ඥානකාරක බුධ ග්‍රහයා

පෙබරවාරි 17, 2023

 

බුධ යනු හිරුට ආසන්නව පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. බුධ චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙස හඳුන්වයි. හිරුට ආසන්නයේම පිහිටා ඇති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. ප්‍රමාණයෙන් චන්ද්‍රයාගෙන් භාගයක් පමණ වේයැයි පැවසේ. බුධ සෞම්‍ය ග්‍රහයෙකි. ඉගෙනීමට, ළමාවියට, බුද්ධියට කාරක ඥානයට කාරක ,පොත්පත් කරණයට සහ වෙළෙඳාමට කාරක ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයායි.

 

බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නව පිහිටන නිසා සුර්යයාගේ දීප්තියට මුවා වීමෙන් එය නිරීක්ෂණය කිරීමට අපහසු වේ. එය නිරික්ෂණය කළ හැක්කේ හිමිදිරි පාන්දර හෝ සවස් කාලයේ දී කෙටි කාල පරිච්ඡේදයක දී පමණි. බුධ ග්‍රහයාට උප ග්‍රහයන් නැත. බුධ සංයෝග වන්නේ රවි සමඟය. නැතිනම් රවිට යාබද රාශියේය. බුධ අංශක 28 කට වඩා සූර්යාගෙන් ඈත් නොවේ. බුධ තරුවේ කිසිදු ජීව බලයක් නොමැත. ජ්‍යෝතිෂයේ දී බුධ ග්‍රහයා ස්වකීය බලයක් නොමැති, චංචල තමාට ළං වූ අන්‍ය ග්‍රහයකුගේ හෝ තමා සිටිනා රාශියේ ගතිගුණ ගන්නා ග්‍රහයකු බව පෙන්නා දී තිබේ.

බුධ අධිපති නැකැත් වනුයේ දෙට, අස්ලිස,රේවතී වෙයි. විශ්ව කේන්දරය මේෂ වූ විට බුධ තුනට සහ හයට අධිපති ග්‍රහයා වෙයි. බුධ ලග්නයට දිග්බල වෙයි. එනම් නැගෙනහිර දිශාවට දිග්බල වෙයි. විෂ්ණු දෙවියන් බුධට අධිපති දෙවියා වෙයි. බුධ ස්වක්ෂේත්‍ර රාශිය මිථුන වෙයි. කන්‍යාවේ උච්ච වෙයි. අංශක 15 දී අති උච්ච වෙයි. මීනයේ දී නීච වෙයි. අංශක 15 දී අති නීච බවට පත්වෙයි. බුධ ග්‍රහයාගේ මිත්‍ර ග්‍රහයා රවිය. කුජ, ශනි සහ ගුරු ද මිත්‍ර ග්‍රහයෝය. රාහු, කේතු, සිකුරු සම ග්‍රහයන්ය. සඳු බුධගේ සතුරු ග්‍රහයා වෙයි. බුධට හිමි දශා කාලය වසර 17කි. ජන්මියකුගේ කේන්දරයේ බුධ බලවත් නම් කතාවට දක්ෂය. මතකය ඉහළය. පොත පෑන මෙහෙයවීමට ද දක්ෂය. ජ්‍යෝතිෂය, ලේඛනය,ගුප්ත විද්‍යාව, කාව්‍යකරණයට දක්ෂවෙයි. වයස නොපෙනෙයි. සැප පහසුව නිතර සොයයි. බුධ කතාවට අධිපති ග්‍රහයා බැවින් බුධ දුබල වූ විට ජන්මියාගේ වචනයේ දුබල කම් මතු කෙරෙයි. ප්‍රමාද වී කතා කිරීම, ගොත ගැසීම, වචන පැටලීම,ගොළුවීම වැනි කාරණා ජන්මියකුට ඇති වන්නේ බුධගේ දුබලවීම හේතු වෙන් බව ජ්‍යෝතිෂයේ පෙන්වා දී තිබේ. මෙහි දී බුධ දුබලවීම යනු නීචවීම පමණක් නොවෙයි. බුධගේ පිහටීම ද එයට බලපායි. පාප පීඩිත තැනක සිටිවිටත්, පාප දෘෂ්ටීන්ට ලක්වීමත් පාප ග්‍රහයන් සමඟ යෝග වී සිටි විටත් මේ දේ සිදුවිය හැක. යම් ජන්මියකු සමාජයේ කැපීපෙනේ නම් ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍රයේ බුධ බලවත්ය. සරස්වතී යෝගය සඳහා ද බුධ ග්‍රහයා මූලික වෙයි.

 

බුධ- රවි සංයෝගය

 

බුධ සහ රවි ග්‍රහයන් දෙදෙනා සුබ තැනක යෝග වීමේන් එම ජන්මියා ගණිත ක්ෂේත්‍රයේ දක්ෂයකු බවට පත්වෙයි. ප්‍රසිද්ධියට පත්වේ. ධනු ලග්න හිමියන්ට මෙය වටිනා යෝගයක් බව ජ්‍යෝතිෂයේ සඳහන්ය. නරකට හිටියොත් සමාජයේ විරෝධයට ලක්වේ. මුදල් නැති නාස්ති වෙයි.

 

බුධ -චන්ද්‍ර සංයෝගය

 

මෙම යෝගය යහපත් තැනක පිහිටියේ නම් ඉතා තීක්ෂණ නුවණක් ඇත්තෙක් වෙයි. හිත එක අරමුණක තබා ගැනීමට අපොහොසත් වෙයි. හිත නිතර වෙනස් වෙයි. කතාබහේ නිපුණයෙක් වෙයි. නරකට හිටියොත් මත් ද්‍රව්‍ය සඳහා පෙළඹේ. වංචනිකයෙක් වෙයි. සමාජයේ භයානක පුද්ගලයකු බවට පත්වෙයි.

බුධ- කුජ සංයෝගය

 

මෙම සංයෝගය යහපත් තැනක පිහිටයේ නම් එම ජන්මියා ඥානවන්තයකු වෙයි. වැඩට හිතැති උද්යෝගිවත්ව වැඩ කරන්නෙකි. විද්‍යාවත්, ගණිතමිනිතයත් එක් වූ ශල්‍ය වෛද්‍යවරු, ඉංජිනේරුවන්, තාරකා විද්‍යාඥයන් බවට පත් කරන පිහිටීමකි. ඕනෑම දෙයක් දුටු හැටියේ කළ හැක්කෙකි. නරකට පිහිටිය හොත් වංචාකාරයකු බවට පත්වෙයි.

 

බුධ-ගුරු

 

මෙම සංයෝගය සුබ තැනක යෙදුණහොත් එම ජන්මියාට ඉතා වටිනා සංයෝගයක් වනු ඇත. විනිශ්චයකාරවරුන්ට පිහිටිය යුතු සංයෝගයක් බව ජ්‍යෝතිෂයේ දැක්වෙයි. ලොව ඇති බොහෝ දේ ඉගෙනීමට, විමසුමට ලක් කිරීමට මේ සංයෝගය ඇත්තෝ ආශා කරති. යුක්තිසහගත බව, අපක්ෂපාතීත්වය, ඉවසීම මෙම සංයෝගය ඇත්තා ගෙන් ප්‍රකට වෙයි. මෙය නරකට පිහිටියහොත් සිතේ සැනසුම නැතිවේ. මිලමුදල් කරදර ඇතිවේ.

 

බුධ- සිකුරු සංයෝගය

 

මෙම සංයෝගය යහපත් තැනක පිහිටි තැනැත්තා කලාවට දක්ෂයකු වෙයි. ප්‍රිය වචන,තීක්ෂණ නුවණ, නීති දැනුම් ඇත්තෙක් වෙයි. ගුණගුරුක අයෙක් වෙයි. උගත් මිතුරන් ආශ්‍රයට ලැබේ. නරකට පිහිටියහොත් බොහෝ දෙයින් පාඩු විඳීන්නට සිදුවේ. ස්ත්‍රී ආශ්‍රය නැත්තෙක් වෙයි. විවාහය, වෙළෙඳ ව්‍යාපාර අවාසි දායක වෙයි.

බුධ- ශනි සංයෝගය

 

මෙම සංයෝගය සුබතැනක පිහිටා ඇත්නම් එම ජන්මියා දියුණුවට පත් වන්නෙක් වේ. බුධ වූ කලී වෙනස්වන ග්‍රහයෙකි. ශනි ස්ථීරසාර ගුණ සහිත ග්‍රහයෙකි. මෙනිසා මේ කරුණු දෙකම මිශ්‍ර වීමක් මෙම ග්‍රහ සංයෝගයෙන් ජන්මියාට උදාවෙයි. ඉවසීමෙන් තම බුද්ධිය මෙහෙයවමින් වැඩ කරන්නට ජන්මියාට හැකි වෙයි. එලෙසම ගණිතය මුල් කරගෙන වැඩ කටයුතු කරන්නට මෙය ඉතා හොඳ පිහිටීමකි. සෘජුය. සත්‍යවාදීය. මෙය නරකට පිහිටියහොත් අපකීර්තිය ලබන්නෙක් වෙයි. කූට ප්‍රයෝගකාරයකු වෙයි.

 

ජ්‍යෝතිෂවේද

ජී. ටී. ආරියරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.