අනිසි හැසිරීම අනාගතය අඳුරු කරයි

මැයි 14, 2021

හැසිරීම් රටා කීපයක් මිනිසුන්ට තිබේ. ඒ ආහාර පාන ගැනීම, සංචාරයේ නියැළීම, කතා බහ කිරීම හා තවත් එදිනෙදා ඇවතුම් පැවතුම් කීපයකි. මේ රෝග වෛරසය පවතින අවදියේ එබඳු අංශ කීපයක් පිළිබඳව සංවර වීම නිසි ලෙස අනුගමනය කිරීම වැදගත් යයි පුන පුනා කීවත් ඒ කිසිවකුට කන් නොදී කටයුතු කරන නොමිනිසුන් පිරිසක් පිළිබඳ නිතර අසන්නට දකින්නට ලැබීම අපේම කරුමය යයි විටෙක සිතෙනු ඇත. භයානක කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම වළකාලීමට මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය යැයි කියා තිබියදී වෙළෙඳ සැල්වල මහාමාර්ගයේ හා වෙනත් පොදු ස්ථානවල එය අඩ අයුරින් පැළඳී සිටින අය අපට දැඩි තර්ජනයක් වී තිබේ. විටෙක මේ අය මිනිසුන්ද තිරිසනුන් ද කියා සිතීමට සිදුව තිබේ. සමහර සිව්පාවුන්ට කිසිවක් උගැන් වූ විට හුරු පුරුදු කළ විට උන් පවා මිනිස් සංඥා අනුව ප්‍රකාශන අනුව ක්‍රියා කරද්දී මනසින් උසස් යයි කියන මිනිසා මේ කිසිවකුට අනුගත නොවන විට තිරිසනුන්ටත් අන්තයයි නොකියාම බැරිය. සමාජ ශාලා, තැබෑරුම්, සම්භාහන ආයතන, සූදු පොළවල් තහනම් කොට තිබියදී හොර රහසේ හැසිරෙන මත් පැණින් සන්තර්පනය වූ ගොන් හරක් රැළවල් පිළිබඳ පසුගියදා පමණක් නොව සෑම දිනකම මෙන්ම ජනමාධ්‍යයෙන් අපට දැක ගන්නට ලැබෙයි. රජය මෙතරම් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජනතාවට අවහිරයක් නොමැතිව ක්‍රියා මාර්ග ගැනීමේ දී එය අබමල් රේණුවක් තරම් සැලකිල්ලට නොගන්නා පිරිස පිළිබඳ දැඩි තීන්දු තීරණ ගැනීමට කාලය එළඹ තිබේ. ඒ හැරෙන්නට කොරෝනා අන් අයට බෝ නොකර තමනුත් බෝ නොකර ගැනීමට උනන්දු විය යුතු කාලයක සතුන් සිව්පාවුන් සේ හැසිරීම් රටා ඇති මිනිසුන් අතරේ මෙය වඩ වඩාත් ව්‍යාප්ත වී තිබීම අපට කිසියම් නිර්ණයකට එළඹීමට හැකිවී තිබේ.

තම වෘත්තිය හෝ වේවා ව්‍යාපාරය හෝ වේවා සදාචාරාත්මක ලෙස කරගෙන යන අය අතරේ මෙය පැතිරී නොමැති බව අප ඇස් පනාපිටම විද්‍යාමානව තිබේ. කුඩු, ගංජා, මත් වතුර හා වෙනත් අයහපත් හැසිරීම් රටා ඇති අය නිසා තෙවන වර මේ වසංගතය පැතිරෙමින් ඇති තත්ත්වයක අප සදාචාරාත්මක පුරවැසියන් ලෙස එයට විරුද්ධව නැගී සිටීමට අපටද යුතුකමක් මෙන්ම අයිතිවාසිකමක් පවතී. ඒ නිසා කලෙක බස් රථවල දුම් බීම සහමුලින්ම නතර කරලීමට විවිධ පෝස්ටර් අත් පත්‍රිකා හා දැන්වීම් උපකාරී වූවාසේ පොදු ස්ථානවලද ඒ යුතුකම කොරෝනා වෛරසය වෙනුවෙන් යළි ක්‍රියාත්මක කිරීමට අප ඒකරාශී වෙමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.