රුධිර පීඩනය වැඩි කරන ග්‍රහයෝ

පෙබරවාරි 23, 2024

 

ලෝක ජනගහනයේ 30% පමණ ජන සංඛ්‍යාවක් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිති. ලංකාවේ මුළු ජනගහනයෙන් 23.2% පමණ පිරිසක් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිති. ඒ අනුව මෙරට ජීවත්වන පුද්ගලයින් 4 දෙනෙක් අතරින් 1 අයකු අධි රුධිර පීඩනය හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ.

පුද්ගලයකු වෛද්‍ය ප්‍රතිකාරවලින් තොරව දිනකට විනාඩි 10 -15 පමණ ඇවිදීමෙන්, දිවීමෙන්, බයිසිකල් පැදීමෙන්, දිනකට ඉදුණු කෙසෙල් ගෙඩි 3ක් අනුභවය කිරීමෙන් මීපැණිවල ගිල්වූ සුදුලූනු බිකක් දෙකක් උදෑසන හිස්බඩ අනුභවය කිරීමෙන් සුළු වශයෙන් වැඩිවූ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට ගෙන ආ හැකිය. එහෙත් රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා ඉතා වැඩි නම් එසේ අධි රුධිර පීඩනයක් ඇති පුද්ගලයෙක් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

ශනි - කුජ සංයෝගය

මෙකී අධි රුධිර පීඩන රෝගය වැලඳීමට හේතු භූත වන කරුණු පිළිබඳව ඡ්‍යොතිෂමය දෘෂ්ටි කෝණයකින් කරුණු විමසා බලන කල ප්‍රථමයෙන්ම ලග්න කේන්දරයක රුධිරය නිවේදනය කෙරෙන සිව්වැන්නත් එහි අධිපතින් රුධිර පීඩනය ඇති කරන ග්‍රහයන් දෙදෙනකු වන කුජ සහ ශනිගෙන් පීඩා විය යුතුය. දෙවනුව විශ්ව කේන්දරයේ කාල පුරුෂයාගේ අවයව නිවේදනය කෙරේ. මේෂ ලග්න කේන්දරයේ සිව්වැන්න වූ කටක රාශියත් එහි අධිපති සඳුත් යට කී අධි රුධිර පීඩනය ඇති කිරීමට හේතු භූත වන ග්‍රහයන් දෙදෙනකු වන කුජ සහ ශනිගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා විය යුතුය. මෙහි 4 වැන්නාධිපතිගේ සහ කටක රැසෙහි අධිපති සඳුගේ පීඩා වීම කටක, වෘශ්චික යන ජල රැසක විය යුතුය. මෙකී රෝගි තත්ත්වය එදිනෙදා වැඩ කටයුතුවලට බාධා කරන රෝගී තත්ත්වයක් වීමට නම් ලග්නයත් එහි අධිපතිත් 6,8,12 යන දුෂ්ට භාවාධිපතියන්ගෙන් හෝ රවි, කුජ, ශනි රාහු, කේතු යන ස්ථාන බලයෙන් දුර්වල වූ සහජ පාපින් වැඩි දෙනෙකුගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා විය යුතුය. මෙහි දී යට කී භාව සහ භාවාධිපතින් වැඩි දෙනකු රෝගස්ථානාධිපති නොහොත් 6 අධිපතිගෙන්ද අනිවාර්යෙන් පීඩා විය යුතුය. ඒ අනුව යට විග්‍රහ කළ කරුණු වැඩි හරියක් ලග්න කේන්දරයක වේ නම් ඔහු හෝ ඇය අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගියකු බව නිගමනය කළ හැකි වන්නේය.

රාහු - කේතු බලපෑම

ඉහත කී කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඉහත දැක්වෙන කන්‍යා ලග්න කේන්දරය අධ්‍යයනය කරමු. ඉහත දැක්වෙන්නේ මෙරට ප්‍රබල රාජ්‍ය නායකයකුගේ කේන්දර සටහනකි. ඔහු අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින පුද්ගලයකු බව කේන්ද්‍ර සටහනෙන් පැවසේ. ඉහත කන්‍යා ලග්න කේන්දරයේ අප මාතෘකාවට අනුව ඉහත විග්‍රහ කළ සාධක අතුරින් ප්‍රථම සාධකය වන සිව්වැන්නෙහි පාපි කේතු ග්‍රහයා තැන්පත්ව ඇති අතර, සිව්වැන්නෙන් 12 වැන්නෙහි එනම් 3වැන්නෙහි දුෂ්ට භාවාධිපතියෙක් 12 වැන්නාධිපති වන රවි ග්‍රහයා තැන්පත් වීමෙනුත් සිව් වැන්නෙන් දෙවැන්නට අධි රුධිර පීඩනය ඇති කිරීමට හේතු භූතවන ග්‍රහයන් දෙදෙනකු වන 6 අධිපති සතුරු ශනිගෙන් 8 අධිපති නීච, කුජගෙත් සප්තම දෘෂ්ටිය වැටීමෙන් සිව්වැන්න පාප කර්තරීහ යෝගයකට මැදිවීමෙන් පාප පීඩිත වී ඇත. සිව්වැන්නාධිපති ගුරු ලග්නයේ සතුරුව පතිතව ඇති අතර එම ගුරු 11 වැන්න වූ කටක රැසෙහි සිටින නීච කුජ සමඟ යෝග වූ සතුරු ශනිගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වී ඇත.

ඉහත සඳහන් කළ දෙවැනි සාධක පිළිබඳව උදාහරණ කේන්දරයට අනුව කරුණු පරික්ෂා කර බැලීමේදී කන්‍යා ලග්න කේන්දරයේ 11 වැන්නවූ කටක රැසෙහි අධි රුධිර පීඩනය ඇති කිරීමට හේතුවන ග්‍රහයන් දෙදෙනකු වන කුජ, ශනි, පිළිවෙළින් නීච සහ සතුරු බලය ලැබ දුර්වලව සිටියි. කටක රැසෙහි අධිපති සඳු, සඳුගේ බල දුර්වල කෙරෙන භාවයක් වන 8 වැන්න වූ මේෂ රැසෙහි පතිතව 11 වැන්නෙහි තැන්පත් 8 අධිපති නීච කුජ සමඟ යෝග වූ සතුරු රෝග ස්ථානාධිපති ශනිගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා විඳිමින් සිටියි.

චන්ද්‍රයා පාප පීඩිත වීම

එම සාධක දෙක ජන්මියා තදබල අධි රුධිර පීඩනයකින් පීඩා විඳින රෝගියකු බව පෙන්වා දෙන නමුත් එය ස්ථිර ලෙස සහතික වීමට නම් ලග්න සහ ලග්නාධිපතින් යටකී ග්‍රහයන්ගෙන් පාප පීඩිත විය යුතුය. ඒ අනුව ලග්නය ඉහත විග්‍රහ කළ පරිදි රාහු / කේතු , බාධක ස්ථානාධිපති ගුරු සහ නීච කුජ, ශනි යන ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත. ලග්නාධිපති ලග්නාධිපතිට කොහෙත්ම නුසුදුසු උපචය භාවයක් වන තුන්වැන්නේ තැන්පත්ව 12 වැන්නාධිපති රවි සමඟ යෝග වී ඇත. එම ලග්නාධිපති තවදුරටත් රාහු/කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරීහ යෝගයකට මැදිව 11 වැන්නාධිපති නීච කුජ සහ සතුරු රෝග ස්ථානාධිපති ශනි යන ග්‍රහයන්ගේ රාශි දෘෂ්ටියෙන් පීඩා වීමෙන් ඉහත කන්‍යා ලග්න හිමියා අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින රෝගියෙක් බව සහතික කළ හැකිය.

මෙහිදී කන්‍යා ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන සිකුරු තුලාවේ මූල ත්‍රිකේණ බලයෙන් යුතුව සිටිමින් රෝග ස්ථානය වන 6 වැන්න පූර්ණ දෘෂ්ටියෙනුත් මාරක ස්ථානය වන 8 වැන්න සප්තම දෘෂ්ටියෙනුත් කර්ම ස්ථානය වන 9 වැන්න පූර්ණ දෘෂ්ටියෙනුත් දැකීමත් චන්ද්‍රයා මුල් කොටගෙන යෙදුණු චන්ද්‍රාධි යෝගයක් නිසා ඉහත කේන්දර හිමියාට අධි රුධිර පීඩනයෙන් පෙළුණද, එකී රෝගී තත්ත්වය පාලනය කර ගනිමින් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට යටකී ග්‍රහයෝග දෙක මහෝපකාරි වී ඇත.

මේෂ ලග්න හිමියන්ගේ කුජ ශනි 4 වැන්නේ හෙවත් කටකයේ සංයෝග වේ නම් හෝ ග්‍රහයන් දෙදෙනාගෙන් කෙනෙකු කටකයේ සිටියදී අනෙක් ග්‍රහයා 10 වැන්න වූ මකරයේ තැන්පත්ව ඇති විට 6 වැන්නාධිපති බුධගේ අසුබ දෘෂ්ටියක් ලබන්නේ නම් හෝ බුධ පීඩාවට පත්වන්නේ නම් අධි රුධිර පීඩනය වැළඳීමේ ඉඩකඩ වැඩිය.

වෘෂභ ලග්න හිමියන්ගේ අඟහරු සහ සෙනසුරු තුන්වැන්නේ සිටියදී හෝ ඉන් එක් ග්‍රහයකු තුන් වැන්නේ සහ අනෙක් ග්‍රහයා 9 වැන්නේ සිටියදී රෝගස්ථානය හෙවත් 6 වැන්න අධිපති සිකුරුගේ පාප දෘෂ්ටියට ලක්වීම හෝ සිකුරු පීඩාවට පත්වීම මෙන්ම 4 වැන්න අධිපති රවි, කුජ හා ශනිගෙන් පීඩාවීම නිසා මේ තත්ත්වයට ගොදුරු විය හැකිය.

මිථුන ලග්න හිමියන්ගේ දෙවැන්න වූ කටකයේ කුජ, ශනි සංයෝග වීම හෝ දෙදෙනාගෙන් එක් ග්‍රහයකු 2 සහ අනෙකා 8 වැන්නේ පිහිටීම ද ලග්නාධිපති මෙන්ම 4 වැන්න අධිපති බුධ කුජ හෝ ශනිගේ පාප දෘෂ්ටියට ලක්වීම නිසා අධිරුධිර පීඩනයට ගොදුරු විය හැකිය.

කටක ලග්න හිමියන්ගේ අඟහරු සහ සෙනසුරු ලග්නස්ථානයේ සංයෝග වීම හෝ ලග්නයේ එක් ග්‍රහයකු සිටියදී 7 වැන්නේ අනෙක් ග්‍රහයා පිහිටන අතර 4 වැන්න අධිපති සිකුරු එම ග්‍රහයන්ගෙන් පීඩා වීම සිදුවිය යුතු ය. එහිදී සිකුරු 1, 3, 4, 5, 7, 8, 9, 10 යන ස්ථානවලින් ඕනෑම ස්ථානයකදී පීඩා විය හැකිය.

සිංහ ලග්න හිමියන්ගේ කුජ ශනි සංයෝගය 12 වැන්නේ යෙදීම නිසා ඉන් එක් ග්‍රහයෙකු 12 ත් අනෙක් ග්‍රහයා 6 වැන්නේත් සිටියදී රාහු කේතු මඟින් පීඩාවීමෙන් හෝ අට වැන්නාධිපති ගුරුගේ අසුබ දෘෂ්ටියට ලක්වීමෙන් අධිරුධිර පීඩනයට ගොදුරුවිය හැකිය.

කන්‍යා ලග්න හිමියන්ගේ 11 වැන්නේ කුජ සහ ශනි සංයෝග වීම හෝ ග්‍රහයන් දෙදෙනාගෙන් එක් අයකු 11ත් අනෙක් ග්‍රහයා පස්වැන්නේත් සිටියදී රාහු, කේතු හෝ 4 වැන්න අධිපති ගුරු එම ග්‍රහයන්ගෙන් පාප පීඩිතවීම හෝ අසුබ දෘෂ්ටියට ලක්වීම අධිරුධිර පීඩනයේ පීඩා විඳීමට හේතුවිය හැකිය.

තුලා ලග්න හිමියන්ගේ 10 වැන්නේ කුජ හා ශනි සංයෝග වීම හෝ එක් ග්‍රහයකු 10ත් අනෙක් ග්‍රහයා 4 වැන්නේත් පිහිටීම හා රෝගස්ථානාධිපපති ගුරුගේ පාප දෘෂ්ටියට ලක්වීම හෝ ලග්නාධිපති හෝ මාරකස්ථානාධිපති වන සිකුරු දුර්වලව මේ ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් පීඩා වූ විට අධිරුධිර පීඩනය වැළඳීමට හේතු වේ.

වෘශ්චික ලග්න හිමියන්ගේ 9 වැන්නේ අඟහරු සහ සෙනසුරු සංයෝගවීම හෝ 9 වැන්නේ එක් ග්‍රහයකුත් 3 වැන්නේ අනෙකාත් පිහිටීමෙන් සප්තම දෘෂ්ටියට ලක්වීම සහ මාරකස්ථානය වූ 8 වැන්නාධිපති බුධ හෝ පාප දෘෂ්ටියට හෝ රාහු කේතුගේ අසුබ දෘෂ්ටියට ලක්වීම මෙවැනි රෝගයකින් පෙළීමට හේතු වේ.

ධනු ලග්න හිමියන්ගේ 8 වැන්නේ සෙනසුරු සහ කුජ සංයෝග වීම හෝ ඉන් එක් ග්‍රහයකු 8ත් අනෙක් ග්‍රහයා 2 වැන්නේත් පතිතව සිටියදී 4 වැන්නාධිපති ගුරුට අසුබ දෘෂ්ටි හෙළයි නම් සහ රාහු කේතුගේ බලපෑම ලක්වේ නම් ද, ගුරුගේ පාප දෘෂ්ටිය ඒ ග්‍රහයන්ට වැටෙන්නේ නම් අධිරුධිර පීඩනයට ලක්විය හැකිය.

මකර ලග්න හිමියන්ගේ හත් වැන්නේ කුජ ශනි සංයෝග වීම හෝ ඉන් එක් ග්‍රහයකු 7ත් අනෙක් ග්‍රහයා පළමුවැන්නේ හෙවත් ලග්නස්ථානයේත් පිහිටයි නම් සහ රෝගස්ථානාධිපති බුධගේ හෝ මාරකස්ථානාධිපති රවිගේ අසුබ දෘෂ්ටියෙන් පීඩා වේ නම් ද රාහු කේතුගේ පාපී දෘෂ්ටියට ලක් වේ නම් ද මෙවැනි රෝගයකින් පීඩා විඳීමට හේතු වේ.

කුම්භ ලග්න හිමියන්ගේ රෝගස්ථානය වන 6 වැන්නේ කුජ, ශනි සංයෝග වීම හෝ 6 සහ 12 යන ස්ථානවල ඒ ග්‍රහයන් වෙන වෙනම පිහිටීමත්, මාරකස්ථානය වූ 8 වැන්නාධිපති බුධ දුර්වලව පාප දෘෂ්ටි ලැබීම හෝ 4 අධිපති සිකුරුගේ පාපී දෘෂ්ටියට ලක් වන්නේ නම් අධිරුධිර පීඩනයෙන් පීඩා විඳීමට හේතු වේ.

මීන ලග්න හිමියන්ගේ 5 වැන්නේ සෙනසුරු සහ අඟහරු සංයෝග වීම හෝ 5, 11 යන ස්ථානවල එම ග්‍රහයන් දෙදෙනාගෙන් එක් ග්‍රහයා බැගින් පිහිටා රෝගස්ථානය වූ 6 වැන්නාධිපති රවිගේත් මාරකස්ථානය වූ 8 අධිපති සිකුරුගේත් පාප දෘෂ්ටියට ලක්වේ නම් මෙන්ම 4 වැන්නාධිපති බුධ එම ශනි, කුජ ග්‍රහයන්ගෙන් පීඩා වන්නේ නම් ද රාහු කේතුගේ පාප දෘෂ්ටි ලබන්නේ නම් මේ රෝගයට ගොදුරු විය හැකිය. මේ සියල්ලට රුධිරය හා සම්බන්ධ සඳු පාප පීඩිතව පිහිටීමද අවශ්‍ය වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.