වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සත්ත සුරියුග්මන සූත්‍රය සහ ජීජී ටාඋ ඒ
ඉන්දියානු තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් පසුගිය දා අපූරු සොයා ගැනීමක් කර ඇත. ඒ පෘථිවියට අලෝක වර්ෂ 489 ක් ඈතින් පිහිටි අමුතුම ආකාරයේ සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ධවය. එහි විශේෂත්වය වන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මෙන් එක සූර්යයකු වටා ග්‍රහ ලෝක භ්‍රමණය වීම වෙනුවට මෙහි සූර්යයන් තුනක් පිහිටීමයි. ඒ එක් එක් සූර්යයා ද තම තමන් වටේ පරිභ්‍රමණය වන බව මෙන්ම මේ සෞරග්‍රහ මණ්ඩලය බොහෝ තරුණ වියේ හෙවත් වසර මිලියනයත් මිලියන පහත් අතර ළාබාල තත්ත්වයක පසුවන බවත් හඳුනාගෙන ඇත. එබැවින්ම එය ග්‍රහ මඬුල්ලක් බිහි වීමේ මූලික අවධි පිළිබඳ අධ්‍යයනය සඳහා ඉතාම සුදුසු මට්ටමක පිහිටන බවද එම තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එය හඳුන්වන්නේ ජීජී ටාඋ ඒ යන නමිනි.
මේ පුවත තාරකා විද්‍යාඥයන්ට පමණක් විශේෂ වන්නක් යැයි ඉවත බලා සිටීමට ඡ්‍යොතිෂවේදීන්ට හැකියාවක් තිබේද? යන්න මෙහිදී මතුවන පැනයයි. යම් හෙයකින් අනාගතයේ මෙවැනි කරුණු තව තවත් හෙළි වන විට එවැනි ග්‍රහ මඬුල්ලකින් සත්ත්වයකුට ඇතිවන බලපෑම කෙබඳු ද යන්න පිළිබඳ සහ එවැන්නකුගේ කේන්ද්‍ර සටහනක රවිගේ බලය කෙලෙස බෙදී යන්නේද යන්න පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්නකු ඍෂිවරයකු හා සමාන වන යුගයක් උදා විය හැකිය. ඡ්‍යොතිෂය යනු ආලෝකය හෝ බැබළීම ලෙස සලකන අතරම සෞරග්‍රහ මණ්ඩලයේ පියා ලෙස සලකන සූර්යයා වෙනුවට පියවරුන් තිදෙනකුගේ බලයට යටත් වන ජීවියකුට ඇති විය හැකි බලපෑම මෙබඳු යැයි සිතීම සහ එවැනි පසුබිමක ග්‍රහ පිහිටීම් කෙබඳු වේද යන්න පූර්වප්‍රකාශ කළ හැකි නම් කල්ප කලාන්තරයක් නම පැවතීමට සුදුස්සකු වීම එයට හේතුවයි.
මෙවැනි අදහස් අද දවසේ ඇතැම් විට ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩ වැඩි වුව ද මතු යම් දවසක එය ඡ්‍යොතිෂයේ දියුණුව වෙනුවෙන් වැදගත් වන බැවින් සටහන් කර තැබීම වටින්නේ යැයි සිතේ. කෙසේ වෙතත් යම් ජන්මියකු බිහි වූ මොහොතේ ඔහුගේ හෝ ඇයගේ කේන්දරය යනුවෙන් අප සඳහන් කරන්නේ ග්‍රහ පිහිටීම් ලෙස සැලකුවද එය මේ සෞරග්‍රහ මණ්ඩලය මඟින් පුද්ගලයකු වෙත එල්ල කරන බල ඝූර්ණය යැයි සිතීම විද්‍යාත්මකව මෙය දැකිය හැකි එක් ආකාරයක් යැයි සිතිය හැකිය. එනම් ජන්මිය කේන්ද්‍ර කර ගනිමින් ග්‍රහයන් නව දෙනා තම තමන්ගේ බලය යොදවන ආකාරයයි. එවිට වඩාත් බලසම්පන්න ග්‍රහයාගේ ශක්තිය අනුව ජන්මියාට ඒ බල ඝූර්ණය ක්‍රියාත්මක වනු ඇතැයි පැවසීම වරදක් නොවනු ඇත. එයට බලපාන්නේ ග්‍රහයන් මඟින් පෘථිවියේ ඒ ජන්මියා උපන් ස්ථානයට ඇති කරන ගුරුත්ව හෝ චුම්භක ශක්තියේ තීව්‍රතාවය ලෙස සැලකීමට ද එවිට හැකිය.
ඒ කෙසේ වෙතත් මේ සූර්යයන් තිදෙනාගෙන් සැදුම් ලත් ජීජී ටාඋ ඒ පිළිබඳ සැලකීමේදී සිහියට නැඟෙන බෞද්ධ දර්ශනයේ පැහැදිලි කිරීම ලෙස අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සත්තසුරියුග්මන සූත්‍රය දැක්විය හැකිය. බුදුන් දේශනා කොටවදාළ පරිදි බොහෝ කල් ඉක්ම යම් දවසක දෙවැනි ඉරක් පායනු ඇත. එවිට පස්මහ නදීන් හැර අනෙක් සියලු ගංගාවන්ද සත්මහ විල් හැර අනෙක් සියලු ජලාශයන්ද වියළී යයි. එසේ සූර්යයන් හතක් පායන යුගයක් පැමිණෙනු ඇත. ඒ ඒ සූර්යයන් සංඛ්‍යාව අනුව මේ මහපොළොවේ ඇති වන වියළි භාවය කෙබඳුද යන්න පැහැදිලිව සඳහන් වෙයි. එහිදී සය වැනි හිරු පහළ වන විට මහා පෘථිවිය මෙන්ම සිනේරු පව්ව කුඹල් ගමක වලන් පට්ටලයක් ගිනි ගන්නා මෙන් දුම් දමන්නට වන බව පැවසෙයි. සත් වැනි හිරු පායන විට කෙතරම් දැවීමක් සිදු වන්නේ ද යත් ඒ ගිනි ජාලා බඹලොව තෙක්ම විහිදී යන බව කියැවේ. එහි අඟුරුවත් ඇති නොවන තරමට ගින්න ඇවිළෙන අයුරු අදහාගත නොහැකි තරම්ය. එවැනි යම් දවසක් කෙරෙහි මිනිසාට ඇති බිය නිසාම සඳ තරණය මෙන්ම වෙනත් ග්‍රහ ලෝකවල ජීවින් සිටින්නේද, එවන් ජීවයක් පවතී නම් මිනිසාට එහි ජීවත් වීමට හැකි වන්නේද යන්න පිළිබඳ පර්යේෂණ කිරීම සාධාරණ විය හැකිය. අද අප මහ පොළොවේ ඉන්න සිටින්නට ඉඩක් ඇති යුගයක ජීවත් වුවත්, යම් දවසක ඒ ඉඩ අහිමිව යන විට සඳමත තැනූ ගම්මානවල මිනිසා ජීවත් වීමට දරන උත්සාහය මනුෂ්‍ය ස්වභාවයේ ඇති නොතිත් ආශාවට හොඳම නිදසුනකි. මේ සුර්යයන් තිදෙනාගෙන් සුසැදි නව චක්‍රාවාටය ද ලෝක විනාශය වන දිනෙක මිනිසුන්ට පැවැත්ම තහවුරු කිරීමට හැකි කෙම්බිමක් වේද යන්න ඉදිරියේ පිරික්සනු නියතය. එසේම ලෝක විෂයය අචින්ත්‍ය බැවින් මෙහි සොයාගැනීමේ නිමාවක් ද නොවන්නේය. කෙසේ වෙතත් සූර්යයන් හතක් පහළ වන දින එලෙස බඹ ලොව පවා ගිනිගෙන විනාශ වන්නේ මේ සියලු සංස්කාරයන් අනිත්‍ය බැවිනි. එනිසා මේ කිසිවක ඇලී නොසිටීම වඩාත් ප්‍රඥාවන්ත ක්‍රියාව වන්නේය.