ලෝ පතළ ක්‍රීඩකයන් බිහි කරන අග්නි මාරුත යෝගය

මාර්තු 29, 2024

අග්නි යනු ගින්නයි. මාරුතය වේගයෙන් හමන සුළඟයි. ඒ අනුව අග්නිය හෙවත් ගින්න කුජ නිවේදනය කරන අතර මාරුතය හෙවත් වේගයෙන් හමන සුළඟ සෙනසුරු නිවේදනය කරයි. ඒ අනුව මෙකී ග්‍රහයන් දෙදෙනා කුමන ආකාරයකින් 10වැන්නෙහි සංයෝග වූ විට දක්ෂ ක්‍රීඩකයන් බිහිකරයි. ඒ අනුව මෙම යෝගයෙදී විශේෂයෙන්ම 10වැන්නෙහි අඟහරු

ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ, උච්ච යනාදි බලයකින් යුතුව සෙනසුරු සමඟ සංයෝගයෙන් දෘෂ්ටියෙන් සම්බන්ධව සිටිය යුතුය.

ඒ අනුව අග්නි මාරුත යෝගය යනු ශනි මංගල යෝගය නොවේ. ශනි මංගලය ඕනෑම භාවයක කුජ ග්‍රහයා අඟහරු සමඟ සම්බන්ධව සිටිය විට යෙදෙන සුලබව දක්න ලැබෙන යෝග විශේෂයක් වන අතර අග්නි මාරුත යෝගය යෙදෙන්නේ ලග්න කේන්දරයේ 10වැන්න මේෂ, වෘශ්චික, මකර රැසක් වී එහි රැසක පතිත අඟහරු රුචක නම් පංච මහා යෝගය උදා කර ඇති විටකදී එකී රුචක උදා කල බලවත් අඟහරු සමඟ සෙනසුරු ග්‍රහයා දෘෂ්ටියෙන් සංයෝගයෙන් හෝ වෙනයම් ආකාරයකින් සම්බන්ධ වූ විටදීය. මෙකී යෝගය පිළිබඳව වඩාත් හොඳින් කරුණු අවබෝධ කරගත හැක්කේ උදාහරණ කේන්දර මඟින් වන නිසා ඒ සඳහා අපි මෙකී යෝගය යෙදුණු අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ කී‍්‍රඩකයන් දෙදෙනෙකුගේ හඳහන් 2 ක් අධ්‍යයනය කරමු.

1942 ජනවාරි 17 සවස 06.35ට අමරිකා එක්සත් ජනපදයේ ලුවි විල්හිදී සුවන නැකතේ දෙවැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සඳු මහ දශාව ඉදිරියට වර්ෂ 2 යි මාස 1 යි දින 17ක් ශේෂව ඇති අංක 01 උදාහරණ කේන්දරය අයත් වන්නේ ලෝක ප්‍රසිද්ධ බොක්සිං ශූරයකු වන මොහොමඩ් අලීටය. එම කේන්දරයේ 10වැන්න වූ මේෂ රාශියේ අඟහරු ග්‍රහයා රුචක නම් පංච මහා යෝගය උදා කරමින් 7, 8 සෙනසුරු ග්‍රහයා සමඟ යෝග වෙයි. මෙහිදී සෙනසුරු මේෂයේ නීච වන මුත් වක්‍ර නිසා චෙෂ්ටා බලය ලැබ උච්ච ග්‍රහයෙක් මෙන් සමානව බලවත් වී ඇත. ඒ අනුව මොහොමඩ් අලිගේ කටක ලග්න කේන්දරයේ අග්නි මාරුත යෝගය උදා කළ ග්‍රහයන් දෙදෙනාගෙන් අඟහරු කාරක ලග්නයට යෝගකාරක ග්‍රහයා වන හෙයිනුත් දිග් බලය ලබා ඇති හෙයිනුත් රුචක නම් පංච මහා පුරුෂ යෝගයට සම්බන්ධ වී ඇති හෙයිනුත් අතිශයින්ම බලවත්ය. ඒ නමුත් මෙකී අඟහරු නවාංශක කේන්දරයේ නීච වී ඇත. එසේ වුවද නීච අඟහරු තැන්පත් නවාංශක අධිපති සඳු ලග්නාධිපතියා වෙමින් සඳුට හිමි සුවන නැකතේ තැන්පත්ව සූක්ෂ්ම ලෙස ස්වක්ෂේත්‍ර වී බලවත් වී ඇති හෙයිනුත්, එම සඳු ලග්න කේන්දරයේ 7 වැන්නෙහි පතිතව ලග්නය දකිමින් සිටින හෙයිනුත්, නවාංශක කේන්දරයේ අඟහරු නීචව අහෝසි වී පසු ශුභඵල ගෙනදීමට හේතු වී ඇත. මෙකී අග්නි මාරුත යෝගයට සම්බන්ධ කුජ, ශනි ලග්නයෙන් චන්ද්‍ර ලග්නයේ සූර්ය ලග්නයෙන් කේන්ද්‍රස්ථානයක් වූ 10 වැන්නෙහි පතිත වීමට මොහොමඩ් අලිගේ නාමය අමරණීය වීම හේතු ඇත.

2වැනි උදාහරණ කේන්දරය අයත් වන්නේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානය හිමි කර ගැනීමට පිත්තෙන් දස්කම් පෑ අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සනත් ජයසූරිය මහතාටය.

ඒ මහතා උපන් කුම්භ ලග්න කේන්දරයේ අඟහරු 10 වැන්න වූ වෘශ්චික රාශියේ දිග් බලය ලබා රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදා කර ඇත. අප මාතෘකාවට සම්බන්ධ අනෙක් ග්‍රහයා වන සෙනසුරු ක්‍රීඩාවට සම්බන්ධ භාවයක් වන 3 වැන්න වූ මේෂයේ නීචව ඇත. ඒ නමුත් එකී සෙනසුරු ඒ නීචය 10වැන්නේ ස්වක්ෂේත්‍ර බලය ලැබූ අඟහරුගෙන් භංග වී ඇත. එහිදී සෙනසුරුගේ බලපෑම සෙනසුරු අඟහරුගේ රාශියක සිටීම නිසා අඟහරුට ලැබී ඇත. අනෙක් 3 වැන්නෙහි සිටින සෙනසුරු අෂ්ටම දෘෂ්ටිය 10වැන්නෙහි සිටින අඟහරුට වැටීම බොහෝ ඡ්‍යොතිෂවේදීන් භාවිත නොකරන නමුත් පලාපල කථනයේදී අනිවාර්යයෙන් භාවිත කළ යුතු සෑම ග්‍රහයෙක්ම නමට සිටින තැනින් 4 වැන්න සහ 8 වැන්න යන භාව 3/4ක් දකිති යන පරාශර ඡ්‍යොතිෂ සිද්ධාන්තය සහ සෙනසුරු රාශි දෘෂ්ටියෙන් 10 වැන්නෙහි සිටින අඟහරු දැකීම යන ග්‍රහ දෘෂ්ටීන් මඟින් දෘෂ්ටිමය වශයෙන් අග්නි මාරුත යෝගයක් යෙදී ඇත. ඒ අනුව මෙකී යෝගය එලෙස යෙදී ඇතැයි යන්න, ඒ මහතා එක් දින තරඟවලදී වේගවත් පිති හරඹ මඟින් පිහිටුවන ලද ලෝක වාර්තා මඟින් පැහැදිලි වන්නේ ය. මෙකී සනත් ජයසූරිය මහතාගේ කුම්භ ලග්න කේන්දරයෙහි 10 වැන්නෙහි යෙදුණ අග්නි මාරුත යෝගය තවදුරටත් කුම්භ ලග්න කේන්දරයට යෝග කාරකත්වයක් දරන සිවුවැන්නෙහි පතිත බුධ සහ සිකුරුගේ සප්තම දෘෂ්ටියට ලක්වීම නිසා ඒ මහතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වීමට, යාන වාහන, ගේ දොර, මිල මුදල් ලැබීමට හේතු වී ඇත.

මෙකී අග්නි මාරුත යෝගය යෙදුණු කේන්දර දෙකෙන් මොහොමඩ් අලිගේ කේන්දරයේ අග්නි මාරුත යෝගය චර රාශියක් වූ මේෂ රාශියෙහි යෙදීමත් උපන් කටක ලග්නය චර රාශියක් වීම නිසා මොහොමඩ් අලිගේ නාමය ලෝවැසියන් සැමදෙනා අතර ප්‍රසිද්ධියට පත් වූ නමුත් සනත් ජයසූරිය මහතාගේ කේන්දරයේ මෙකී යෝගය තීර රැසක් වූ වෘශ්චිකයේ යෙදීමත් උපන් ලග්නය වන කුම්භය තිර රාශියක් වීම නිසා ඒ මහතාගේ නාමය ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර පමණක් ප්‍රසිද්ධියට පත්විය.

ඒ අනුව මෙකී අග්නි මාරුත යෝගය අඟහරු ග්‍රහයා 3, 8, 10, 11 යන උපචය භාවයක බලවත්ව යෙදී අඟහරුට වඩා අති බලයකින් සෙනසුරු යෙදුණු කල අග්නිමාරුත යෝගය යෙදෙන අතර මෙකී යෝගධාරීන්, චණ්ඩින්, පාතාල කල්ලි නායකයන් ලෙස ද එහිදී යෝගයේ බල ප්‍රබලතාව අනුව ගමක ප්‍රදේශය, පළාතක , රටක, ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්විය හැකි නමුත් මෙකී යෝගයෙන් උසස් ශුභ බල ලැබෙන්නේ අඟහරු ග්‍රහයා 10 වැන්නෙහි රුචක නම් පංච මහා යෝගය උදා කරමින් යෝග කාරක ග්‍රහයාගේ ග්‍රහ බලපෑමට ලක්ව යෙදීමෙනි ඒ අනුව මෙකී යෝගය ශනි මංගල යෝගය ලෙස වරදවා වටහා නොගත යුතුය. ශනි මංගල යෝගය කේන්දරයක භාව 12 න් කවර භාවයක අංශක 8ක් ඇතුලට සංයෝගවීමෙන් වුව යෙදෙන අතර අග්නි මාරුත යෝගය එයට වඩා වෙනස් යෝග විශේෂයක් බව ඉහත විග්‍රහ කළ කරුණුවලින් පාඨක ඔබට වඩාත් හොඳින් පැහැදිලි වන්නට ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.