වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
වස්සානය සහ ඡ්‍යොතිෂය
දුක් විඳීමෙන්ම දුක නැති කළ හැකිය යන අත්ථකිලමතානුයෝගය දේශනා කළ නිගණ්ඨනාථපුත්ත සිදුහත් තවුසාණන්ගේ ගුරුවරයකු වූ බව අපි අසා ඇත්තෙමු. ජෛන ධර්මයේ ආදි කර්තෘවරයා වූ නිගණ්ඨනාථපුත්ත හෙවත් වර්ධමාන මහාවීරගේ ස්‍යාද්වාදයට ඉඩක් දීම තමන්වහන්සේට විමුක්ති මාර්ගය සොයා ගැනීමට උපකාර කළ සෑම අයකුටම කරන ගරු කිරීමක් ලෙස බුදු රජාණන්වහන්සේ සලකා වදාළ බැවින් වස්සූපනායික සික්ඛාව පනවන ලද්දේ එම දහමේ ස්පර්ශ ඉන්ද්‍රිය ඇති හෙවත් ඒකේන්ද්‍රිය ප්‍රාණීන් ලෙස සැලකෙන තුරුලතාවලට අයත් තණකොළ පාගමින් යෑමෙන් භික්ෂූන්වහන්සේ අතින් වැසිකාලයේ අනිටු දෙයක් සිදුවෙතැයි අන්ත අහිංසාවාදී ජෛනයන් පැවසූ චෝදනාවෙන් මිදෙන්නටය.
බුදු හිමියන් තුරුලතා ප්‍රාණීන් ලෙස සලකන්නේද යන්න වෙනම කරුණක් වුවත් අහේතුකව හෝ බොහෝ දෙනා චෝදනාවක් නඟන්නේ නම් එයින් නිදහස් වීම වටින්නේ එනිසා නොපහන් සිතක් ඇති වී ඇති අයගේ පැහැදීම ලැබීමට එය හේතු වන අතරම තමන් කෙරෙහි පැහැදී ඇති අයගේ පහන් සිත වැඩි කිරීමට ද එය හේතුවන බැවිනි. එයටත් වඩා බොහෝ හේතු කාරණා මුල් කොටගෙන වස්සාන කාලය එළැඹි පසු භික්ෂූන්වහන්සේ වස් විසිය යුතු බව බුදු හිමියන් පනවා වදාළන්නට ඇති බව පැහැදිලිය.
ඒ කෙසේ වෙතත් ස්‍යාද්වාදයට අනුව ස්පර්ෂ ඉන්ද්‍රියය සහිත හෙවත් ඒකේන්ද්‍රීය ලෙස සලකන ගස්වැල්වලට වන්දනාමාන කිරීම ද සිදු වූයේ අද ඊයෙක නොවේ. එය ඉතා ඈත අතීතයට දිවෙන කරුණක් සේම පුරාණ මිසර ජාතිකයන් නොනිවෙන ගිනි මැළයක් දල්වා මිනිස් සිරුරක් හා සමාන ගසකට වන්දනාමාන කළ බවට සාධක හමු වී තිබීමෙන්ද මේ ඇදැහිලිවල ඉතිහාසය කෙතරම්ද යන්න සිතාගත හැකිය. අප ද අදටත් වෘක්ෂදේවතාවන් ඇතැයි විශ්වාස කරන මහා වෘක්ෂයන්ට වන්දනාමාන කරන්නේ අන්ධානුකරණයකින් නොවන බව වාස්තු විද්‍යාත්මක කරුණු මඟින් වුව පෙන්වා දිය හැකිය. විශේෂයෙන් බෝ පත්‍රයේ ඇති දිගු තුණ්ඩාකාර කොටසින් නිකුත් කරන ඍණ අයන සාන්ද්‍රණය වැඩි බැවින් ප්‍රශ්න ගැටලුවලින් පිරී ධන අයන සාන්ද්‍රණය වැඩි වී රෝගී මනසක් හෝ ශරීරයක් සහිතවන ඕනෑම ආගමක මිනිසකු බෝධියක් අසලට ගොස් යම් වේලාවක් ගතකරන විට ඍණ අයන මඟින් ඇති කරන ශාන්තිය ගතටත් සිතටත් සහනයක් ගෙන දෙන බව විද්‍යාත්මකව පිළිගත් සත්‍යයකි.
ස්‍යාද්වාදය අනුව නර, දේව සහ නාරකීය යන කොටස්වලට පමණක් ස්පර්ශ, රස, ගන්ධ, දර්ශන, ශ්‍රවණ සහ මන යන සයේන්ද්‍රියයන් පිහිටයි. එහෙත් පෙරපර දෙදිග විද්‍යාඥයන් බොහෝ වෙලාවට උත්සාහ ගත්තේ තුරුලතාදියටත් සිතක් තිබේද යන්න සෙවීමටය. මේ සඳහා උත්සාහ ගත් ශ්‍රීමත් ජග්දීශ් බෝස්ගේ පර්යේෂණවලට අනුව වැඩෙන පැළෑටියකට අතින් තට්ටු කළ විට වැඩීම නතර වූ අතර එයට සැර බෙහෙතක් දමා එම සැර මැඩීමට යළි වෙනත් බෙහෙතක් දැමූ කල හොඳීන් වැඩෙන්නට විය. එසේම සියුම් පිහියකින් පැළෑටියක් තුවාල කළ විට සතකු මෙන් වේදනාවෙන් දැඟලූ බවද ඔහුගේ ක්‍රෙස්ක්‍රොග්‍රාෆ් උපකරණය මඟින් දැකගන්නට ලැබී තිබේ. අපරාධකරුවන් සත්‍ය පවසන්නේද යන්න සෙවීමට යොදන උපකරණයකින් තුරුලතාවල රහස් සොයා ගැනීමට ක්ලේව් බැක්ස්ටර් කළ පර්යේෂණයකදී අරුම පුදුම ලෙස ගස්වල හැඟීම් වෙනස්වන ආකාරය දැකගත හැකි විය. ජලය උරාගැනීමෙන් සහනයට පත්වන ගසට තර්ජනයක් කළ විට මිනිසකුට එය කළාක් මෙන් යන්ත්‍රයේ සංඥා වෙනස්විය. එසේම ඔහු එහි පත්‍රයක් ගිනි තියන්නට සිතූ විට ගිනි තැබීමටත් පෙර ශාකයට සවි කළ යන්ත්‍රයේ වෙනසක් ඇති වී තිබේ. සෞම්‍ය සංගීතයේදී යසට වැඩෙන ගසටම අමිහිරි සංගීතය සැපයූ විට පැත්තකට හැරී වැඩීම බාල වී මිය යන්නට තරම් වී ඇත. එසේ මිනිසුන්ගේ හැඟීම්වලට සමානුපාතිකව ගස්වැල්වල ප්‍රතික්‍රියාවල වෙනස්කම් ඇති වන්නේය යන්න රුසියානු විද්‍යාඥයන්ගේ පර්යේෂණවලින් හෙළිදරවු වූයේ අද ඊයෙක නොවේ.
පසුගියදා ඉන්දියානු පර්යේෂකයන් පිරිසක් කතාකරන ගස්වැල් යනුවෙන් පවසා ඇත්තේ ශක්තිය සහ ශාකයක බීජ අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කරමිනි.
මේ සියලු දෙයින් පෙනී යන්නේ සොබාදහමේම කොටසක් වන මිනිසාට තවමත් ස්වභාව ධර්මය පිළිබඳ ඇති ගෞරවයෙන් බැහැරවීමට බැරි බව මෙන්ම එහි රහස් සොයා ගැනීම ද සම්පූර්ණ කළ නොහැකි බවයි. එසේම මහත් ලෙස හැල්මේ දුවන වත්මන් මිනිසුන් මේ සැබෑ අර්ථයන් පිළිබඳ අවබෝධයක් ඇතත් නැතත් තමන්ගේ අවශ්‍යතාව පිරිමසා ගැනීමට ගහට කොළට මතු නොව ඕනෑම දෙයකට වන්දනාමාන කිරීමට මැළි නොවන බවයි. එහෙත් ඇතැමුන් එහි ප්‍රයෝජන ගන්නේ අන්‍යයන්ගෙන් වසන්කොටය.
කෙසේ වෙතත් සොබා දහම හා බැඳුණු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී අපල දුරු කර ගැනීමේ හොඳම මාර්ග කීපයක් පැවසේ. ඉන් එකක් නම් බෝධිපූජා වැනි පින්කම් කිරීමය. තවෙකක් නම් වස් වසන භික්ෂූන්වහන්සේ වෙත නිර්මාංශ දානමය පූජා කිරීමය. අනෙක වස් පින්කම්වලට කුමන හෝ අයුරකින් සහභාගී වීමය. අපල සපල කරගැනීමේ අරමුණෙන් හෝ වේවා සොබා දහමේ රීතීන්ට අනුව යන වැඩසටහන් සමඟ එක්වීම දාන සීලාදී ගුණයන් වැඩීමට හේතුවන බැවින් මිනිසාගේ යහපත පතන ඡ්‍යොතිෂය එසේ උපදේශාත්මක ප්‍රතිකර්ම යෝජනා කරනවාට සැක නැත.