මල් සුවඳ රැකදෙන්න

මැයි 6, 2022

 

දරුවන් අපේ අනාගතය බවත් ඔවුනට හොඳම දේ ලබා දිය යුතු බවටත් වැඩිහිටියෝ නිරතුරුව පවසති. එහෙත් වැඩිහිටියන් පවසන අන්දමට දරුවන්ට හොඳම දේ ලැබෙනවා ද යන්න අද ගැටලුවක්ව පවතී. හිංසනය, ප්‍රචණ්ඩත්වය, සමාජ පීඩනය මෙන්ම අපහරණය හේතුවෙන් ද අද දරුවන් සිටින්නේ, අනාරක්ෂිත සමාජ වටපිටාවකය. රටේ සිවුදෙසින්ම දක්නට ලැබෙන්නේ අරගලය. මේ අරගල ඔස්සේ, සමාජයට කාන්දුවන වෛරය, ක්‍රෝධය, දුක, කඳුළ වැනි ජීවිතය බිඳ දමන ඍණාත්මක ආකල්ප වෙත දරුවා යොමුවන්නේ නිරායාසයෙනි. මේ තත්ත්වය සැබැවින්ම කනගාටුදායකය. අරගල සඳහා දරුවන් යොමු කරවා ගැනීම වැඩිහිටියන්ගේ පහත් ආශාවන් ඉටුකර ගැනීම හා සමානය. තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට දරුවන් භාවිත කිරීම ශිෂ්ට සමාජය කිසිවිටෙක අනුමත නොකරන්නකි.

ගැටුම්කාරී, කලබලකාරි ස්ථානවලට දරුවන් රැගෙන ගොස් ඔවුන් ලවා සටන්පාඨ කියවමින්, විරෝධතා පුවරු ඔසවමින් වැඩිහිටියන් සිදුකරනු ලබන්නේ වචනයේ පරිසමාප්ත අරුතින්ම ළමා හිංසනයක් නොවේ ද? සමාජයේ දැන උගත් වැඩිහිටියන් ලෙස කළ යුත්තේ ළමා මනසට ගෝචර යහපත් ආකල්ප, ගුණධර්ම ලැබෙන පරිසරයකට දරුවන් යොමු කිරීම වේ. එහෙත් රටේ අවාසනාවකට දෝ සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් නොවේද?

මහමඟ දුහුවිලි කමින් අව්වට වැස්සට වේළෙමින්, තෙමෙමින් කුඩා දරුවන් අරගල කරා යොමුකිරීම පිළිබඳ මේ වන විට ළමා ආරක්ෂණ අධිකාරියේ ද විමර්ශනයට ලක්ව තිබේ. මෙවැනි අයහපත් ක්‍රියා දෙවරක් නොසිතා අප සමාජයෙන් අතු ගා දමන්නට වගකිව යුත්තන් කටයුතු සම්පාදනය කළ යුතුය.

අරගලවලට දරුවන් යොදා ගැනීම නිසා ඔවුනට සිදුවන හානිය අති විශාලය. ගැටුම් ඇතිවීමකදී මේ මල්වන් දරුවන්ගේ කයට මෙන්ම සිතට ද කිසිදා නොමැකෙන කැලැල් සහිත තුවාල සිදුවීමට ඇති ඉඩ වැඩිය. කඳුළුගෑස්, බැටන් ප්‍රහාර මෙන්ම විවිධ අපචාරවලට ද මෙම අරගල භූමි තුළදී දරුවන්ට මුහුණ පාන්නට සිදුවිය හැකිය. එනිසා මල්වන් දරුවන් අරගල සඳහා යොදා ගැනීමේදී මවුපියන්, වැඩිහිටියන් සේම සමස්ත සමාජයම ඒ පිළිබඳ දෙතුන් වර සිතිය යුතුය. විමසා බැලිය යුතුය.

අතිශය තරඟකාරි, සංකීර්ණ ගැටලු, හැලහැප්පීම් මත දිවිගෙවන සමාජයක දරුවන්ගේ අනාගතය රැක ගැනීමට යහපත් ආකල්ප මෙන්ම යහපත් හැසිරීම් රටා චර්යාවන් ගොඩනඟා ගැනුමට වැඩිහිටි අප දරුවනට අත්වැලක් විය යුතුය.

තමන්, අපයෝජනයෙන්, අවභාවිතයෙන් මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් බේරී සිටින්නේ කෙසේද? තමා ගේ ළමා අයිතිවාසිකම් හා යුතුකම් මොනවාද යන්න සමාජයේ දරුවන් දැනුම්වත් කරමින් ඔවුන්ගේ හෙට දිනය සුරක්ෂිත කිරීමට වගබලා ගැනීම වැඩිහියටියන්ගේ පරම වගකීම වන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.