කාලෝ අයන්තේ

ජනවාරි 5, 2024

 

මේ වසර විශේෂ වන්නේ නව පරපුරක ආරම්භය සනිටුහන් කරන බැවිනි. ඔවුන් නම් කරන්නේ බීටා පරපුර ලෙසිනි. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට දෙදහස් හතළිහ දක්වා බිහිවන පිරිස බීටා නැතහොත් ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස් සමඟ බැඳුණු පාරිභෝගික පිරිසක් ලෙස හඳුනා ගැනේ. ඔවුන්ගේ චින්තන ශෛලිය ගොඩ නැඟෙන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ලෝකයේ විවිධ විෂයයන් අත්දකින පිරිසක් ලෙසිනි. අප ජීවතුන් අතර සිටියත් නැතත් අපගේ රුවින් අපගේ හඬින් ඔවුන්ට අප හඳුනා ගන්නට හැකියාව තිබේ. එහි හොඳ හෝ නරක ගැන කතා කිරීමට වඩා අපට දැන් සිදුව ඇත්තේ ජ්‍යොතිෂය, පෙරදිග වෛද්‍ය විද්‍යාව වැනි විෂයයන් පිළිබඳ ඔවුන් කෙබඳු ආකල්පයක් දරයි ද යන්න පිළිබඳ පුරෝකථනයක් කර බැලීමටය. එහිදී වැදගත්ම සාධකය වන්නේ ඡ්‍යොතිෂයේ ඇති සිද්ධාන්ත පිළිබඳ අපේ විවිධ පර්යේෂකයන්, විශේෂඥයන් ආදි පිරිස් විසින් දක්වන ලද ආකල්ප, ප්‍රතිඵල කථනයේ නිරවද්‍යභාවය පිළිබඳ ඇති මතවාද ආදිය පොදු එකඟතාවයකින් යුතු වන්නේද යන්නෙහි ඇති ගැටලුවයි. එයට වඩාත් හේතු භුත වන්නේ විවිධ ගුරුකුලවලින් බිහිවන පරපුරුවල ඇති ගුරුමුෂ්ටි සහ ඒවා භාවිතයේදී ඇති විය හැකි අසමානතාවලින් එකම පාරිභෝගිකයාට පලාපල කථනයේ මතුවන පරස්පර විරෝධීතාවයි. මෙය කෙතරම් බරපතළ වන අවස්ථා ඇත්තේ ද යත් ඇතැම් අවස්ථාවල ආසියාතික රටක දේශපාලන මත ධාරාව පවා ගමන් කරන්නේ ප්‍රබලව මතු කරන ජ්‍යොතිෂ කරුණු අනුව බව අපි දැක ඇත්තෙමු. පෙරදිග ඡ්‍යොතිෂය හෝ වේවා බටහිර ඡ්‍යොතිෂය හෝ වේවා සියලු පුරෝකථන සිදු කරන්නේ එකම ඉර හඳ තාරකා එකම වෙලාවක පිහිටන ආකාරය මත පිහිටා මිස එහි වෙනස්කමක් සිදු වන්නේ නැත. එය සැබැවින්ම එකම ගොඩනැඟිල්ලක් එකම ගල් වැලි සිමෙන්ති යොදා එකම පිඹුරුපතට විවිධ අය විසින් තනනවා වැනි යැයි සරලව සිතීම වරදක් නොවනු ඇත. එහෙත් ඒ ගොඩනැඟිල්ල තැනීමට ඉංජිනේරුවන් හට එක්ව කටයුතු කළ හැකිනම්, එකම ශල්‍ය කර්මයක් වෙනුවෙන් වෛද්‍යවරුන් කිහිපදෙනකුට එක්ව කටයුතු කළ හැකි නම්. එකම පුද්ගලයාගේ කේන්දර සටහන ඡ්‍යොතිෂවේදීන් පිරිසකට එක්ව පරීක්ෂා කළ හැකි විය යුතුය. හේතුව නාඩි ඡ්‍යොතිෂයේ හෝ වේවා, ක්‍රිෂ්ණමුර්ති පද්ධතියේ හෝ වේවා වෙනත් ඕනෑම ක්‍රමයකින් හෝ වේවා පරීක්ෂා කරන්නේ එකම පුද්ගලයාගේ දෛවය බැවිනි. එවිට මේ සියලු ඡ්‍යොතිෂ ක්‍රමවල ප්‍රතිඵල ආසන්න වශයෙන් එකම විය යුතු බව පැහැදිලිය. එසේම වාස්තු විද්‍යාවේදීද පරීක්ෂා කරන්නේ එකම නිවෙසක් නම් එය සාම්ප්‍රදායික වාස්තු, නූතන වාස්තු හෝ පයිරා වාස්තු වේවා දෝෂය එකම විය යුතු නොවේද? පිළියම් වෙනස් වීම සාධාරණ විය හැකිය. එකම උණට විවිධ වෛද්‍යවරුන්ගේ බෙහෙත් වෙනස් වන්නාක් මෙනි. එහෙත් රෝගය එකම බව තහවුරු කරගත යුතුය. අද බොහෝ දුරට මේ කියැවීම් වෙනස් වන්නේ විවිධ ගුරු පරම්පරාවලින් ගෝල පරපුරුවලට බෙදාදෙන දැනුමේ වෙනස නිසාම යැයි කිව නොහැකිය. හේතුව ඡ්‍යොතිෂය යනු ගණිතය පදනම් කරගත් ක්‍රමයක් බැවින් එහි අපෝහණයෙන් එන අවසන් ප්‍රතිඵලය එකම විය යුතු බැවිනි. එහෙත් මේ ගැඹුරු විෂය දැනුමැත්තන් තම විෂයයේ පැවැත්ම වෙනුවෙන් අනෙක් සියලු බාධක බිඳලා එක්ව කටයුතු කරන්නේ නම් ඔවුනොවුන් අතර සැඟවුණු දැනුම බෙදී යනු ඇත. එය මේ විෂයෙහි පුරෝකථන ආදියෙහි එකඟතාවක් ඇති කරගැනීමට ප්‍රධාන සාධකය වනු ඇත. එමෙන්ම අනාගත පරම්පරා භාවිත කරන්නට යෙදෙන තාක්ෂණික දැනුම සමඟ සමගාමීව විෂය පද්ධතියේ තිරසාරත්වයට පදනම වනු ඇත. එබැවින් ඡ්‍යොතිෂය, වාස්තු, හස්තරේඛා, වැනි අස්පර්ශී දැනුම් සම්භාරයෙන් පිරිපුන් ප්‍රාමාණිකයන් සියලු දෙනා එකම ගුරු කුලයක පිරිසක් ලෙස මේ දැනුම් සාගරය අනාගතයට බාර දෙනු දැකීම සුබසෙත අරමුණයි. බීටා පරපුර හෝ ඉන් ඔබ්බෙහි එන කුමන හෝ පරපුරක අයකු හෝ අනාගතේ දවසක කෘත්‍රිම බුද්ධියෙන් සොයා ගන්නා ඕනෑම ඡ්‍යොතිෂවේදියකු එවිට පවසනු ඇත්තේ බෙහෙවින් සමාන පුරෝකථනයක් වීමට නම් ඒ එකමුතුව ඇති කළ යුතුමය. මේ එළැඹ ඇත්තේ එයට හොඳම කාලයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.