වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නවවැනි ග්‍රහයා කවුද?
නවවැනි ග්‍රහයා පිළිබඳ කතාව යළිත් කරළියට පැමිණ ඇත. ඒ අලුත් මුහුණුවරකිනි. කලින් නවවැනි ග්‍රහයා ලෙස සැලකුවේ ප්ලූටෝය. එහෙත් එය කුරු ග්‍රහයකු ලෙස සලකා තාරකා විද්‍යාඥයෝ මෑතකදී ප්ලූටෝගේ තත්ත්වය පහත දැමූහ. එසේ වුව ද තවමත් ඇතැම් වේලාපත්කඩවල ප්ලූටෝගේ බලපෑම පිළිගන්නා අයුරු දක්නට ලැබේ. මෙය ඡ්‍යොතිෂවේදීන් තම තමන්ගේ විශ්වාසය අනුව ගන්නා තීරණයක් බවට පත්ව ඇත. ඇතැමුන් අදටත් ප්ලූටෝගේ බලපෑම ඇතැයි සිතන අතර සමහරුන් එය නොසලකා හරින බැවින් කේන්දරවල කොටුවකට හිමිකම් නැතිව යන්නේය.
එහෙත් මුළු සෞරග්‍රහ මණ්ඩලයම පිහිටා ඇත්තේ ගුරුත්වාකර්ෂණ නියම මත බව පැහැදිලි කරුණකි. සූර්ය තාරකාව වටා පිහිටන පෘථිවිය හැර අනෙක් ග්‍රහයන් සත්දෙනාගේ ගුරුත්වාකර්ෂණය පෘථිවියට බලපාන ආකාරය මෙන්ම චන්ද්‍රයන් 146 කත් තවත් බොහෝ දේවලත් බලපෑම පිළිබඳ තවමත් නිරවුල් දැනුමක් ලබා ගැනීමට මිනිසා සමත් වී ඇත්ද යන්න පැනයකි. කෙසේ වුවත් හිරු සඳු දෙදෙනාගේ බලපෑම පිළිබඳ අතීතයේ සිට මිනිසා දක්වන්නේ මහත් වූ භක්තියකි. වඩදිය බාදිය ඇති වීමේ සිට උන්මත්තකයන්ගේ තත්ත්වය දරුණු වීම දක්වා වන සඳේ කලා පිරීමේ ස්වභාවයේ බලපෑම එහි බොහෝ ප්‍රචලිත සංසිද්ධි වෙයි. ඒ අනුව බලන කල සියයට හැත්තෑවක් ජලය සහිත අපගේ ශරීරයේද වඩදිය බාදියට සමගාමීව තරලයේ වෙනසක් සිදුවීම සාධාරණ කරුණකි.
එහෙත් බොහෝ දෙනා අනෙක් ග්‍රහලෝකවලින් මිනිසාට ඇතිවන ගුරුත්වාකර්ෂණය පිළිබඳ දක්වන ආකල්පය ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ දක්වන විශ්වාසය සමඟ අනුලෝමව සමානුපාතික වන බව පෙනේ. ග්‍රහයන්ගේ චලිතය ඒ ඒ ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩලය තුළ පැවැත්මට හේතුසාධක වන්නා සේම අපට විෂයය වන සීමාව තුළ පවතින සෑම අංශුමාත්‍රයක්ම ඒ පවතින ආකාරයෙන් පැවතීමට හේතුවන බව ද නොසලකා හැරිය නොහැකි සත්‍යයකි.
නවවැනි ග්‍රහයකු පිළිබඳ යළිත් කතාබහ කරළියට එන්නේ මේ දිගුකාලීන තත්ත්වය පවතින අතරය. ප්ලූටෝ කුරු ග්‍රහයකු නිසා තාරකා විද්‍යාඥයන් එය නවවැනි ග්‍රහයා ලෙස නම් කිරීම අත්හිටවූව ද එහි ගුරුත්වාකර්ෂණයේ බලපෑම සෞරග්‍රහ මණ්ඩලය පුරා අංශු මාත්‍රයකින් හෝ ක්‍රියාත්මක වීම නැවැත්විය නොහැකිය. එසේම මන:කල්පිත නවවැනි ග්‍රහයකුගේ යළි මතු වීම ද එවැනිම බලපෑමක සේයාව යළිත් මුළු සක්වළටම බලපැවැත්වෙන බව පැහැදිලිය. එහෙත් එසේ බලපෑමක් එල්ල වන්නේ සැබැවින්ම එවැනි ග්‍රහයකු සූර්යයාගෙන් ඈතම පිහිටි නෙප්චූන්ටත් ඔබ්බෙන් හෝ පවතින්නේ නම් පමණි.
නවතම ග්‍රහයන් පිළිබඳ මන:කල්පිතයන් ගොඩනඟන නූතන විද්‍යාව පිළිබඳ රාමුවෙන් පිටත සිට බලන්නකුට දැනෙනු ඇත්තේ ළදරු ස්වභාවයක් වුවහොත් එය ද සාධාරණය. එයට හේතුව ත්‍රිපිටකයේ අංගුත්තර තික නිපාතයේ ආනන්ද වර්ගයට අයත් චූලනිකා සූත්‍රයෙන් සෞරග්‍රහ මණ්ඩලය මෙන්ම චක්‍රාවාටයන් පිළිබඳ බුදුන්වහන්සේ වදාළ දේශනාවල නූතන විද්‍යාවටත් වඩා ඈතට මේ විශ්ව ධාතුවේ පිහිටීම් පිළිබඳ පවසා ඇති බැවිනි.
සිඛී බුදුන්ගේ සමයේ අභිභු නම් ශ්‍රාවකයා බ්‍රහ්ම ලෝකයේ සිට සහශ්‍රී ලෝක ධාතුවට හෙවත් දහසක් ලෝකධාතූන්ට ඇසෙන පරිදි කළ දේශනාව පිළිබඳ විමසූ ආනන්ද තෙරුන්ට තථාගතයන්වහන්සේ පිළිතුරු නොදී වැඩවිසීමට උත්සාහ කළේ ලෝක විෂයයේ ඇති අචින්ත්‍ය ස්වභාවය තේරුම් කිරීමට මහත් වැර වීරියක් ගතයුතු බව අනුදැන සිටි බැවින් බව ත්‍රිපිටකය පරිශීලනය කරන්නකුට පැහැදිලිව අවබෝධ වේ.
කෙසේ වෙතත් ආනන්ද තෙරුන්වහන්සේ ද ඒ පැනය විමසීම අත්නොහළ කල්හි සහස්සධා ලෝකධාතු හෙවත් සක්වළ දහස පිළිබඳව ද එහි ඇති හිරු දහස, සඳු දහස, සිනෙරු පර්වත දහස, ජම්බුද්විප දහස ආදී වශයෙන් ද සිවු මහ මුහුදු දහස, සිවු මහ රජවරු දහස ආදී වශයෙන් ද විස්තර කරන අතර එවැනි සහස්සධා ලෝක ධාතු එකතුවෙන් බිහි වූ තවත් ලෝකධාතු ද හඳුන්වා දී ඇත. වර්තමාන ගණිත ක්‍රම අනුව ඒ සංඛ්‍යාවල යම් වෙනස්කම් පවතින බව පෙනුණ ද එවැනි සක්වළ රැසක් ඇති බව ඒ යුගයේ දැන සිටීම කෙතරම් ඓශ්චර්යයක්ද යන්න සිතිය යුතුව ඇත.
ඒ අනුව බලන කල නවවැනි ග්‍රහයකු මන:කල්පිත බව පවසමින් අද පර්යේෂණවල යෙදෙන තාරකා විද්‍යාඥයන්ට තවත් ඉදිරියේදී දහවැනි, එකොළොස්වැනි වශයෙන් සූර්යයාට බෙහෙවින් ඈත පිහිටි වෙනත් ග්‍රහලෝක මෙන්ම ක්ෂීරපථය පුරා විහිදුණු ග්‍රහලෝක වර්ග, ඒවායේ වෙසෙන ඉහත කියූ සිවු රජවරු ලෙස පාලනය කෙරෙන රාජධානි සොයාගත හැකි වීමට ඉඩක් ඇත. මෙය හුදෙක් මන:කල්පයකැයි පවසමින් ඉවතලිය නොහැක්කේ එය බෞද්ධ සාහිත්‍යයේ නොව ත්‍රිපිටකයේ සඳහන් කරුණක් බැවිනි. එසේම හිස් අවකාශයක ග්‍රහයන් සහ සූර්ය චන්ද්‍ර ආදී වස්තූන් එකිනෙක මත යැපෙමින් පවතින ලෙස සැකසී ඇති ආකර්ෂණ නියමයන් පිළිබඳ සහ එයින් පෘථිවි වාසීන්ට ඇති කළ හැකි බලපෑම පිළිබඳ තවදුරටත් ඉදිරියේදී හෙළිදරවු කරගන්නා තොරතුරු අනුව ඒවායින් මිනිසාට ඇති කරන බලපෑම ද අදට වඩා පිළිගැනීමට ලක් විය හැකිය. එ් වන විට අදාළ විෂයය හඳුන්වනුයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ලෙසම වන්නට නම් එයින් පල ප්‍රයෝජන ගන්නා පිරිස එය රැකගැනීමටත්, ඥානය යාවත්කාලීන කර ගැනීමටත් මීට වඩා උනන්දු විය යුතුය.