු. රූප සටහනේ අංක 7න් පෙන්වා ඇත්තේ විවාහ රේඛාවයි. කෙනෙකුගේ අතක එක් විවාහ රේඛාවක් පමණක් පිහිටා තිබීම යහපත් එක් විවාහයක් වන බව උගන්වයි. දෙඅත්ලේම විවාහ රේඛා දෙකක් ගැඹුරින් පිහිටීම විවාහ දෙකක් වන බව පෙන්වයි. කෙනකුගේ විවාහ රේඛාව සූර්ය හෙවත් රවි රේඛාවට සම්බන්ධ වේ නම් එය ධනවත් විවාහයකි. කෙනකුගේ මේ රේඛාව ප්‍රධාන රේඛාවන් කපාගෙන ගොස් පළමු කුජ මණ්ඩලයට ගමන් කරයි නම් එය වැන්දඹු යෝගයකි.

විවාහ රේඛාවන් කිහිපයක් වැටී කැඩී කැපී ඇත්නම් එවැනි අයගේ යුග දිවිය අඬදබර කරදර මැද්දේ ගමන් කිරීමට සිදුවේ. මීළඟට අංක 8න් පෙන්වා ඇත්තේ දේශාටන රේඛාවයි. මෙය මෙරට හා පිටරට ගමන් බිමන් පිළිබඳව කියැවේ. දේශාටන රේඛාවන් කිහිපයක් තිබෙන බව ශාස්ත්‍රයේ උගන්වන අතර කෙනෙකුගේ දෙඅත්ලේම මේ රේඛාව ඉතා හොඳින් සලකුණු වේ නම් එවැනි අයගේ විදේශ ගමන් සාර්ථක වන බවත් ඉතා දුබලව අසුබ සලකුණු වලින් යුක්ත වේ නම් එවැනි අයගේ විදේශ ගමන් අසාර්ථක වන බවත් ඊට විවිධ බාධක, කරදර ඇති වන බවත් ශාස්ත්‍රීය මතයයි.

ඊළඟට සහෝදරපල රේඛා පිළිබඳව විමසා බලමු. (අංක 9) මේ රේඛා පිහිටන්නේ සිකුරු මණ්ඩලය තුළය. රූප සටහනේ පෙන්වා දී ඇති පරිදි සිහින්, දිගටි රේඛාවලින් ගෑනු සහෝදරයන් පිළිබඳව හා කෙටි ගැඹුරු රේඛාවලින් පිරිමි සහෝදරයන් පිළිබඳවත් කියවේ. වර්තමාන සමාජය තුළ දරු උපත් සීමා කරන බැවින් බොහෝවිට රේඛා වැටී තිබුණත් ඔවුන්ගේ සංඛ්‍යාවන් වෙනස් වීමට ඉඩ තිබේ.

අංක 10 මඟින් පෙන්නා ඇත්තේ පරහිත් දර්ශන රේඛාවයි. දකුණු අතක නම් මේ රේඛාව පිහිටන්නේ සඳු මණ්ඩලයට තරමක් ඉහළින් පටන්ගෙන දේදුන්නක ආකාරයෙන් පිහිටා දෙවන කුජ මණ්ඩලය තුළින් අවසන් වේ. රූපසටහන බලන්න. එහි අංක 10න් පෙන්වා ඇත්තේ මේ රේඛාවයි. මෙය ඉතා හොඳින් පිහිටා ඇති අයට අනුන්ගේ සිත ගැන කිවහැකි වේ. බොහෝ ඡ්‍යොතිෂවේදීන් ගුප්ත ශාස්ත්‍රකරුවන් හා මනස දියුණු කර ගත් භාවනානුයෝගී භික්ෂූන්ටත් මේ ආකාරයෙන් රේඛාව පිහිටයි. රේඛා දුර්වලව ඇදව පළුදු වී තිබීමෙන් ස්නායු රෝග ඇතිවීමට හේතුවේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.