පෙර අකුසල් මතු කර සෙනසුරු අපලය දෙගුණ කරන ග්‍රහයෝ

මාර්තු 8, 2024

 

සෙනසුරු අපලය නැතහොත් සෙනසුරු ඒරාෂ්ඨක අපලයට බොහෝ දෙනා බියවෙති. ඒ නමුත් සෙනසුරු ඒරාෂ්ඨක අපලයට බිය වීමෙන් පලක් නැත. මන්ද යත් සෙනසුරු ඒරාෂ්ඨක අපලය මෙලොව උපදින සැම සත්වයකුටම අනිවාර්යෙන් මුහුණ දීමට සිදුවන අපලයක් වන නිසාය.

මේ පිළිබඳව සුළු උදාහරණයක් මඟින් කරුණු පැහැදිලි කළහොත් ඔබ කලකට ඉහත දී හදිසි අනතුරකට ලක්වී රෝහල්ගත වී කලක් ප්‍රතිකාර ගත්තේ යැයි සිතමු. ඒ අනුව එකී හදිසි අනතුරට ලක්වීමට පෙරාතුව කේන්දරය පරීක්ෂා නොකළ නිසා ඔබට එකී අනතුර සිදුවූයේ යම් කිසි අපලයක් නිසා බව ඔබ නොදනියි. නමුත් පසු කලෙක ඔබ ඔබගේ ජන්ම පත්‍රය යම්කිසි අවශ්‍යතාවයක් උඩ පරීක්ෂා කිරීමට ඡ්‍යොතිෂවේදියෙක් වෙත ඉදිරිපත් කළා යැයි සිතමු. එම අවස්ථාවේ දී කේන්දරය පරීක්ෂා කරන ඡ්‍යොතිෂවේදියා ඔබට සෙනසුරු ඒරාෂ්ටක අපලයක් තිබුණු බවත්, එහිදී ඔබ හදිසි අනතුරකට ලක් වූ වා දැයි ප්‍රශ්න කරනු ඇත. එවිට ඔබට පසුගිය කාලයේ තමාට හදිසි අනතුරක් සිදුවූයේ එවිට තමාට සෙනසුරු ඒරාෂ්ටක අපලයක් ලබා තිබුණු නිසා යන්න පිළිබඳව කරුණු අවබෝධ වනු ඇත.

ඒ අනුව මෙලෙස අප ජීවත් වන කාලයේදී අපට අපල විපත් ඇති වන අතර, එසේ අපල විපත් ඇතිවන්නේ අප පෙර භවයන්හි කරන ලද අකුසල් කර්ම නිසාය. එකී අකුසල් කර්ම පලදීම ප්‍රකාශයට පත් කරන්නේ සෙනසුරු ඒරාෂ්ටක අපල මගිනි.

එමෙන්ම තවත් සමහර කාලවලදී අප පෙර භවයන්හිදී කරන ලද කුසල කර්ම නිසා අපගේ ජීවිතය සැපවත් වන අතර, එසේ සිදුවන්නේ ලග්න කේන්දරයේ බලවත්ව සිටියා වූ ගුරු ග්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා තිබියදී ගුරු ග්‍රහයා ගෝචරයෙන් ගුරු සුබපල දෙන 1, 2, 5, 7, 9, 10, 11 යන භාවයක ගෝචරය වන අවස්ථාවලදීය. කරුණු මෙසේ වන හෙයින් පින් පව් පලදීම මනුෂ්‍ය ලෝකයේ ස්වභාවය වන අතර, එය අප කිසිවෙකුට වෙනස් කළ නොහැකි ධර්මතාවයක් නිසා විශේෂයෙන් මෙහිදී පවු පලදීම නිසා ඇතිවන ඒරාෂ්ටක අපලවලට බියවීමෙන් කිසිදු පලක් නැත. මන්දයත් එය අපට වැළැක්විය නොහැකි ලෝක ධර්මතාවයක් වන නිසාය.

එමෙන්ම සෙනසුරු අපලය මැඬ පැවැත්වීමට විවිධ ශාන්තිකර්ම ඇතත් එසේ ශාන්ති කර්මවලින් අපල මැඬ පැවැත්විය හැක්කේ ඉතා සුළු පිරිසකට පමණක් වන අතර තවත් පිරිසකට අපලයෙන් ඇති වන අශුභ බලපෑම් ශාන්ති කර්ම මඟින් අඩුකරගත හැකිය. නමුත් බොහෝ දෙනෙකුට මෙකී සෙනසුරු අපලය මඟින් වන පීඩා වැළැක්විය නොහැකිය. ඒ බව වර්තමාන සමාජයේ එදිනෙදා සිදුවන සිදුවීම් මඟින් ඔබට අවබෝධ කර ගත හැකිය.

ඒ අනුව ලග්න කේන්දරයක බලවත්ව පිහිටි ග්‍රහයන් මඟින් ජන්මියා විසින් පෙර භවයේ කරන ලද කුසල් කර්ම නිවේදනය කෙරෙන අතර එසේ බලවත්ව පිහිටියා වූ ග්‍රහයකුගේ මහ දශාවක් ලැබූ විට ජන්මියාගේ පෙර පින්වල ශුභඵල ලැබෙන්නේ ය. එසේම අශුභව පිහිටියා වූ ග්‍රහයන් මඟින් ජන්මියා පෙර භවයේ කරන ලද අකුසල් කර්ම ක්‍රියාත්මක වී අශුභපල ලැබෙන්නේ ය.

බොහෝ විට අශුභපල දෙන ග්‍රහයකුගේ මහ දශාවක් සමඟ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ඨක අපලයක්, ලග්න ඒරාෂ්ඨක අපලයක් හෝ චන්ද්‍ර අෂ්ටමය ඒරාෂ්ඨක අපලයක් සමඟ ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපලයක් ලබාදෙන්නේ ය. (සඳු ලග්නයේ සිටින විට ලග්න කේන්ද්‍රයෙන් මෙන්ම චන්ද්‍ර කේන්දරයෙන් ද අට වැන්නේ ශනි ගෝචර වීමෙන් එකවර ලග්න අෂ්ටම සහ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ඨක අපලයක් ලබන්නේ ය.) එමෙන්ම තවත් සමහර අවස්ථාවලදී යම් කිසි අශුභ ග්‍රහයකුට අයත් මහ දශාවක් ලබා සෙනසුරු ග්‍රහයාට අයත් අතුරු දශාවන් ලබා ඇතිවිට ලග්න ඒරාෂ්ටක අපලයක් සමඟ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයක් ලබා ඇත්නම් කේන්දර හිමියා තදබල අපල විපත් ඇති වන්නේ ය. ඒ අනුව නව ග්‍රහයන් දුර්වල වීම නිසා එකී ග්‍රහයන්ගේ මහ දශාවලදී අපල විපත් ඇතිවන අතර, එයට හේතුව ජන්මියා පෙර ආත්මවලදී කරන ලද අකුසල් කර්ම පලදීමයි. ඒ පිළිබඳව මෙහිදී කරුණු විග්‍රහ කළහොත්,

රවි අපලයට

රවි ග්‍රහයා ලග්න කේන්දරයක දුර්වල නම් එයට හේතුව වන්නේ ජන්මියා පෙර භවයේදී, පියාට, සත්පුරුෂයන්ට, ස්වාමිවරුන්ට, තම ජීවිතය ආලෝකමත් කර ගැනීමට ධර්ම ඥානය ලබාදෙන පූජකයන්, භික්ෂූන්ට ආදී උත්තමයන්ට නින්දා අපහාස කර තිබීමයි. එවැනි අයට රවිගේ මහ දශාවේ දී රවි අපලයෙන් පීඩා විඳීමට සිදුවන අතර එවන් අයගේ ජීවිතයේ තේජස ආලෝකය හීන වනවා මෙන්ම රාජ දඬුවම්වලට යටත්වීමට සිදුවන අතර තනතුරුවලින් පහළ වැටේ. රාජ්‍ය බලය අහිමි වේ. උෂ්ණාධික පරිසරවල වාසය කිරීමට සිදුවේ. පියා සතු දේපළ අහිමි වේ.

රෝග වශයෙන් පිත්තාධික රෝග දැවිල්ල, උණ, හිසේ රෝග, කොඳු නාරටියේ ආබාධ, හෘද ආබාධ, ස්ත්‍රියකගේ වම් ඇසේ පෙනීමත්, පුරුෂයකුගේ නම් දකුණු ඇසේ පෙනීම දුර්වලවීම වැනි ශාරීරික රෝගාබාධ ඇති කරන්නේ ය.

මෙකී රවිගේ අපලයට බෝධි පූජා ශුභ වන අතර බෝධි පූජා තබන විට 1, 10, 100 යන අංක එක ලැබෙන සංඛ්‍යාවට සමාන රතු නෙළුම් මල්, දහස් පෙතියා මල්, සූරියකාන්ත මල්, වී, පොරි, විළඳ මිශ්‍රකර කිරි ආහාර උක් හකුරු සමඟ පූජා කිරීම ශුභය.

තවද ඇස් අන්ධ අයට උපකාර කිරීම, සතුන්ට ආහාර සහ වතුර බීමටදීම, පිපාසයෙන් පෙළෙන අයට සිසිල් බීම, තැඹිලි ආදිය දීම මව්පියන්ට උපස්ථාන කිරීම ශුභය. එසේම දෙවියන් පිදීම, සූර්ය මණ්ඩලය ආඝොරය, සිද්ධම්බරය නවග්‍රහ යන යන්ත්‍රයත් ජීවම් කර සුරයක් පැළඳීමද ශුභය.

සඳු අපලයට

ලග්න කේන්දරයක සඳු ග්‍රහයා අශුභව පිහිටිවිට සඳු, ග්‍රහයාට අයත් මහ දශාවක් ලැබූ කල සඳු අපලය ක්‍රියාත්මක වන අතර, එයට හේතුව නම් ජන්මියා පෙර ආත්ම භාවයන්හිදී මෑණියන්ට, මහ රහත් මෙහෙණින් වහන්සේලාට සිල්වත් දසසිල් මාතාවන්ට ගුරුදෙවියන් පත්තිනි දේව මාතාවන් නින්දා අපහාස කිරීම, හිංසා කිරීම නිසාය.

මෙසේ ලග්න කේන්දරයක සඳු දුර්වලව පිහිටි විට සෙම් රෝග, රුධිරය පිළිබඳ රෝගාබාධ උමතුව, මත්පැන් පානයට ඇබ්බැහි වීම නිසා ඇතිවන සිරෝසීස් වැනි රෝගයන්, පාචනය, ප්‍රතිශ්‍යාව වැනි රෝගවලට ගොදුරුවන්නේ ය.

මෙකී සඳුගේ අපලයෙන් මිදීමට මෙහෙණින් වහන්සේලාට, දසසිල් මාතාවන්ට, සිල්වත් ගුණවත් කාන්තාවනට උපස්ථාන කිරිම සහ බුද්ධ පූජා, බෝධි පූජා තබා පත්තිනි දේවියට පින්දීම, සඳු අපලය දුරු කර ගැනීමට හේතු වනවා සේම චන්ද පිරිත පැන් කළයකට 11 වරක් හෝ 110 වරක් පිරිත් කර බෝධියක් නැහැවීම, ජලයේ සිටින සතුන්ට ආහාරදීම ද, පත්තිනි දේව මෑණියන් වැනි දේවමාතාවන්ගේ පිහිට පැතීමද උපකාරී වන්නේ ය.

කුජ අපලයට

අඟහරු ග්‍රහයා ලග්න කේන්දරයක අශුභව පිහිටා ඇති කල අඟහරු ග්‍රහයාගේ මහ දශාවක් ලැබූ විට අඟහරුගේ අපලය සක්‍රීය වන්නේ ය. එසේ අඟහරුගේ අපල යෙදෙන්නේ ජන්මියා විසින් පෙර අත් භවයන්හිදි මිනිසුන් ඝාතනය කිරීම, සතුන් ඝාතනය කිරීම, මව්පියන්ට පහරදීම, කාමයේ වරදවා හැසිරීම, නිතර කෝපවීම, අන්සතු දේ ගැනීම, කෲර වධහිංසනයට ලක් කිරීම වැනි අකුසල් කර්ම කළ නිසාය.

එවැනි අයට මේ ආත්මයේදී අනුන්ගේ පහර කෑමට සිදුවන අතර ලේ හැලෙන ලෙස අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ. විවාහ බිඳ වැටීම, සහකරු හෝ සහකාරිය මිය යාම, තම ධනය සහ දේපළ සොරුන්ගෙන් හානි සිදුවීම වැනි විපත් ඇතිවන අතර, රෝග වශයෙන් අර්ශස්, ගඩු ගෙඩි ඇතිවීම, ලියුකේමියා රෝගයට ගොදුරුවීම, ශල්‍යකර්මයන්ට භාජනය වීම වැනි දෑ සිදුවන්නේ ය.

මෙකී කුජ අපලය ඇතිවීමට ද්වේෂය හේතු වන නිසා මෙකී කුජ අපලයෙන් මිඳීමට ද්වේෂය දුරුකළ යුතු ය. ඒ සඳහා දිනකට මිනින්තු 10ක් මෛත්‍රී භාවනාවෙහි යෙදිය යුතු ය. ඒ හැර කතරගම දෙවියන්ට පින්දී බෝධි පූජා තැබීම. අඟහරුවාදා අඟහරු හෝරාවෙන් රතු නෙළුම්, රතු රෝස මල් අංක 3 එකතුව ලැබෙන 3, 12, 21, 30 යන සංඛ්‍යාවකින් යුතුව තබා බෝධි පූජාවක් තැබීමද කුජ අපලය සඳහා කළ හැකි මහඟු ශාන්ති කර්මයක් වන්නේ ය. තවද මෙකී කුජ අපලය ඇතිවිට සටන්වලට යෑම සටන් මෙහෙයවීම, රතු ඇඳුම් ඇඳීම මිරිස් සැරට ආහාර ගැනීම නොකළ යුතු ය.

බුධ අපලයට

බුධ ග්‍රහයා ලග්න කේන්දරයක පාප පීඩිතව අශුභව පිහිටා ඇති කල බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් ලැබූ කල බුධගේ අපලය ඇති වන අතර, එයට හේතු වන්නේ ජන්මියා පෙර ආත්මවලදී බුද්ධිමතුන්ට නින්දා අපහාස කිරීම, හොර ඔප්පු ලිවීම, බොරු සාක්ෂි දීම, හොර අත්සන් යෙදීම වැනි වංචනික ක්‍රියා කිරීම, අනුන් රැවටීම, සොරකම් කිරීමට, කූඨ බුද්ධිය යෙදීම, බොරු කීම වැනි පාප කර්මයන් කිරීමය.

මෙලෙස බුධ ග්‍රහයා දුර්වලව පිහිටි ජන්මියාට, මොළයේ සහ ස්නායු රෝග, සමේ සහ අත් ඇඟිලි රෝග, කථාව ප්‍රබල නොවීම, ගොත ගැසීම, තුන්දොස් අසනීප, සිහිකල්පනාව මදි වීම, ගොළුබව, බිහිරි බව, වලිප්පුව වැනි රෝගාබාධවලට ගොදුරු වන්නේ ය.

ඒ අනුව බුධ ග්‍රහයාගෙන් ඇතිවන අපලයෙන් මිදීම සඳහා මොළය වෙහෙසා වැඩ කිරීමෙන් නිදි මැරීමෙන් වැළකී සිටිය යුතුය. තෙත ඇඳුම් ඇඳීම නොකළයුතුය. වචනය සංවර කරගත යුතු ය. බොරු, කේළාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කීමෙන් වැළකී සිටිය යුතුය. ශාන්ති කර්ම වශයෙන් බදාදා දිනක බුධ හෝරාවෙන් බෝධි පූජා තැබීම, පූජා තබා ගාථා කියන විට උතුරු දිසාවේ වාඩි වී මරුට පිටුපා සිටීම, බුද්ධානුස්සති භාවනාවේ යෙදීම, සිරකර සිටින ගිරවුන් ඇතුළු පක්ෂීන් නිදහස් කිරීම, මසුන්ට කෑම දීම, නවගුණය සංජිව, රත්න යන්ත්‍රවලින් එකක් තඹ හෝ රිදී පතක ලියා ජීවම් කොට පැළඳීම, විෂ්ණු , ගණ දෙවි, සරස්වතී ආදී දෙවියන්ගේ පිහිට පැතීම, බුධ අපලයට කළහැකි මහඟු ශාන්ති කර්මයන් වන්නේ ය.

ගුරු අපලයට

ගුරු ග්‍රහයාගේ අපලය යෙදෙන්නේ ගුරු ලග්න කේන්දරයක අසුබ භාවගතව පාප පීඩිතව සිටිය විටදීය. එසේ සිටි කල ගුරු ග්‍රහයාගේ මහ දශාවක් ලැබූ විට ගුරුගේ අපලය ඇති වන්නේ ය. එසේ ගුරුගේ අපල පලදීමට හේතූන් වන්නේ ජන්මියා පෙර ආත්මවල, ගුරුවරුන්ට, සිල්වතුන්ට, භික්ෂූන් වහන්සේලාට, ගුණවත් පූජකයන්ට, දෙමව්පියන්ට, නින්දා අපහාස කිරීම, නොසැලකීම, අකීකරුවීම, බෝධීන් වහන්සේලා කැපීම, විනාශ කිරීම, බුදු පිළිම කඩා දැමීම, ගුණවත් මිතුරන්ට ද්‍රෝහිවීම යනාදි පාප කර්ම කිරිම නිසා ය.

මෙසේ ලග්න කේන්දරයක ගුරු ග්‍රහයා අශුභව පිහිටි කල හෘදයාබාධ, බරවා රෝගය, දියවැඩියාවට, සෙම් රෝග, ශරීරයේ මේදය හෙවත් කොලෙස්ටරෝල් වැඩිවීම වැනි රෝගාබාධයන්ට ගොදුරු වන්නේ ය.

මෙකී ගුරුගේ අපලයෙන් මිදීමට ශාන්තිකර්ම කළ යුතු අතර, ඒ අනුව 5 අංකය ලැබෙන 5, 14, 23, 32, 41 යනාදි සංඛ්‍යාවකින් යුත් කහ මල්, කොඩි, ගිතෙල් පහන් තබා බෝධි පූජා තිබීමද පිරිත් පැතීම සහ පිරිත් නූල් පැළඳීම, දාන ශීල භාවනා ආදී බොදු ක්‍රියාවල නියැළීම, බුදුගුණ යන්ත්‍රයක්, පිරිත් කර පැලඳීම, බෝධි පූජා තබන විට බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘ ගුණය මෙනෙහි කර බෝධි පූජා තැබීම, සුදුසු මැණික් හෝ රන් ආභරණයක් පැළඳීම වැනි ශාන්ති කර්ම සුදුසු වන්නේ ය.

සිකුරු අපලයට

ලග්න කේන්දරයක සිකුරු ග්‍රහයා අශුභව පිහිටි විට සිකුරු අපල යෙදෙන්නේ ය. එසේ සිකුරු ගේ අපල පල දෙන්නේ සිකුරු ග්‍රහයාට අයත් මහදශාවක් ලැබූ විටය. මෙසේ සිකුරුගේ අපලය පලදීමට හේතූන් වන්නේ කේන්දර හිමියා පෙර භවවලදී කාමයේ වරදවා හැසිරීම, ඊර්ෂ්‍යාව, ගුණවත් අයට අපහාස කිරීම, අනුන්ගේ සැපතට අකුල් හෙළීම යනාදී පාප කර්මයන් කර ඇති නිසා ය.

ලග්න කේන්දරයක සිකුරු දුර්වලව පිහිටා ඇති විට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් ලැබූ කල මුත්‍රා රෝග, ලිංග සහ වකුගඩු රෝග, කුරුලෑ, පැපොල, සරම්ප, කම්මුල් ගාය, සෙම් ගෙඩි, ශුක්‍ර මේහය, මදන පිස්සුව වැනි රෝග වැලඳෙන්නේ ය.

එහෙයින් අශුභව පිහිටි සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් ලැබූ කල අධික සංවාසය, මත් පැන්, මත්කුඩු, දුම්පානය, ඇඹුල් රස අනුභවය, සූදු සුරා ආදී විනෝදාත්මක ක්‍රියාවලින් සහ රස මිහිර සෙවීම, වෙළෙඳ ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීම වැනි කටයුතුවලින් වැළකී සිටිය යුතු ය.

ඒ අනුව මෙකී සිකුරු අපලයෙන් වැළකීමට ආගමානුකූල ජීවිතයකට නැඹුරුව සිටිය යුතු අතර, පත්තිනි දේව මෑණියන්ට පූජා තැබිය යුතුය. මෙකී අපලයට ශාන්ති කර්ම වශයෙන් සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් අංක එකතුව 6 ලැබෙන සේ 6, 15, 24, 33, 42 ආදී සංඛ්‍යාවලින් මල් වට්ටි, පහන් සුවඳ පැන් කළ මිශ්‍රපාට මල්, මිශ්‍රපාට කොඩි ෂඩ් වර්ණ බෞද්ධ කොඩි, බෝධි පූජා සඳහා යොදා ගත යුතු වන අතර පූජාව තබන විට උතුරු දිශාවෙන් හිඳ ගත යුතු අතර පූජාව අවසානයේ මංගල සූත්‍රය සජ්ඣායනා කිරීම ශුභය. ඒ හැර සුදුසු මැණික් පැලඳීම, සිදම්බරය, ඊශ්වර මණ්ඩලය, නව ගුණය ආදී යන්ත්‍රයක් මාත්තු කොට සුරයක් පැලඳීම සිකුරු අපලය සඳහා ශුභය.

සෙනසුරු අපලයට

සෙනසුරු ග්‍රහයා ලග්න කේන්දරයක පාප පීඩිතව අශුභව පිහිටා ඇති කල සෙනසුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබූ කල සෙනසුරු අපල ඇති වන්නේ ය. මෙසේ සෙනසුරු අපල ඇති වීමට හේතු භූත වන කරුණූ වන්නේ ජන්මියා පෙර අත් භාවයන්හිදී අන්‍යයන්ට දුක දීම නිසා ය. ඒ අනුව උදාහරණයක් වශයෙන් අඟහරු ග්‍රහයාට මහ දශාවක් ලබා තිබියදී සෙනසුරුගේ අතුරු දශාවක් යැයි ලබා සෙනසුරුගෙන් ඒරාෂ්ටක අපලයක් යෙදී ඇති කාල සීමාව තුළදී කේන්දර හිමියා සතුරන්ගේ පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගතවීමට සිදු වේ. ඔහුට එසේ සතුරු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවූයේ පෙර ආත්මයෙදී කෙනෙකුට පහර දී ඔහුට දුකක් ඇති කිරීම නිසා ය. තවත් උදාහරණයක් වශයෙන් කෙනෙකුට බුධ මහ දහාවේ ශනි අතුරු දශාවේ යෙදුණු ඒරාෂ්ටක අපල කාල සීමාවෙහි විභාගයක් අසමත් වූවා යැයි සිතමු. ඔහු එසේ විභාගය අසමත්වීමට හේතු වූයේ පෙර ආත්මයේදී හොඳින් ඉගෙන ගන්නට ළමයෙක් ගේ අධ්‍යාපනය කඩා කප්පල් කොට විභාගයක් අසමත්වීමට කටයුතු කොට ඔහුට දුකක් ඇති කිරීම නිසාය. ඒ අනුව විවිධ කරුණු සම්බන්ධයෙන් පෙර භවයේ දී අන්‍යයන්ට දුක් ඇති කිරීම නිසා, කලින් කලට ඇතිවන සෙනසුරු ඒරාෂ්ඨක අපලවලදී ජන්මියා මේ භවයේදී දුක ඇති කරන්නේ ය.

ඒ අනුව දුර්වලව පිහිටි සෙනසුරු ග්‍රහයාට ජන්මියා ශාරීරික වශයෙන් වාත රෝග, මන්ද පෝෂණය, ආහාර අරුචිය, ඇස්වහ කටවහ, කොඩිවින මඟින් හට ගන්නා රෝගාබාධ ඇති කරන්නේ ය. සෙනසුරු අපල පවතින විට රෑ ගමන් බිමන් යෑමෙන් රාත්‍රියේ වැඩ කිරීමෙන්, සුරා, සූදු, දුරාචාර ක්‍රියා, තනතුරු සහ වගකීම් දැරිම, මුදල් ආයෝජනය, පහත් ජනයා සමඟ ජන්ම ප්‍රදේශයේ විසීම, නිල්, කලු ඇඳුම් ඇඳීම, සැප සම්පත් සෙවීම නුසුදුසුය. ශාන්ති කර්ම වශයෙන් ඒ ඒ ආගම් අනුව පූජා තැබීම, බෝධි පූජා තැබීම, නවග්‍රහ පූජා, කපුටු දානය දීම, යාචක දානය දීම, නවනාථ , විෂ්ණු මණ්ඩලය, ශනි මෘතුංජය ආදී යන්ත්‍රයක් ජීවම් කර පිත්තල සුරයක් පැලඳීම, ආගමික ජීවිතයකට හුරුවීම වැනි ශාන්ති කර්ම ශුභය.

රාහු අපලයට

ලග්න කේන්දරයක රාහු ග්‍රහයා උප්පත්තියෙදී දුර්වලව පිහිටා ඇතිවිට රාහු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබූ කල රාහුගේ අපලය ඇති වන්නේ ය. මෙසේ රාහුගේ අපලය ඇති වන්නේ ජන්මියා පෙර ආත්මවලදී සර්පයන්, බල්ලන් වැනි සතුන් ඝාතනය කිරීම එකී සතුන්ට වධ හිංසා කිරීම , මත් ද්‍රව්‍ය භාවිත කිරීම, හොර මැරකම් කිරීම යන පාප කර්මයන් නිසාය. මෙකී රාහුගේ අපලයේදී ශාරීරික වශයෙන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් ඇතිවන සිහිමඳකම, පිස්සු රෝග වියළි ආහාර ගැනීමෙන් සහ තෙල් බැදුම් කෑමෙන් ඇතිවන ගැස්ට්‍රයිටීස් වැනි රෝග ඇතිවන්නේ ය.

එහෙයින් මෙකී රාහු අපලයෙන් මිදීමට තෙම්පරාදු ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. එසේම මත් ද්‍රව්‍ය භාවිතයෙන් වේගවත් ගමන් යෑමෙන් වැළකිය යුතු ය. වැඩිපුර ජලය පානය කළ යුතුය. අපලයට ශාන්ති කර්ම වශයෙන් ඊශ්වර, විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සුදුසු ය. නාගර්ජුනය, නව ග්‍රහ මණ්ඩලය, විෂ්ණු ආඝෝරය, මහ මෘතුංජය ආදී යන්ත්‍රයක් ජප කර තඹ හෝ පස්ලෝ සුරයක් පැලඳීම සුදුසු ය. නිවෙසේ නිරිත දිග පැත්තෙන් වත්තට වැටකෙයියා ගසක් රෝපණය කොට උදේ සවස ගසට අවශ්‍ය ජලය සපයමින් ගස පෝෂණය කිරීම සහ බෝධි පූජා තබන විට අංක 8 එකතුව ලැබෙන 8, 17, 26, 35, 44 යනාදී සංඛ්‍යාවකින් යුත් වැටකෙයියා මල් භාවිත කිරීමද ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනා කිරීම විශේෂයෙන් අවුල් වූ මනස, එක්තැන් කිරීම ශුභ වන්නේ ය.

කේතු අපලයට

ලග්න කේන්දරයක උප්පතියේ දී කේතු ග්‍රහයා පාප පීඩිතව අශුභව පිහිටා ඇති විට කේතු ග්‍රහයාට අයත් මහ දශාවක් ලැබූ කල කේතුගේ අපලය ඇති වන්නේය. මෙසේ කේතුගේ අපලය ඇති වන්නේ කේන්දර හිමියා පෙර භවවලදී අන්‍යයන්ට ඊර්ෂ්‍යා කිරීම, අන්‍යයන් කොන් කිරීම, අන්‍යයන්ගේ දක්ෂතා යටපත් කිරීම වැනි පාප කර්මයන් කළ නිසාය. ලග්න කේන්දරයක කේතු අශුභව පිහිටා ඇතිවිට කක්කල් කැස්ස, මාන්දම, තරුණියන් ඔසප් රෝග, කිළි මාලය, ඇඟ උණුකරවා යෑම, වැඩිහිටියන්ගේ උදරය මහත්වීම, වණ, පිළිකා, දද, කුෂ්ට, හොරි, පරංගි, පාණ්ඩු අපස්මාරය, දරුණු වාත රෝග සහ යක්ෂ ප්‍රේත දෝෂයන් ඇති වන්නේ ය. එහෙයින් කේතුගේ අපලයෙන් ගැලවීමට හොර මැර වංචනික ක්‍රියා ආදියෙන් වැළකී ආගමික ජීවිතයක් ගත කළ යුතුවේ. සිත කය පිරිසුදුව තබාගෙන දේශපාලන, වරප්‍රසාද සමාජ සේවය, වගකීම් භාර ගැනීමෙන් වැළකී සිටිය යුතු වේ.

මෙකී කේතුගේ අපලයට ශාන්ති කර්ම වශයෙන් බෝධි පූජා තැබීම සුදුසු වන අතර බෝධි පූජා තැබීමේ දී අංක 9 එකතුව ලැබෙන සේ 9, 18, 27, 36, 45 යනාදී සංඛ්‍යාවකින් රතු මල්, රතු කොඩි, උඳු, තල මිශ්‍ර කිරිබත්, මී කිරි පූජා කිරීම සුදුසු ය. පූජාව අවසානයේ කතරගම දෙවියන්ට පින් දීම ද, කරණීයමෙත්ත සූත්‍රය හෝ චන්ද පිරිත කියවා මෛත්‍රී භාවනාව වැඩීම ශුභඵල දෙන ශාන්තිකර්මයක් වන අතර ඒ හැර බුදුගුණ යන්ත්‍රයක් පැලඳීම ආඝෝරය, මණ්ඩල සිලම්බරය, නවග්‍රහ මණ්ඩලය, ස්කන්ධ කුමාර යන්ත්‍ර යන මින් එකක් පස්ලෝ හෝ තඹ පත්‍රයක ලියා ජීවම් කොට පැලඳීම, සුදුසු ගලක් ඇල්ලූ මුදුවක් පැලඳීමද ශුභය.

දැන් අපි උදාහරණ කේන්දරයක් මඟින් සෙනසුරු අපලය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු විමසා බලමු.

ඉහත කේන්දර හිමි පුද්ගලයා බෙරණ නැකතේ පළමුවැනි පාදයේ උපත ලබා ඇත.

ඉහත කේන්දරය හිමි පුද්ගලයාට 2009 - 09 -01 දින රාහු මහ දශා ලැබූ අතර රාහු මහ දශා ලබා දින කිහිපයකින් පසු එනම් 2009 -04 - 12 දින සෙනසුරු කන්‍යා රාශිගතවීමෙන් ලග්න ඒරාෂ්ඨක අපලය උදා කළේ ය. ඒ අනුව ඉහත ලග්නයේ රාහු උපචය භාවයක් වන 10 වැන්නේ පතිතව ඇති නමුත් සතුරු කටක රැසෙහි වීම සිව්වැන්න වූ මකර යේ සතුරුව පතිතව ඇති බාධක ස්ථානාධිපති රවිගේ සප්තම දෘෂ්ටියටත් එකී සිව්වැන්නාධිපති රවිගේ සප්තම දෘටියටත් එකී සිව්වැන්නාධිපති 22 වෙනි දෙර්කාණාධිපති සිකුරුගේ සප්තම දෘෂ්ටියත්, 5 වැන්නාධිපති පාපි අඟහරුගේ රාශි දෘෂ්ටියෙන් මෙකී රාහු අතිශයින්ම පීඩා වී ඇති හෙයින් රාහු මහ දශාව ජන්මියාට දැඩි අශුභ ගෙන දෙන බව පෙන්වා දෙන්නේ ය. ඒ අනුව එලෙස පීඩා වූ රාහු පූර්ණ දෘෂ්ටියෙන් 2 වැන්න දැකීම ජන්මියා වෙනදාට වඩා වැඩියෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන බව පෙන්වා දෙන අතර, මෙකී රාහු පූර්ණ දෘෂ්ටියෙන් හය වැන්නත් සප්තම දෘෂ්ටියෙන් 4 වැන්නත් දැකීම හේතු කොටගෙන එකී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා ජන්මියා මානසික රෝගියෙක් වෙන බව පෙන්වා දෙන්නේ ය. ඒ අනුව ඉහත කේන්දර හිමියාගේ ඥාතියෙක් ඔහුගේ ඉහත දැක්වෙන කේන්දරය මා හට ඉදිරිපත් කරන විට ඔහුට රාහු මහ දශාවේ සෙනසුරු අන්තර් දශාව ලබා සෙනසුරු ලග්නයෙන් 2 වැන්නේ ද සඳු අට වැන්නෙහි ගමන් කරමින් ලග්න සහ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක දෙකක් එකවර ලබා තිබුණු අතර හෙතෙම ඒවන විට මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වීම නිසා ආර්ථික අතින් ඉතා දුර්වලව මානසික රෝගියෙක් බවට පත්ව සිටියහ. එතැනදී මහ දශා අධිපති රාහු අතුරු දශා අධිපති සෙනසුරු දුර්වලව සිටීම සහ ලග්න සහ සඳු යන දෙදෙනාගෙන් ලග්න සහ ජන්ම (චන්ද්‍ර අෂ්ටම) ඒරාෂ්ඨක අපල දෙකක් එකවර ලැබීම ඉහත කේන්දර හිමියාට තදබල අපල විපත් ඇතිකිරීමට ප්‍රධාන හේතු වූ අතර ඒ අනුව ඒරාෂ්ටක අපලයකදී එකී අපලය තදබලවීමට නම්, මහ දශා අධිපතියා සහ අතුරු දශා අධිපතියාටත්, සෙනසුරුත් දුර්වලව සිටිය යුතුය. නොඑසේ නම් තදබල අපල විපත් ඇති කරන්නේ නැත. මෙකී සාධකයන්ගෙන් එකක් හෝ දෙකක් දුර්වලව ඇත්නම් සෙනසුරු ග්‍රහයාට 50%ක් පමණ අපල විපත් ඇති කරන්නේ ය. එහෙයින් ශනි ඒරාෂ්ඨක අපලවලදී සෙනසුරු දැඩි අපල විපත් ඇති කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමේදී ඉහත සඳහන් කළ සාධකයන්ගේ බල දුබලතා විමසා බැලිය යුතු බව මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.