වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මිරිස් සොරුන්ට ව්‍යසන පැමිණ වූ වස් කවිය
“වළස් වෙසින ආ යක්සෙන්, අණ කර රුණ බිමට බැස්සූ
මෙවස් දෙවමි, රවුල් මරට, රම්ම රාම, සරය ගැස්සූ
මිරිස් හොරට, ගතිය අවුත් ආඳාඋල්පත මිනිස්සු
වනස් පිණිස එඩි සුන්කර දෙවන් සුරිඳ තදට පිස්සු”
එකල සහල්, සීනි, කුළු බඩු ආදී පාරිභෝගික ද්‍රව්‍යයන්හි හිඟයක් පැවැති යුගයකි. සහල්, මිරිස් වැනි ද්‍රව්‍ය සීමිත ප්‍රමාණයකට වැඩියෙන් රැගෙන යාම ද තහනම් විය. මෙම අවදියේ දී වෙළෙන්දන් දෙදෙනෙක් මිරිස් බහුල ප්‍රදේශයකන් මිල දී ගත් මිරිස් ගෝනි කීපයක් රැගෙන යාම පිණිස උපක්‍රමයක් යොදා ගත්හ. දහවල් කාලයේ දී මෙය රැගෙන යාමට සුදුසු නොවන බව පෙනී ගිය බැවින් ද ඒ වන විට රෑ කාලය බැවින් උදෑසනම මිරිස් රැගෙන යාමට අදහස් කළහ.
එහි වූ වෙළඳ සලක මුදලාලිගෙන් රෑ කල නවාතැනක් ලබා ගත්හ. වෙළෙඳ සලේ යාබදව ඉදි වූ කාමරයක රාත්‍රිය ගෙවීම සඳහා ඉඩ ලැබුණි. එහි නිඳා ගන්නා ස්ථානයේ පසෙක මිරිස් ගෝනි තබා දෙදෙන නින්දට පත් වූහ. දිවා කාලයේ මහන්සියත් තෙහෙට්ටුවීමත් නිසා ඔවුන් තදින්ම නින්දට පත් වූහ.
ඔවුහු පහන් වෙන්න කළින් අවදි වූහ. පසෙක තබා තිබූ මිරිස් ගෝනි නොදුටු දෙදෙන කලබල වූහ. වෙළෙඳසැල් හිමියා ද අසල්වැසියෝ ද මෙම සොරකම පිළිබඳ විවිධ මත පළ කළහ. අවසානයේ දී මිරිස් සොරුන්ට දඬුවම් පැමිණවීම පිණිස වස් කවි මඟින් කටයුතු කළ යුතු යැයි අදහස් කළහ. වෙළෙඳසැල හිමියාගේ උපදෙස් අනුව ඊට යොමු වූහ.
මෑත අතීතයේ ගුප්ත කාව්‍යකරණයෙහි කුසළතා දැක්වූ විශිෂ්ටතම රචකයා වූ මලවැන්නේ කවිතිලකසූරීන්ට සියලු තොරතුරු පැවැසූහ. ඒ සඳහා රචිත වස් කවිය නියමිත උපදෙස් අනුව කියවන ලදී. වස් කවිය මෙයයි.
සති දෙක තුනකින්ම මිරිස් හොරුන්ට තදබල ව්‍යසන පැමිණියේ ය. එසේම වෙළෙඳසල හිමියා වෙත පැමිණි මෙම සොරකමට සම්බන්ධ එක් අයෙකුගෙන් සොරකමට සම්බන්ධ වූවන් ද හෙළි කර ඇත. මිරිස් අයිතිකරුවන් නිදියන අතර පැමිණි සොරුන් ඒවා රැගෙන ගොස් පසුව රැගෙන යාමට වෙනත් තැනෙක සැඟවූහ. මෙය දැන සිටි වෙනත් දෙදෙනෙක් මිරිස් තිබූ තැනින් රැගෙන ගියහ. මෙසේ දින කීපයක් ගත වූයේ එවකට මිරිස් ගෙනයාම ද නීති විරෝධී බැවින් අවස්ථාව පැමිණෙන තෙක් පසු කරමිනි.
වෙළෙඳසල හිමියාට සොරකම හෙළි කළ තැනැත්තා මිරිස් සැඟ වූ ස්ථානයද හෙළි කළ බැවින් ඒවා අයිතිකරුවන්ට හිමි විය. තහනම් වූ ද්‍රව්‍යයක් නිසා සොරුන්ට එරෙහිව නීති මාර්ගයට යොමු නොවූවත්, බලවත් ව්‍යසනයන්ට පත් විය. මෙම කවියේ ශාස්ත්‍රීය කරුණු කීපයක් මෙහි දැක්වේ.
මිනිස්සු අභිධානයයි. එහි මුල් අකුර ‘මි’ යනුය. කවිය ‘ව‘ අක්ෂරයෙන් ඇරැඹේ. මෙහි ප්‍රධාන සාධකය අක්ෂර වේධයයි. එනම් අ, ඹ, ත, ල චක්‍රය අනව ‘ම’ අශ්ව යෝනියයි. ‘ව‘ ඊට පරම සතුරු මහීෂ යෝනියයි. හොරකම් කරන ලද්දේ ‘මිරිස්’ ය. ඒ අනුවද ‘ව‘ අක්ෂරය යෙදීම ඉතා මැනැවි. මෙහි ගණ යෙදුම ව්‍යසනකාරී ය. කවිය සූර්ය ගණය යොදා ඇරැඹේ.
ඉන් පසු වායු ගණ ද පසුව ආකාශ ගණ ද යෙදේ. රවි හිමි සූර්ය ගණය උදාසීන ය. වායු ගණය සෙනසුරුට හිමි වේ. රවි සහ සෙනසුරු සතුරු වේ. ආකාශ ගණය තුන් වැනි වර යෙදේ. එය නීච ගණයකි.
රවි, ශනි, රාහු අශුභ ගණ සංයෝගයෙන්, දුක, ව්‍යසන පැමිණේ. මෙහි රාම රාවණ යුද පසුබිම් සිද්ධිය උපමාවට යෙදේ. එහි මුල් පදයට ඊට සම්බන්ධ කර වළස් වෙස ගත් යක් සෙනඟ යුද වැදුණ බව ද සඳහන් වේ. සරල, නිරවුල් පද යෝජනයත්, මාත්‍රා විසි හතරින් පාද සහිත විරිතත් ගලා යන පරිදි පෙළ ගැසී ඇති සාර්ථක පල දැරූ වස් කවි ප්‍රබන්ධයකි.
ඡ්‍යොතීර්වේදී, සෙත් කවි රචක විශ්‍රාමික ආචාර්ය, ශාස්ත්‍රී
පියදාස කළන්සූරිය