ඡ්‍යොතිෂ් අධ්‍යාපනයේ වැදගත්කම

මාර්තු 25, 2022

 

ඡ්‍යොතිෂය යනු මහා සාගරය හා සමාන විෂයයකි. එහි ගැඹුරු බව අන්තර්ගත කරුණු කාරණා ඉතා විශාලයි. අනාදිමත් කාලයක සිට පැවත එන මෙම ඡ්‍යොතිෂය ලොව කොතරම් දියුණු වුවද නොනැසී පවතින්නේ එය ඉදිරියට රැගෙන එන විද්වතුන් උගතුන් නිසාය.

ඒ කෙසේ වුවද මේ මාහැඟි විද්‍යාව පිළිබඳව උගන්වන්නට උපාධියක් පිරිනැමීමට ඇගයීමක් කරන්නට සුදුසු පාසලක් නොමැතිවීම බලවත් පාඩුවකි. විෂය දැනුම ඇතිව හෝ නැතිව බෝඩ්ලෑල්ලක් එල්ලාගත් පළියට උගත් කමක් නොවුවත් මූල්‍යමය වාසි පමණක් බලාපොරොත්තුව ඔහේ කරන්නන් වාලේ පංති පවත්වන ව්‍යාජ ගුරුවරුන් සිටින රටේ ඡ්‍යොතිෂයටද එසේ බොරු ගුරුවරුන් පත්වීම අරුමයක් නොවේ. එබඳු අය හැරුණුකොට සියලු දැනුම් සම්භාරයක් ඇති උගත් ගුරුදෙවිවරුන් අප අතර නැතිවාම නොවේ. එසේ සිටිනවා නම් ඒ අතළොස්සක් පමණි. එබඳු ගුරුකුලවලට යාමට වාසනාව පෑදෙන්නේ කීයෙන් කීදෙනාටද ඒ කොහොම වෙතත් ඡ්‍යොතිෂයට වාස්තු විද්‍යාවට, ගුප්ත විද්‍යාවට හස්ත රේඛා ශාස්ත්‍රයට එබඳු ස්ථිරව ගුරු උතුමන් නොමැති රටේ කොහෙන් හෝ අහුලාගත් දැනුම් කොටසක් උපයෝගී කරගෙන ඡ්‍යොතිෂයේ පිනුම්ගසන අයද අප අතර සිටිති. බොහෝ විට කිසියම් ගුරුවරයකුගේ ඡ්‍යොතිෂ පන්තියකට ගොස් වසරක් හෝ දෙකක් වැනි කාල පරිච්ඡේදයකින් එම පාඨමාලාව අවසානයේ ඉතා ලොකුවට බෝඩ් ලෑල්ලක් එල්ලාගෙන කුමන හෝ ගරුනම්බුනාම ඇතුළත් ව්‍යාජ පත්‍රිකා කාර්යාලයේ අලවාගෙන මහා වියතුන් ලෙස ඡ්‍යොතිෂයේ නියැලෙන අය නිසා මෙම විෂයයට සිදුවන හානිය සුළුපටු නොවේ.

සැබවින්ම කෙනකු උපන්දා සිට බොහෝ විට උපදින්නටත් පෙර සිට සිසේරියන් සැත්කමටත් නැකැත් සාදාගෙන නිරතුරුවම කෙස් කැපීමට, ඉඳුල්කට ගෑමට, කන් විදීමට, අත්පොත් තැබීමට, මල්වරයට, විවාහ මංගල්‍යයට, නිවසක් තැනීමට , වාහනයක් ගැනීමට හා තවත් බොහෝ කී නොකි අවස්ථා රැසකට ඡ්‍යොතිෂවේදියා සොයා යද්දී ඔබ අප ඒ ඇදුරන් පිළිබඳ හොඳ නිවැරදි අවබෝධයකින් දැනුවත් බවක් තිබිය යුතුමයි. ඡ්‍යොතිෂයේ දැනුම කිරා බැලීමට නොහැකි එහෙත් ඒ ඕනෑම කෙනෙකුට ව්‍යාජව පෙනී සිට බොරු බේගල් ඇද බෑ හැකි පිරිස් සිටින මේ රටේ ඉන් ඡ්‍යොතිෂයට සිදුවන හානිය මෙතෙකයි කිව නොහේ. තවද ගුප්ත විද්‍යාව ගත්තත් එහි මන්ත්‍රශාස්ත්‍රය පිළිබඳ කොතෙක් පොතපත ලියැවී ඇතත් නියමිත ගුරුවරයකුගේ ගුරූපදේශ නොමැතිව එය අත්හදාබැලීම ඉතාමත්ම භයානක තත්ත්වයකි. සමහර විට පොතපතේ සඳහන් කරුණුූ අත්හදා බැලීමට ගොස් විශාල ලෙස අනතුරේ වැටෙන අයද අප අතර නැතිවා නොවේ. පෙර කාලයේ තමා සතු දැනුම – පොතපත හා අත්දැකීම් වෙනත් අයකු අතට පත්වීම වළකාලීමට ව්‍යංගාර්තයෙන් කවියට නැඟූ ක්‍රමවේදයක් පිළිබඳ අප අසා ඇත. ඒ නිසාම මේ මාහැඟි විෂයය ආවාට ගියාට වෙනත් අයකු අතට පත්වූවේද නැත. එහෙත් වර්තමානයේ මේ පිළිබඳ කිසිදු වගකීමක් නැති දැනුමක් නැති අය අතර මේ විෂයය පත්වී තිබීම කණගාටුවට කරුණකි.

නීතියක් පරිපාලනයක් හා වගකිවයුතු අයගේ අතපෙවීමක් නොමැති තැන විෂයය හා පුද්ගලයා අයාලයේ යන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසා ඡ්‍යොතිෂය, ගුප්ත විද්‍යාව, හස්තරේඛා කලාව, වාස්තු විද්‍යාව රැක ගැනීමට නිසි ගුරූපදේශ සහිත විද්වත් කතිකාවක් එබඳු විද්‍යාලයක් පිළිබඳ අවශ්‍යතාව මේ වනවිට හොඳටම දැනී තිබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.