තරමට වඩා විනෝදය හොඳ නැත

අප්‍රේල් 30, 2021

විනෝදය අප කොයි කවුරුත් අපේක්ෂා කරන දෙයකි. විනෝදයෙන් සිටීම අපට ඉතා යහපත් දෙයකි. එහෙත් තරමට වඩා විනෝදය හොඳ නැති බව අපි අසා ඇති වදනකි. සැබවින්ම එය එසේ වන්නේ තැන නොතැන නොබලා වන විනෝදය නිසා ය. විනෝදය සඳහා කණ්ඩායමක් එකට එක් වූ විට එහි භයානක කම පිළිබඳව වැටහීම අඩුය. විශේෂයෙන් තරුණ කොටස් මේ භයානකකම නොසලකන්නේ තමා එහිදී වීරයකු වීමට ඇති ආසාව නිසාමය. එබඳු ආසා ඇති අය තම ජීවිතය පවා පරදුවට තබමින් ගඟේ මුහුදේ, වැවේ, දිය ඇල්ලේ බැස දිවි තොර කරගත් අවස්ථා අපට කොතෙකුත් අසන්නට දකින්නට පුළුවන.

ඒ හැම කෙනෙක්ම තරුණ පිරිස්මය. මෙසේ බිලිවන තරුණ තරුණියන් නිසා ඒ අය පමණක් නොව ඒ අයගේ මව්පිය සොයුරු සොයුරියන් මෙන්ම හිතවතුන් හිතවතියන් හා සමීපතමයින් පවා පත්වන සෝකජනක තත්ත්වය ඉතා කණගාටුදායකය.

මා කියන්නට යන්නේ අද අපේ තරුණ තරුණියන් දියඹේ ගොස් අනතුරුට පත්වන තත්ත්වය පිළිබඳ පමණක් නොවේ සැබවින්ම අද ලොවටම උවදුරක් වී තිබෙන ලංකාවටද දැඩි බලපෑම් පැමිණ තිබෙන මේ කෝවිඩ් වසංගතය හමුවේ අප රටේ තරුණ කොටස් පමණක් නොව වගකිවයුතු වැඩිහිටි පිරිස් ද හැසිරුණු ආකාරය පිළිබඳයි. අප රටේ මිනිසුන් පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේ ලද නිදහස උපරිමයෙන් බුක්ති විඳිමින් විනෝද වූ ආකාරය පිළිබඳවයි. දෙවසරකට ආසන්න කාලයක් නිවසට සිරවී සිටි බව සත්‍යයකි. 2020 වසරේ දී අවුරුදු සතුට නොලැබුවා වන්නටද පුළුවන. එහෙත් ඒ නිසා තවමත් වසංගතයේ අමිහිරි අත්දැකීම් ඇස් පනාපිටම දකින්නට ඇති මොහොතක අපේ අය හැසිරුණු ආකාරය නම් අනුමත කළ නොහැකි තරම් ය.

සිංහල අලුත් අවුරුදු සමයේ ලද නිදහසට අනුව කිසිදු වගවිභාගයකින් තොරව තරුණ පිරිස් විනෝදය තකා නුවරඑළිය, අනුරාධපුරය, කතරගම හා වෙනත් විනෝද ජනක ස්ථානවලට ගොස් වැව්වල, දියඇලිවල ජල ක්‍රීඩා කරන අයුරු පන්සල්, පල්ලි, දේවස්ථානවල පොදිකමින් හැසුරුණු අයුරු වෙළෙඳසැල හා නගර ගම්වල අවුරුදු ක්‍රීඩා සැමරූ අයුරු මාධ්‍ය තුළින් ද දැක ගන්නට හැකි විය. මුව ආවරණ නැතිව, විෂ බීජ හරණ ඖෂධ නැතිව, අත් සෝදන්නේ නැතිව කොටින්ම කියනවා නම් කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් අනුගමනය නොකරමින් කළ ඒ සැණකෙළිය ස්වාභාවය මෙසේ අද කොරෝනා තුන්වැනි රැල්ලක් පැමිණීමට තරම් තත්ත්වය භයානක විය. මේ කොයි හැටි වෙතත් අප ඔබේ විනෝදයට මෙසේ ගතු කියනවා නොවේ කොයිදේටත් ජීවත් වී සිටිය යුතු ය. අන් අයද ජීවත් කළ යුතුය. නමුත් මේ හැම කෙනෙක්ම අනතුරේ තබා සිදුකළ විනෝදය ඉදිරි කාලයේ ද අපගේ සතුට අහිමි වන තත්ත්වයට පත්වී තිබීම කණගාටුවට කරුණකි. එහෙයින් ඉදිරියටත් සිතමු විනෝදය වුවද සීමා සහිත කර ගනිමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.